ඊයේ දඹුල්ලට පැමිණි එළවළු කිලෝ තිස්පන් ලක්ෂය
දඹුල්ල තොග වෙළෙඳෙපාළට ඊයේ (20 වැනිදා) එළවළු කිලෝ තිස්පන් ලක්ෂයක් පමණ ලැබුණ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පැවැසීය.
රජරට කලාපයෙන් පමණක් එළවළු කිලෝ ලක්ෂ 12ක් පමණ ලැබුණු අතර උඩරට, යාපනය, වයඹ කලාපවලින් එළවළු තොග ලැබුණ බව ඔහු පැවැසීය. ඉහළම තොග මිල සඳහන් වන්නේ රුපියල් 350ක් ලෙස මාළු මිරිස් කිලෝවක් සඳහාය. උඩරට බීට් කිලෝවක් රුපියල් 35ත් 40ත් සහ කැරට් කිලෝවක් සඳහා රුපියල් 150ක තොග මිලක් ලැබී තිබේ. සෙසු එළවළු සඳහා සාමාන්‍ය තොග මිලක් ලැබී ඇත. දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 145ත් 150ත් අතර තොග මිලක් ලැබුණ අතර ලොකු ලූනූ කිලෝ ලක්ෂ තුනක පමණ තොගයක් දඹුල්ල තොග වොළෙඳ පොළට ලැබී ඇත.
උඩරට අර්තාපල් කිලෝ ලක්ෂ එකහමාරක් පමණ ලැබී ඇත. එහි කිලෝවක තොග මිල රුපියල් 120කි. ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110ත් 112ත් අතර විය. ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 110ත් 115ත් අතර පැවතුණි.
පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කර තිබෙන අතර ලොකු ලූනු තොග පෙර ආනයනය කර ගබඩා කැරගෙන තිබෙන තොග බවද සභාපතිවරයා පැවැසීය. උඩරට පහතරට යාපනය වයඹ කලාපවල එළවළු විශාල ලෙස වගා කර තිබෙන බව කී ඒකනායක මහතා පවතින වැසි ඉදිරි මාස දෙක ඇතුළත වර්ධනය වුවහොත් එළවළු වගාවන් විනාශයට පත්ව මිල අස්ථාවර වීමේ අවදානමක් තිබෙන බව පැවැසීය.
සුනිල් රූපසිංහ -පල්ලේපොළ
