සුව දිවිය

වකුගඩු ලෙඩ වෙච්ච අයට කොවිඩ් හැදුනොත් ලේසි නෑ

‘‘වකුගඩු ලෙඩ තියෙන අයට කොරෝනා හැදුනම වකුගඩු තවත් නරක් වෙනවලු නේද?’’

මා ගමන් කළ බස් රථයේ සිටි කාන්තාවක් අනෙක් කාන්තාවගෙන් විමසනු ඇසිණි.

‘‘ඔව් ඒ අතින් අපි වාසනාවන්තයි. අපිට ඉතින් එහෙම ලෙඩ නැහැනේ…’’

එහෙන් මෙහෙන් ඇහුනු මේ කතාවේ ඇත්ත නැත්ත දැනගැනීමට හිතුනු නිසා මම කන්තලේ මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යූ.ඩී.එන්.ප්‍රසාද් මහතාට ඇමතුමක් ලබාගත්තෙමි.

‘‘නිදන්ගත වකුගඩු රෝග තියෙන අයට විතරක් නෙවෙයි එහෙම ප්‍රශ්න නැති අයටත් කොරෝනා නිසා වකුගඩු රෝග ඇතිවෙනවා. හැබැයි ඒ ගැන ගොඩක් අය දැනුවත් නැහැ.’’

මගේ පැනයට එසේ පිළිතුරු දී වෛද්‍යවරයා තවදුරටත් ඒ පිළිබඳව පැහැදිළි කළේය.

‘‘නිදන්ගත වකුගඩු රෝගයක් නැති කෙනෙක්ගේ වුණත් වෘක්ක නාලවලයි, ගුජ්ජිකාව කියන කොටසටයි හානි කරන්න කොරෝනාවට පුළුවන්.

ඒ නිසා කොවිඩ් හැදෙන අයගෙන් 17%කගේ විතර වකුගඩු අක්‍රිය වෙලා තියෙනවා. පෙර වකුගඩු ගැටළු තිබුණු අය වගේම නොතිබුණු අයත් මේ ගණනය කිරීම්වලට ඇතුළත්.’’

මෙයින් 5%ක පිරිසක් එම සංකූලතා අසාධ්‍ය වීම හේතුවෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර, දන්නා බසින් පැවසුවහොත් සිරුරේ ලේ පිරිසිදු කිරීමේ ප්‍රතිකාර වෙතද යොමු කරන බව ඔහු කියයි.

කොවිඩ්-19 වෛරසය නිසා ශරීරයේ ඇතිවන ප්‍රදාහය වක්‍රාකාරයෙන් වකුගඩුවලට බලපායි. එපමණක්ද නොව කොවිඩ් වෛරසයේ බලපෑම වකුගඩු සෛලවලටද ඍජුවම හානිකරයි.

‘‘කොවිඩ් නිසා වකුගඩුවලට සාමාන්‍ය බලපෑමක් ඇතිවෙන්නත් පුළුවන්. නමුත් සමහරුන්ට තත්ත්වය උග්‍රවෙලා වකුගඩු අක්‍රිය වෙන අවස්ථාත් තියෙනවා. අපේ වකුගඩු අක්‍රිය වුණහම ශරීරයේ ක්‍රියටිනින් (Creatinine) වැඩි වෙනවා. ඒ සංයෝග ඕනවට වඩා ඉහළ ගියොත් ඇඟේ ලේ සුද්ද කරන්න වෙන්නත් පුළුවන්.’’

ලේ පිරිසිදු කරන තත්ත්වයටම පැමිණි 50% පිරිසක් මියයන බවට වෛද්‍ය සමීක්ෂණවලින් පවා සනාථ වී ඇත.

පිරිමි පුද්ගලයන්, ස්ථුල උදවිය සහ දියවැඩියාව, අධිරුධිර පීඩනය, හාද රෝග වැනි රෝගවලින් පීඩා විඳින අය කොරෝනා සමඟ ඇතිවිය හැකි වකුගඩු අවධානම ගැන හොඳ අවධානයකින් පසුවිය යුතුය.

‘‘කොවිඩ් එක්ක එන වකුගඩු සංකූලතා වැඩි වුණොත් රෝගියා මියයාමට තියෙන ඉඩත් වැඩියි.’’

ඔහු කියන්නේ කොරෝනා නිසා ඇතිවන වකුගඩු ගැටලු අනෙකුත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස ඇතිකරන ගැටලු මෙන් ලෙහෙසි පහසු නැති බවය.

කොවිඩ් වැළඳුණු පසු මුත්‍රා සමඟ ලේ පිටවීම, මුත්‍රා සමඟ පෙණ පිටවීම (ප්‍රෝටීන) මුත්‍රා ප්‍රමාණය අවම වීම වැනි ලක්ෂණ ඇතිවී ඇත්නම් ඒවා කොවිඩ් සමඟ එන වකුගඩු සංකූලතාවයක රතුඑළි විය හැකිය. එවැනි ලක්ෂණ ඇත්නම් අදාළ වෛද්‍යවරුන් දැනුවත් කිරීමට ඔබ ඉක්මන් විය යුතුය.

‘‘නිදන්ගත වකුගඩු රෝගීන්ට කොවිඩ් හැදුනොත් තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. එතැනදී වකුගඩු රෝගය උග්‍ර වෙනවා විතරක් නෙවෙයි කොරෝනා සංකූලතාත් වැඩි වෙනවා. වකුගඩුවක් බද්ධ කළ අයටත් එහෙමයි. ඉතින් ඔවුන්ට දෙන්න තියෙන මූලිකම පණිවිඩය තමයි හිත හිත ඉන්නේ නැතිව එන්නත විදගන්න. ඒ වගේම දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, ජනාකීර්ණ තැන් මඟහැරීම, පිටස්තර පුද්ගලයන් අතර මීටරයේ දුර පවත්වාගැනීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ටික හරියට පිළිපදින එකත් වැදගත්.

ඒ වගේම නිදන්ගත වකුගඩු රෝග ඇති අය තමන්ට බොන්න දීලා තියෙන ඖෂධ ටික ඒ ආකාරයෙන්ම ගන්න. ඒ වගේම වෛද්‍ය උපදෙස් අනුව රුධිරය සුද්ධ කිරීමේ ප්‍රතිකාර වෙත නිසි වෙලාවට යොමුවීමත් වැදගත්.’’

 

කායික රෝග විශේෂඥ වෛද්‍ය

යූ.ඩී.එන්.ප්‍රසාද්

කන්තලේ මූලික රෝහල

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි