විශේෂාංග

එයාලට මැණික කියලා කතා කරද්දී මහත්තයා නම් නෝක්කාඩු කියනවා

සුද්දි බලන්නකෝ අද ඔයාගේ ලස්සනඅපේ කොච්චි පිංචිත් කරල් පුරෝගෙනඔහොම තමයි ඉන්න ඕන මැණික.”

ඒ දයාබර හඬ ඇහෙද්දී දඹල මල්, මෑ මල් මෙන්ම තිත්ත කරවිල මල් ද ඈ හා මදහස පාන්නීය. මිරිස්, මාලු මිරිස්, කොච්චි මිරිස් මෙන්ම විවිධ වර්ගයේ එළවලුද, කොළ පලා වර්ගද ඒ සෙනෙහසට ප්‍රතිචාර දක්වන්නේ සරු අස්වැන්නෙනි. හිත පහන් කරන ගෙවත්තක හිමිකාරිය වීමේ සිහිනය අචිනි තිසේරා තුළ උපන්නේ කුඩා වියේදී නමුත් ඒ සිහිනය සැබෑවක් වුණේ විවාහයෙන් පසුවය.

ඇත්තටම මගේ හිතේ කොළ පාට හීනයක් හැමදාම තිබුණා. අපි මුලින් පදිංචි වෙලා හිටියේ තාත්තගේ ගම වන ගම්පහ, කිරිඳිවැල. ඊටපස්සේ, අම්මගේ ගමට ගියා. ඒ අනුරාධපුරේ. සීයාට අනුරාධපුරේ ඉඩම් තිබුණා. කුඹුරු ගොවිතැන් වගේම හේන් ගොවිතැන් කටයුතුවල තමයි ඔවුන් නියැලුණේ. මම ඉගෙනගත්තෙත් අනුරාධපුරේ. මටයි අයියටත් තිබුණේ ඉගෙනගන්න වැඩේ හරියට කරන්න. ගෙදර වැඩවලට, වත්තේ පිටියේ වැඩවලට අම්මා අපිව සම්බන්ධ කරගත්තේ නැහැ. ඒත් වත්තේ පිටියේ එළවලු භෝග වැවිලා තියෙන අපූරුව මම නිතරම දැක්කා. ඒ වැඩවලට උදව් නොවුණට මම හිතින් හිතලා තියෙනවා කවදාහරි මම ඉන්න ගෙදර කොළ පාටට ලස්සනට තියෙන්න ඕන කියලා. 2013 විවාහ වෙලා හලාවතට එද්දිත් ඒ හීනය හිතේ පැත්තක තිබුණා. ඒත් මොහොතකට මට හිතුණා ඒ හීනය හැබෑ නොවේවිද කියලා.”

අචිනි එම වදන් ටිකනම් පැවසුවේ මද සිනාවක් ඇතිවය. හලාවත මුහුදුබඩ පෙදෙසක් වීමත්, වැලි පොළොවක් තිබීමත් නිසා  තමාගේ කොළ පාට හීනය සැබෑ නොවේදෝ යන බියක් ඈ සිත නොතිබුණාම නොවේ.

ඒත් ටික දවසක් යද්දි මම උත්සාහ කළා. මුලින්ම කළේ මල් පැළ හිටවන එක. මේ ඉඩම පර්චස් හතක වගේ ඉඩ ප්‍රමාණයක් තිබුණේ. ඉතින් තාප්පෙ රැක් හදලා පෝචිචිවල තමයි මල් පැළ හිටෙව්වේ. දිගට මුළු තාප්පෙම මල් හිටෙව්වා. ගෙදරට එන අය මේ මල් ටික දැක්කම කියන්න ගත්තා, ‘ඔයා ඔය වගේම එළවලු ටිකකුත් හදාගත්තනම් හොඳයි නේද කියලා.”

විවාහ වී එනවිට අචිනි කළේ පුද්ගලික මූල්‍ය ආයතනයකට සම්බන්ධ රැකියාවකි. පසුව ඇය වඩාත් ආස කළ රැකියාව වන ගුරු පත්වීමක් ලැබුණි. ඒ පුත්තලම බත්තුළුඔය ජාතික පාසලටය. ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් දෙකම උසස් පෙළ සිසුනට උගන්වන ඇය මේ වනවිට දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි. කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් වගාවට වෙලාව වෙන්කරගැනීම ඇයට තවමත් අපහසු වී නැත.

ගේ තියෙන ඉඩමේ එළවලු වගා කරන්න ඉඩක් නැති නිසා මම මල් හිටෙව්වා. එතකොට ලොකු දුවත් පුංචියි. ඒත් එයත් හරි කැමැත්තෙන් මං මල් හිටවද්දි උදව් කරනවා. ඔය අතරේ ගේ ඉස්සරහ තියෙන පර්චස් දොළහමාරක ඉඩමක් විකුණනවා කියලා දැනගන්න ලැබුණා. අපි ඒ ඉඩම මිලට ගත්තා. 2017 අවුරුද්දේ. ඉතින් අද වෙනකොට නුවරඑළියේ විතරක් වැවෙනවා කියලා හිතපු කැරට්, බීට්රූට් වගේ එළවලුත් අපි වගා කළා. ඒ වගේම අපිට ගාර්ඩ්න් එකක් තිබුණෙ නෑ. ගෙයින් එළියට බැස්සම පාර තිබුණේ. ඉඩම ගත්තම පොල් පැළ දෙකක්, තැඹිලි පැළ දෙකක්, පලතුරු පැළ හිටවලා ඒ මැද්දට වෙන්න බබාලට සෙල්ලම් කරන්න ලස්සන ගාර්ඩ්න් එකකුත් හැදුවා. ඒ එක්කම ලස්සනට පාත්ති හැදුවා. ගොඩක් පාත්ති හැදුවේ රවුම් හැඩේට. මමම තමයි ගල් තියලා බදාමවලින් බැන්දේ. ඉතින් සමහර පාත්ති ටිකක් ඇදයි. කොහොමහරි 2018, 2019 වෙද්දි මට ලස්සන ගෙවත්තක් ලැබුණා.”

ඒ ගෙවත්තේ දැන් විවිධ පලතුරු වර්ග වාගේම එළවලු වර්ගද තිබේ. උගුරැස්ස, ලොවි, පේර, විලාඩ්, කර්ත කොලොම්බන් වැනි අඹ වර්ගත්, දෙළුම්, බෙහෙත් නෙල්ලි, සීනි අනෝදා, කෙසෙල් වර්ගද කිහිපයක් ඇතුළුව ඇඹිල්ල හා මාදං ගසක්ද එහි තිබේ.

පතෝල, බණ්ඩක්කා, වැටකොලු මෙන්ම ගෝවා වගාකොට ඇත්තේ ගෙවත්තේ පේළි ලෙසය. රතු බණ්ඩක්කා, පඳුරු මෑ, වම්බටු වර්ග, මාලු මිරිස්, අමුමිරිස් මෙන්ම ගොරකා තක්කාලි ඇතුළු තක්කාලි වර්ගද ගණනාවකි. කංකුං, මුකුණුවැන්න වාගේම හාතවාරිය, මොනරකුඩුම්බිය, පොල්පලා වැනි දේත් ඒ වගා භෝග අතර තිබේ.

ඇත්තටම පන්සලේ ගිලන්පසට ඕන කරන ඖෂධ පැළෑටි ටික පවා අහල පහල අය අපේ ගෙවත්තෙන් අරගෙන යන අවස්ථා තියෙනවා. ඒ ගැන ලොකු සතුටක් හිතේ තියන්නේ. ඒ වගේම ගෙදරට ඕන කරන එළවලු, කොළ පලා ටික අපට අපේ ගෙවත්තෙන් ලැබෙන එකත් ලොකු සතුටක්.”

ඒ සතුට අචිනිට වාගේම පවුලේ අයටද විශේෂය. අමිල තිසේරා ඇගේ සැමියායි. ඔහු පෞද්ගලික බැංකුවක, බැංකු නිලධාරීවරයෙකි. ඔහු හැකි සෑමවිටම ගෙවතු වගාවට උදව් කරනවා මෙන්ම නෝක්කාඩු කියන්නටද දක්ෂ බව අචිනි කියන්නීය.

වගාව අතරට ගියහම මට ඒක භාවනාවක් වගේ. මම වගාව එක්ක කතා කරනවා. ‘ආනේ සුද්දි ඔයාගේ ලස්සන කිව්වම මහත්තයා කියනවා ඔයා මටයි බබාලා දෙන්නටයිත් නැති ආදරයක්නේ මේ ගහකොළට තියෙන්නේ කියලා. එයා එහෙම කියන්නේ විහිළුවට වුණාට මේ මල් පැළ වගේම එළවලු පැළ ඊට ප්‍රතිචාර දක්වනවා. පලතුරු ගස් මට වාරේ අවාරේ කියලා නැතුව අස්වනු දෙනවා. මට හිතෙන්නේ ඒ මම එයාලට ආදරෙන් කතා කරන නිසයි. ආදරෙන් එයාලා ගැන සොයා බලන නිසයි.”

හත් හැවිරිදි ෂැනොන් ආමින්දි දියණිය වාගේම තෙහැවිරිදි අමෙලියා හැසල් දියණියද අම්මාගේ වගාබිමට පුංචි සන්දියේ සිටම කැමතිය. අචිනිට දෙවන දියණිය ලැබී ඇත්තේ ඇය වගාවට වඩාත් ඇලී ගැලී සිටි කාලයේය.

ඇත්තටම බබා ඉපදෙන්න ඉන්නකොට බණ්ඩිය උස්සන් පැළ හිටෙව්වා වගේම බබා ලැබුණට පස්සේ එයාව ගෝකාර්ට් එකේ තියලා මම වගාව එක්ක නිතර ගැවසුණා. චූටි දුවත් පස් අල්ලනවා, පැළ අතර ගැවසෙනවා. ළමයෙක් වුණහම පස් ටිකක් අතේ ගෑවෙන්න ඕන. ඒවා එක්ක ගැවසෙන්න ඕන. වගේම අපි අද එයාට දෙන්නේ වස විස නැති එළවලු පලතුරු. ලොකු දුවගේ පොඩි කාලේ එහෙම කරන්න බැරිවුණා. ඒත් අද අපි ලොකු දුවට කියනවා දැන් නංගි වගේම ඔයා කන්නෙත් හොඳ දේවල් කියලා.”

අචිනි බිරිඳක් මවක් වාගේම සිසු පරපුරකට සෙනෙහේ ඇති ගුරුවරියකි. දැරු දැරියන්ගේ ඉගෙනුම් කටයුතු වාගේම, මෑතකදී බත්තුළුඔය මහා විදුහලට ගෙවතු වගාබිමක් ඇතිකිරීමේ කටයුතුත් මේ වනවිට විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ 2022 වසරේ උසස් පෙළ සිසුන්ගේ ව්‍යාපෘතියක් ලෙසිනි. ඊටද අචිනි ගුරුතුමිය ඉහළ දායකත්වයක් ලබා දේ.

ඇත්තටම වගාව එක්ක කටයුතු කරනවා කියන්නේ හිතට හරිම සැනසීමක්. ඉස්සර මට කේන්ති යන අවස්ථා තිබුණා. දැන් එහෙම නැහැ. ගුරු වෘත්තිය තුළත් මම කාර්යබහුලයි. නොමිලේ ආර්ථික අපහසුතා ඇති දරුවන්ට උගන්වනවා. ගෙදරදොරේ වැඩ, දරුවන්ගේ වැඩ කරනවා. වගාවට ඕන කරන පොහොර ටික, කෘමි විකර්ෂක ටික මමම හදාගන්නවා. ඒ හැමදේටම මට කාලය තියෙනවා.”

ඇය කියන්නේ සතුටිනි. ඕනෑකම ඇත්නම් ඕනෑම දෙයකට කාලවේලාව වෙන් කරගත හැකිය. ඒ කාලයට උපරිම වටිනාකමක් දෙන්නේ කෙසේද යන්න තීරණය කළ යුත්තේ නම් ඔබය.

දීපා වසන්ති එදිරිසිංහ