Latest News

ඒ.ආර්. රහුමාන් අභිබවා ගිය යොහානි

“මැණිකේ මගේ හිතේ” ප්‍රති නිර්මාණ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ , යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවේ ග්‍රාහකයින් සංඛ්‍යාව , ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥයෙකු වන ඒ.ආර්. රහුමාන් අභිබවා ගොස් තිබෙනවා.

ඒ අනුව රහුමාන්ගේ යූ ටියුබ් ග්‍රාහකයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.93ක් වන අතර, යොහානිගේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 2.97ක්.

මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණා.

එහිදී සිය “ලුණු” සංගීත කණ්ඩායම සමග ඇය ඉන්දීය ප්‍රසංග වේදිකාවට එක් වුණා.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම වූ අතර ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස ද පසුගිය දා ඇය සහභාගිවි තිබුණා.

ඉන්දීය රූපවාහිනි නාලිකාවක යොහානි සිය දක්ෂතා පෙන්වූ පළමු අවස්ථාව මෙයයි.

යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 150 ඉක්මවා ගොස් තිබෙනවා.

ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.

මේ අතර සිය ඉන්දීය සංචාරය නිමවා යලි දිවයිනට පැමිණි යොහානි හට උණුසුම් පිළිගැනීමක් ලැබුන අතර ඉන් අනතුරුව ඇය ප්‍රමුඛ කරගත් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුණා.

මෙම සාකච්ඡාවෙදී ඇය සඳහන් කළේ, සිය ඉන්දීය සංචාරය තුලදී කල විශාල වැඩ ප්‍රමාණයක් ඉදිරියේදී පැමිණීමට ඇති බවයි.