කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු කියන කතාව
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ඊයේ (20 වැනිදා) අලුයම 5.00ට පමණ ගිලා බැසීමට ලක්ව ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටීමෙන් එම හෝටලයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා මාස දෙකක් වයසැති දරුවා මරණයට පත්ව තිබේ.
සංඝමිත්තා මාවතට යාබදව පිහිටි මෙම පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රවිෂ්ට දොරටුව හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා වැටී තිබේ. මෙහි හිමිකරු බිරිඳ හා දරු තිදෙනා සමග ඊයේ (20 වැනිදා) අලුයම 3.00ට පමණ එම ගොඩනැගිල්ලෙන් පිටතට ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ගොඩනැගිල්ල හිටපු බස්නායක නිලමේවරයකුගේ වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
අධික බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි සුන්බුන් ඊට පහළින් වූ තවත් ගොඩනැගිලි දෙකක් මතට වැටී ඇත. මියගොස් ඇත්තේ එම ගොඩනැගිලි දෙකින් එකක පදිංචිව සිටි තිදෙනෙකි.
මියගිය පුද්ගලයා අදාළ ගොඩනැගිල්ලේ හෝටලයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එහි කාමර දෙකක ඔහුගේ බිරිඳ, දරුවා සමග එම පුද්ගලයාත් තවත් කාමරයක බිරිඳගේ මව හා තවත් කාන්තාවක් සිට ඇති බවත් පැවැසේ.
මියගිය යුවළගේ දියණියගේ සිරුර සිද්ධියෙන් පැය තුනකට පසු පිටතට ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය හා මහනුවර ගිනි නිවීම් ඒකකයේ නිලධාරීහු සමත් වූහ. පැය නවයක පමණ මෙහෙයුමකින් පසු සුන්බුන් අතර සිරවී සිටි මියගිය යුවළ පිටතට ගැනීමට හැකිවිය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ චමිල ප්‍රසාද් (35) අචලා ඒකනායක (32) හා ඔවුන්ගේ දෙමසක් වයසැති දරුවා බවට පොලිසිය හඳුනාගෙන ඇත. මියගිය අචලා ඒකනායක නමැති අය නීතිඥවරියක වන අතර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි. මෙම ගොඩනැගිල්ල අනවසර ඉදි කිරීමක්ද නැද්ද යන්න සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි.
කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ නිම්නයකයි. මෙය ස්වාභාවික නාය යෑමක් හේතුවෙන් සිදූවූවක්ද ඉදිකිරීමේ ප්‍රමිතියේ පවතින අඩුපාඩුවක් නිසා සිදුවූවක්ද යන්න සම්බන්ධව පරීක්ෂණ සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය කීය.
මියගිය සැමියා හා බිරිඳ කඩා වැටුණු ගොඩනැගිල්ලෙන් කොන්ක්‍රීට් බීම් කණුවකට හා බිත්තියකට යටවී සිටි බවත් එම කොන්ක්‍රීට් කණුව කපා සිරුරු පිටතට ගත් බවත් මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකයේ නායක ගිනි භට සී.එස්. පෙරේරා පැවසුවේය.
‘‘මම හෝටලයේ වැඩකරන දුවත් එක්ක කාමරයේ නිදාගෙන හිටියා. එහා කාමරයේ පුතයි දුවයි දරුවයි නිදාගෙන හිටියා. උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා. මොනවත් පෙනුණේ නැහැ. අපේ කාමරයේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේතු වෙලා තිබුණේ. හතර වටේ මොකුත්ම පෙනුණේ නැහැ. ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා. ඒකෙන් 119 අංකයට ඇමතුමක් අරන් ගේ කඩාගෙන් වැටුණා කියලා කිව්වා. වෙලාව පහට විතර ඇති. ඊට ටික වේලාවකට පස්සේ පොලිසිය එතන්ට ආවා. ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා ඒ ලණුවල ගැටගහලා අපි උඩට ගත්තා. පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා යැයි මියගිය අචලා ඒකනායකගේ මව වන ජයන්ති ඒකනායක (60) මහත්මිය පැවසුවාය.
ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගේ පවුලේ උදවිය සමග පිටව ගොස් ඇත්තේ කිසිදු අනතුරු ඇඟවීමක් නොකර බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේය.
මේ අතර පස්මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ සිද්ධිය විස්තර කළේ මෙසේය,
අපි ටී.වී. බලලා නිදාගන්න ගියා. එතකොට වෙලාව පාන්දර 1.00ට විතර ඇති. පාන්දර එකපාරට ලොකු සද්දයක් ආවා කොහෙන්ද කියලා හිතාගන්න බැරිවුණා. ඒ වෙද්දිම දකුණු අත පැත්තේ ගෙදර දෙන්නා ටෝච් ගහලා අපට කතා කරලා කිව්වා පහළ කොන්ක්‍රීට් කණු කැඩෙනවා වගේ කියලා. ඒත් එක්කම කාමරේ පොළොව ඇද වෙනවා වගේ දැනුණා. පුතා එතකොටම කෑ ගැහුවා අප්පච්චි එළියට එන්න කියලා. මම ෂර්ට් එක්ක හොයලා ඇඳ ගන්න ගමන් ගෙයින් එළියට පැන ගත්තා. පුතා ගෙයින් එළියට පැනලා බල්ලන්ගේ කූඩුවත් ඇරගෙන වාහනය පාරට දාලා තිබුණේ. මම දුවගෙන යද්දී නෝනයි දුවයි පුතයි පාරේ. අපි බලාගෙන ඉද්දිම ගේ සම්පූර්ණයෙන්ම පහළට ඇදගෙන ගියා. කාටවත් කියන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ.
කමල් සුරවීර – මහනුවර
