Latest News

කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි

කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය අමතා තිබෙනවා.

මෙම රොබෝ යුවතියක්, සාමි මණ්ඩලය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වන අතර ඇය ‘අයි-ඩා’ යන නමින් හැඳින්වෙනවා.

අදාළ රොබෝ යුවතිය සාමි මණ්ඩලයේ සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු පිළිබඳ කමිටුව හමුවේ මෙලෙස පෙනී සිට තිබෙනවා.

රොබෝ යුවතිය සාමි මණ්ඩලය අමතමින්, නව තාක්ෂණය නිර්මාණශීලී වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෘතීම බුද්ධියක් සහිත ‘අයි-ඩා’චිත්‍ර ශිල්පිනියක ද වන අතර ඇගේ නිර්මාණ, චිත්‍ර ප්‍රදර්ශනවලට ද ඇතුළත් වනවා.

එමෙන්ම ඇය තනිවම ඇගේ කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන ඇසුරින් දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව සිතුවමට නැංවීම හේතුවෙන් පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රිය වුණා.

‘අයි-ඩා’ ලොව පළමු, සැබෑ යුවතියකට සමාන පෙනුමැති කෘත්‍රිම බුද්ධියකින් තනිව සිතිය හැකි මානවරූපී රොබෝ චිත්‍ර ශිල්පිනිය ලෙස සැලකෙනවා.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ‘අයි-ඩා’ නිර්මාණය කර තිබෙනවා.

‘අයි-ඩා’ගේ ඇස්වලට කැමරා සවි කර ඇති අතර ඇගේ කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන විශේෂ ඇල්ගෝරිදමවලින් නිර්මාණය වූවක් වනවා.

කෙසේවෙතත් සැබෑ යුවතියක පෙනුම ඇති මෙම මානවරූපී කෘත්‍රිම බුද්ධි රොබෝවරියට තනිවම ඇවිදීමට හැකියාවක් නොමැති අතර ඇය හැසිරවීම සිදුකරන්නේ ඇගේ නිර්මාණකරුවන් විසින්.

මෙම රොබෝ යුවතිය ‘අයි-ඩා’ යනුවෙන් නම් කර ඇත්තේ, බ්‍රිතාන්‍ය ගණිතඥයකු මෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ද වන අයිඩා ලව්ලේස්ට ගරු කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.