විශේෂාංග

මම දරුවෙක් වදලා වත්ත පහළට විසි කළා දස මාසයක් ගර්භනී බව වසන් කළ 21 හැවිරිදි මව කියයි

දරුවෙක් කුසට පැමිණි බව දැනගත්දා පටන් අම්මා කෙනෙකුගේ හදවත දරු පෙමින් වැඩෙන බව මිසක් කැඩෙන බවක් අපි අසා නැත. ඇවිදින පියවරක් පාසා, කන කෑමක් බීමක් පාසා පමණක් නොව කතා කරන වචනයක් ගා‍ණේ පවා ඇය ඕනෑවටත් වඩා පරිස්සම්ය. ඒ අම්මලාගේ හැටිය. එවන් සම්මා ගුණ ඇති අම්මාවරුන් සිටියද පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ අම්මා කෙනෙක් ගැන අපට අසන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

 දෙයියනේ මොකක්ද කරගත්තේ? ඇයි ඔය ඇඟ හැමතැනම ලේ…

දැඩි වේදනාවකින් කුස්සියේ දොරෙන් ගෙතුළට එනු දුටු නිලක්ෂිනීගෙන් එසේ ඇසුවේ ඇගේ බාල සහෝදරයාය. ඒ වනවිටත් ඇගේ උදර ප්‍රදේශයෙන් අධිකව ලේ වහනය වී ඇඳසිටි ඇඳුම තනි රත් පැහැයට හැරී තිබුණි. නිවසේ උන් නිලක්ෂිනීගේ මව, පියා මෙන්ම වැඩිමල් සහෝදරයාද ඇගේ කටින් වචනයක් ගන්නට දැඩි පරිශ්‍රමයක් දැරුවද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් වූයේ ඇය කිසිවක් නොකියා මුනිවත රැකි නිසාය.

ඇයි මේ ඇඳුමේ ලේ? උඹ මොකක්ද දෙයියනේ කරගත්තේ…?

දෙතුන් සැරයක්ම හේතුව ඇසුවත් නොකී තැන්හි නිලක්ෂිනීගේ මවගේ වචන ටිකක් රළු විය. මොන දේ කරන්නත් සිදුවූ දෙය දැනගත යුතුය. ඇරත් මේ ඇගේ එකම දියණියයි. ඒ නිසා සිදුවූයේ කුමක්ද යන්න දැනගන්නා තෙක් ඇගේ මවට අස්වැසිල්ලක් තිබුණේම නැත. දිගින් දිගටම ප්‍රශ්න කළත් ඇය කිසිවක් නොකියා කරබාගෙනම සිටියාය. එහෙත් උදර ප්‍රදේශයෙන් නොනවත්වා ලේ ගැලීම තවදුරටත් බලාසිටින්නට නොහැකි වූ තැන ඔවුන් කළේ හේතු සෙවීම පැත්තකට දමා ඇයව රෝහල්ගත කිරීමය. ඉංගිරිය රෝහලට ඇතුළත් කළ නිලක්ෂිනීගේ තත්ත්වය බරපතළ නිසා ඇය එතැනින් වහාම හොරණ ජාතික රෝහලට මාරු කෙරුණි.

මොකක්ද දරුවෝ වුණේ? අපට ඇත්තම කියන්න.

එවර ඇගෙන් ප්‍රශ්න කළේ රෝහලේ වෛද්‍යවරයාය. ඒ ඔහු ඇයව පරීක්ෂා කර සිදුවූ සියල්ල යම්කිසි දුරකට අනුමාන කරගත් පසුය. තවදුරටත් මුනිවත රකින්නට ගත උත්සාහය අසාර්ථක වූ තැන ඇය රෝහල් ඇඳ මත සිට සිදුවූ සියල්ල එකින් එක විස්තර කළාය.

මට දරුවෙක් ලැබෙන්න හිටියා ඩොක්ටර්. ඒත් මම කසාද බැඳලා නැති නිසා මට මේක කාටවත් කියන්න පුළුවන්කමක් තිබුනේ නෑ. වාසනාවකට වගේ මට ලොකු බඩක් තිබුණෙත් නෑ. ඒ නිසා මට ගෙදර අයගෙන් ඒක හංගගෙන ඉන්න පුළුවන් වුණා. හැබැයි ඊයේ පාන්දර 3.00 ට විතර මට හොඳටම අමාරු වුණා. පස්සේ මං පිහියක් අරන් ගේ පිටිපස්සට ගියා. ළමයා එළියට ආවට පස්සේ පෙකණි වැළ කපලා මං දරුවව වත්ත පිටිපස්සට දාලා ගේ ඇතුළට ආවා.

වෛද්‍යවරයා ඉදිරියේ මේ තරුණිය සිදුවූ සියල්ල එසේ වමාරද්දී ඇය වටා සිටි පවුලේ අයට උන් හිටි තැන් පවා අමතකව තිබිණි. ඒ ඇය දරුවෙකු වැදූ බව තියා ගැබිනියක වී සිටි බවවත් ඒ මොහොත වනවිටත් ඔවුන් නොදැන සිටි නිසාය. ඉංගිරිය, අක්කරවිස්ස ප්‍රදේශයේ පදිංචි ඇය විසිඑක් හැවිරිදි තරුණියකි. අනියම් ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදියටයි ඇය එසේ ගැබිනියක වී තිබුණේ.

දරුවෙක් වදන්න උඹ කසාද බැන්ඳයෑ? ඇරත් දරුවෙක් වදන්න උඹට බඩක්වත් ඇවිත් තිබුණද?

නිලක්ෂිනීගේ මව කියූ ඒ කතාව ඇත්තය. බඩට දසමාසයක් පිරුණද ඇය බඩදරු මවක් ලෙසින් කිසිවෙකුටත් පෙනුණේ නැත. එලෙසින් ඇය කිසිම තැනක හැසිරුනේද නැත.

ඇත්ත කියපං. මොකක්ද මේ කතාවේ තේරුම? හරි උඹට දරුවෙක් ලැබුණා කියමුකෝ. එහෙනම් කෝ ඒ දරුවා…?

ඇය කියන කිසිවක අග මුල යා කරගැනීමට නොහැකිව තක්කු මුක්කු වී සිටි පියා ඊළඟට ඇසුවේය. ඊට ඇය දුන් පිළිතුරෙන් කාටත් හීන් දාඩිය දැමුවේ නොදැනුවත්වමය.

ඇත්ත තමයි කිව්වේ. මට දරුවෙක් ලැබුණා. අන්න ගේ පිටිපස්සේ වත්තේ ඇති…

ඊළඟට රෝහල් කාර්යමණ්ඩලය වහාම මේ සිදුවීම පිළිබඳව ඉංගිරිය පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළේය. ඒ වනවිට වෙලාව උදෑසන අටට ආසන්නව තිබිණි. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඉක්මණින්ම ගියේ නිලක්ෂිනීගේ නිවසටය. ඒ ඇය වැදූ බව කියන දරුවා සෙවීමටය. අධික වර්ෂාව මධ්‍යයේ ඔවුන් කෙළින්ම ගියේ නිවසේ පිටුපස ප්‍රදේශය පරීක්ෂා කිරීමටයි.

මේ අර කෙල්ලගේ දරුවා ඉන්නවා. දෙයියනේ වැස්සට හොඳටම තෙමිලා. තාම ඉපදිලා පැය තුන හතරක්වත් නැතුව ඇති…

ඇය ගැහැනු දරිවියකි. පොලිසිය සිඟිත්තිය ළඟට යනවිටත් ඒ පුංචි එකී අධික වර්ෂාවට හොඳටම තෙමී තිබුණි. පැය ගාණක් පුරාවට කිරි ඉල්ලා ඇඬූ නිසාදෝ ඇය හිටියේ හොඳටම හෙම්බත්වය. පොලිසියට ප්‍රමාද වෙන්නට කාලයක් තිබුණේ නැත. එනිසා ඔවුන් වහාම දරුවා රැගෙන හොරණ ජාතික රෝහල වෙත ගියහ. මොකක්දෝ වාසනාවකට මෙන් මහ වැසි දෙක තුනකට තෙමී බඩගින්නට කිරි කඳුළක් නැතිව සිටියද දරුවා සිටියේ යහතින්ය. අඩුම තරමේ කුරා කුහුඹුවෙකුගෙන්වත් දරුවාට කරදරයක් නොවීම ගැන කාටත් පුදුමය.

මේ ලියන මොහොත වනවිටත් මවත් දරුවාත් දෙදෙනාම හොරණ ජාතික රෝහලේය. මව හොරණ රෝහලේ සිව්වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබද්දි බිළිඳිය එම රෝහලේම නොමේරු ළදරු ඒකකයේ වාට්ටු අංක දෙකේ ප්‍රතිකාර ලබන්නීය.

මේ තරුණිය දරුවගේ තාත්තා කියලා කෙනෙක්ව කිව්වත් ඒ තරුණයා කියනවා දරුවා ඔහුගේ නෙවෙයි කියලා. මේ ගැන අධිකරණයට අපි කරුණු වාර්තා කළා. අම්මගේ ටිකට් කැපුවම ඇයට ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම පෙනී ඉන්න වෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය එසේ පවසද්දී අප හැරුණේ ඉංගිරිය පොලිසියේම ළමා හා කාන්තා කාර්යංශය දෙසටය. එහිදී එම කාර්යංශයේ උසස් නිලධාරිනියක් අපට පවසා සිටියේ මෙවැන්නකි.

මෙතැනදි පැහැදිලිව පේනවා දරුවා මරණ චේතනාවෙන් තමයි තරුණිය මෙහෙම දෙයක් කරන්න පෙළඹිලා තියෙන්නේ. ඒ නිසා අදාළ තරුණියට අධිකරණය හමුවේ පෙනී ඉන්න සිදුවෙනවා. ඒත් එක්කම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයට පැමිණි වහාම මේ දරුවා අනාරක්ෂිත දරුවෙක් නිසා කුඩා දරුවන් වෙනුවෙන් ඇති පරිවාසයකට යොමු කරන්න අපට සිදුවෙනවා.

මේවා ඇසු පමණින් හද කම්පා කරවන සිදුවීම්ය. එනිසා මෙවැනි සිදුවීම් වාර්තා කිරීම කිසිලෙසකින්වත් ආශ්වාදජනක නැත. නමුත් එවැනි දේවල් තවදුරටත් සිදුවීම වැළැක්වීම සඳහා දැනුවත් කිරීම අපේ වගකීමක් යයි හැඟුණු බැවින් අනිසි ගැබ් ගැනීමකදී දරුවා විනාශ නොකර වෙනත් කළ හැකි යමක් නැද්දැයි අපි විමසුවෙමු.

ගොඩාක් වෙලාවට අම්මෙක් තමන්ගේ කුසින් වදපු දරුවෙක් තමන්ගෙන් වෙන් කරන්න කැමති නෑ. හැබැයි එහෙම ලැබෙන්න ඉන්න දරුවෙක් හදන්න බැරිකමක් තියෙනවා නම් ඒ කාන්තාවට පුළුවන් තමන්ට ඒ දරුවා හදාගන්න බෑ කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. එතකොට කරුණු කාරණා සොයා බලලා දරුවා අනාරක්ෂිත නම් ළමා පරිවාසයක් වෙත යොමුකිරීමේ හැකියාව තියෙනවා.

දරුවෝ හිනාවෙද්දි වගේම දරුවෝ අඬද්දිත් ඇස් තෙත්වෙන එකම කෙනා අම්මාය. දරුවෝ හිනාවෙද්දි අම්මා අඬන්නේ සතුටටය. දරුවෝ අඬද්දි අම්මා අඬන්නේ දුකටය. අම්මලා එහෙමය. අම්මලාගේ ආදරේ කොන්දේසි විරහිතයි කියන්නේ ඒකය. එහෙත් නිලක්ෂිනී වැනි අම්මලා නිසා අම්මා යන බෝසත් අකුරු තුනට එක්වන්නේ අගෞරවයකි. තව දෙයකි. දරුවෙකු කුසින් වැදූ පමණින් කිසිදු ගැහැනියක් මවක් වෙන්නේ නැත. නාමිකව ඇය මවක් වුවද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය මවක් වන්නේ ඊට මව් සෙනෙහසද බද්ධ වූ පසුය. නමුත් 21 හැවිරිදි නිලක්ෂිනීට මව් පදවියේ ඇති ඒ උත්තරීතර බව කෙසේනම් උරුම වෙන්නද?

භාතිය වෙඩිවර්ධන