තුන්මුල්ල

A/L අඩු රිසාල්ට්ස් ගන්න හැමෝම කබ්බෝ නෙවෙයි

පැන්ඩෙමික් බිය තාමත් එහෙම්මමයි. රටේ ජීවත්වෙන මිනිස්සුන්ගේ වැරැද්දක්ද, රට කරවන මිනිස්සුන්ගේ වැරැද්දක්ද කියලා හොයන්න බැරිවෙන්න දැන් කොරෝනා නිසා අපි කොරවෙලා ඉන්නේ.

හැමෝම පරිස්සම් වෙලා, කායිකව දුරින්, නමුත් හදවතින් ළඟ ඉන්න ඕන කාලයක්. ළඟම කෙනෙක්ට මේ ලෙඩේ හැදෙනකං මේක කොච්චර සීරියස්ද කියලා තේරෙන්නෙ නැති එක ලොකු පාඩුවක්. සැරින් සැරේ එන නිව්ස් ඇලර්ට්ස්, ෆේස්බුක් එකේ උඩ පහළ යන ගමන් දකින දේවල්, ටීවි එකේ ඇහෙන නිව්ස් එක්ක මේ සතියෙත් අපි වර්කින් ෆ්‍රොම් හෝම්. එහෙම ඉන්නකොට සුපුරුදු පරිදි තවත් එස්.එම්.එස්. ඇලර්ට් එකක් ආවා. “ඒ පාර කොහෙද අයිසලේට් කරලා තියෙන්නේ?”, මගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් සද්දෙත් එක්කම අම්මාගේ ෆෝන් එකත් සද්ද වුණා. මං ආපු මැසේජ් එක ඕපන් කළා. ඒකෙ තිබුණේ ‘2020 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අද දින නිකුත් කෙරේ’ කියලා.

ඒ මැසේජ් එක ඇවිත් දැන් සති එකහමාරක් විතර ගිහින්. මේ ටිකේ දන්න අඳුරන හැමෝටම පුළුපුළුවන් විදිහට මං මැසේජ් කරලා අහනවා, “කොහොමද මචං, හොඳින්ද?” කියලා. අද තුම්මුල්ලෙන්, රෑන්ක් දැම්ම අයට හදවතින්ම විෂ් කරලා, ඒ අයව පැත්තකට කරලා, අඩු රිසාල්ට් ගත්ත නංගිලා මල්ලිලා, දුවලා පුතාලාගෙන් මං අහනවා, “ඔයාලට කොහොමද, හොඳින්ද?”

අවුරුදු දහයක් පිටිපස්සේ තියන කන්ද උඩරටට මං යනවා. ඇඟ මත්තේගොඩ තියෙද්දී මතකය මහනුවර උඩින් පියාඹනවා. ඒ තමයි ඒලෙවල් රිසාල්ට්ස් ආව කාලේ. රිසාල්ට්ස් ආවත් එක්කම අපේ බැච් එක කල්ලිවලට කැඩුණා. කට්ටියක් හිනාවෙනවා. කට්ටියක් සෑඩ් මූඩ් ගහලා. ඒකෙම දිගුවක් විදිහට කට්ටියක් අඬනවා. තවත් සමහරු, “මොනා වුණත් අවුලක් නෑ මචං, උඹට කණුද? මටත් කණු” කියලා එන විදිහකට ෆේස් කරනවා. ඒලෙවල් රිසාල්ට්ස් ආව දවසට ඕක තමයි අදත් තත්ත්වෙ. හැබැයි වෙනදට නං හිතේ දුක තුනී වෙන්න කොහේහරි රවුමක් ගහලා සෙට් වෙලා ඉඳලා එන්න පුළුවන්. මේ සැරේ ළමයින්ට ඒ චාන්ස් එකත් නෑ.

ඒලෙවල් රිසාල්ට්ස් ආවට පස්සේ වෙන සර්වකාලීන සිද්ධි දාමය මං පියවරෙන් පියවර කියන්නංකෝ. ඉස්සෙල්ලම ගෙදර අය දැනගන්නවා. ඊටපස්සේ යාළුවෝ, ඒක පොඩ්ඩක් එහාමෙහා වෙන්නත් පුළුවන් සමහරවිට. රිසාල්ට්ස් අවුල් නං බොහෝවිට ෆෝන් එක ඕෆ් වෙන නිසා. ඕන පවුලකට ඇණයක් වෙන ඇන්ටනා ඇන්ටිලා ටික හිඟ පොලී එකතු කරන්න වගේ හතරවටේට කෝල් කර කර, “ළමයා මේ පාර කළා නේද, මොකද වුණේ?” කියලා එයාලගේ ඩේටාබේස් හමස් පෙට්ටිය අප්ඩේට් කරගන්නවා. ඔතනටම අල්ලපු වැටේ අය, ස්කීම් එකේ අය, ලේන් එකේ අය, ඔෆිස් එකේ අය, මේ විදිහට අනිත් අයත් ප්ලග් වෙනවා. හොඳ රිසාල්ට් එකක් නං ගැම්මේ උත්තර දෙනවා. එතකොට නෑදෑ කටවල් වැහෙනවා. අඩු රිසාල්ට් එකක් නං ශේප් එකේ උත්තර දෙනවා, එක්කෝ නොදී ඉන්නවා, එතකොට නෑදෑයන්ගේ කටවල්වලට පණ එනවා. ඒ අයගේ හින්ට් අහන් ඉන්න වෙනවා. “අපරාදේ වියදම් කරපු සල්ලි” කියනවා. ඕක තමයි හැමදාම වෙන දේ.

දිසාපාමොක් ගුරුතුමාගෙන් ඉගෙනගත්ත ළමයි ඒ කාලේ ස්කූල් ෆීස් විදිහට දුන්නේ තුටු පඬුරු. තමන්ට දීපු ශිල්පය වෙනුවෙන් සංතෝසෙන් දෙන තෑගි. අපිත් අපේ ටීචර්ස්ලාට ෂර්ට්, සාරි, මල් වාස්, අරවා මේවා අරන් දෙනවා. ඒකට දැන්, රිසාල්ට්ස් ආවට පස්සේ, ගුරුවරු තමයි තෑගි බෝග උස්සන් ළමයාගේ ගෙදරට යන්නේ. විශේෂයෙන්ම ටියුෂන් සර්ලා. ඇයි? “මං තමා දිවයිනේ ප්‍රථමයා බිහි කළේ” කියලා කටවුට් එකේ සිට හෑන්ඩ්බිල දක්වා තමන් ටියුෂන් කරන ටවුමම වැහෙන්න ෆොටෝ ගහන්න. පේනවනේ, ටීවි එක දැම්මම මේ දවස්වල, ගුරුවරු කීදෙනෙක් රිසාල්ට්ස් ගත්ත දරුවෝ බිහිකරලාද කියලා. ඒකේ වැරැද්දක් නෑ, බණ දේශනා කරන්නත් දේශකයාණන් වහන්සේ අනුව පැකේජ් හැදෙන අද කාලේ ටියුෂන් බිස්නස් එක දුවන්න ප්‍රමෝෂන් තියෙන්න ඕනේ. හැබැයි, ෆේල් වුණු අය, අඩු රිසාල්ට්ස් ගත්ත අය ගැන, කතාවක්වත් නෑ. ‘ජයග්‍රහණයට පියවරු බොහොමයි’ කියලා කියමනක් තියෙනවානේ.

අස්වීමේ සහතිකේ ගන්න ඉස්කෝලෙට ගියාම, එතනත් ආයෙත් ප්‍රශ්න. සමහරවිට ඉස්කෝලේ වැඩවලට අතපය කඩාගෙන දරදිය ඇද්ද කොල්ලෝ වෙනුවට පන්තියේ පුටු රත් කර කර හිටපු අය ඒ වෙනකොට පොරවල් වෙලා. අඩු රිසාල්ට්ස් අයට, ගේට්ටුවේ සික්කාගේ පවා රැස්පැට් බලන්න සිද්ධ වෙන්න පුළුවන්. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් අහන්නා වගේ, “එහෙව් අපට අද එන්න තහංචිද?” කියලා තමයි ඒ වෙලාවට අහන්න වෙන්නේ.

ටවුමෙදි, අරෙහෙ මෙහෙ යනකොට, රෑන්ක් දාලා පාස් වුණු යාළුවෝ හම්බවෙනවා. “උඹ දැන් මොනාද කරන්නේ?” කියලා ඇහුවම, දෙන්න උත්තරයක් නැතුව අන්ත අසරණ වෙනවා. රෑන්ක් දාපු යාළුවා ටිකක් ඔළුව වැඩි එකෙක් නං තව කැම්පස් ලොකුවත් දානවා. “මචං මේ ඇප්ලයි කරන්න පොත ගන්න ගියේ, කොහේ අහුවෙයිද දන්නෑ, මං ආස පේරා යන්න, මෝරා තමයි ඇවිත් තියෙන්නේ”, ඔය කයිවාරුත් අහන් ඉන්න වෙනවා.

ඒලෙවල් රිසාල්ට්ස් ආවට පස්සේ ‘මීටර්’ සහ ‘කබ්බෝ’ කියලා බෙදීමක් වෙනවා. ඉස්කෝලේ ගුරුවරු තමයි ඒක ඉස්සෙල්ලම කරන්නේ. රිසාල්ට්ස් ආවට පස්සේ ඒක සමාජය විසින් කරනවා. අපේ එඩියුකේශන් සිස්ටම් එක හරියට තිබ්බා නං, සමාජ, ආර්ථික හැම පැත්තක්ම හරියට තිබ්බා නං, ඒලෙවල් ඉවර කරලා එළියට බහින කිසිම කෙනෙක් “කබ්බෙක්” වෙන්නේ නෑ. මම පළවෙනි ‘තුම්මුල්ල’ පටන්ගත්තෙම, ඕලෙවල් ඉවර කරපු අයට අවවාද කරලා, ප්ලීස් තමන්ට පුළුවන් ස්ට්‍රීම් එකෙන් ඒලෙවල් කරන්න කියලා. යාළුවෝ සෙට් එක යන තැන, අරයාව මුණගැහෙන්න පුළුවන් ක්ලාස් එක, මේ වගේ හේතු එක්ක තමයි ඒලෙවල් කරන්න යන මොළේ තියෙන කොල්ලෝ කෙල්ලෝ අන්තිමට සමාජයට අනුව “කබ්බෙක්” වෙන්නේ. අනිත් එක තමයි සමාජ ක්‍රමයේ වැරැද්ද. හැමෝම රැල්ලට වගේ කියනවනේ මේ සිස්ටම් එකේයි වැරැද්ද කියලා. ඇත්ත. ඩොකෙක් ඉන්ජෙක් වුණේ නැත්නම් ලංකාවේ හොඳට කාලා ඇඳලා හරිහමං ජීවිතයක් ගත කරන්න බෑ කියන අප්සට් තැනකට මේ සමාජය දැන් ක්‍රාෆ්ට් වෙලා. මිනිස්සුන්ට ආර්ට් වැඩක් නෑ. ලංකාවේ හැටියට කලාකරුවා හැමදාම හිඟන්නෙක්. නමුත් පිටරටවල කලාකරුවෝ හම්බකරන සල්ලි කන්දරාව අමුතුවෙන් කියන්න ඕන නෑනේ?
නංගියේ මල්ලියේ, දුවේ පුතේ, මෙච්චර වෙලා කිව්ව විස්තර ඔක්කොම, අඩු රිසාල්ට්ස් ගත්ත අයට අත්දකින්න වෙනවාමයි. ඔය උඩින් කිව්වේ මමයි මගේ යාළුවොයි අඩු වැඩි වශයෙන් ෆේස් කරපු දේවල්. අපි හැම කෙනෙක්ම ඔය පරිප්පුව කෑවා. ඒ වගේම පස්සේ ඒක ගොඩ දාගත්තා.

ජීවිතේ ගොඩයන්න ඒලෙවල් ඕනෙමද, නැද්ද කියන ප්‍රශ්නයට එකයි එකයි දෙකයි කියන්නා වගේ හරි උත්තරයක් නෑ. ඒක තම තමන් ප්ලේ කරන විදිහ අනුව වෙනස් වෙනවා. නමුත් එක දෙයක්. තමන්ට පුළුවන් ස්ට්‍රීම් එක සෙකන්ඩ් ෂයි එකේදි හරි තෝරගන්න. නැත්තං කාලය අපරාදේ, වයස යනවා විතරයි. ආයෙ ඒලෙවල් කරන්නේ නැත්තං, හොඳට කල්පනා කරලා, දැනුම් තේරුම් තියන අයගෙන් අදහස් අරගෙන, ඇත්තටම ඔයා කවුරු වෙන්නද කැමති, මොකද්ද ඔයාගේ ටැලන්ට් එක කියලා හිතල ඒ ටැලන්ට් එක පෝෂණය කරන්න වැඩ කරන්න.

සමාජය මොනතරම් විෂමද කියන එක මනුස්සයෙක්ට ඉස්සෙල්ලම දැනෙන්නේ ඒලෙවල් රිසාල්ට්ස් ආව දවසට. එදාට තමයි ළමයෙක් සමාජයීය වශයෙන් වැඩිවිය පත්වෙන්නේ. එහෙනං අඩු රිසාල්ට්ස් ගත්තු අය, නාලා කරලා පිරිසිදු වෙලා, හැංගිලා හිටිය කාමරෙන් එළියට ඇවිල්ලා, ඔළුවේ දවටං ඉන්න රෙදි කෑල්ල අයින් කරලා තව එකපාරක් රිසාල්ට් ශීට් එකත් බලලා, අනාගතය ගැන හිතන්න. ඒ ගැන සිහියේ තියාගෙන, කොටහළු මංගල්ලය සමරන්න. ජීවිතේ අලුත් ගමනක් පටන්ගන්න, දැන් තමයි හොඳම නැකත.

ෂෙනාල් ගුණසේකර