Latest News

වායු දූෂණය නිසා අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී සිටින්න

වායු ෂණය හේතුවෙන් කොළඹ අහස අද උදෑසන මීදුම වැනි දුමාරයකින් වැසී තිබෙන ආකාරය දක්නට ලැබුන අතර එය, වායු දූෂණය මැන බලන වායු තත්ත්ව දර්ශකයේ අගය කොළඹ, 181ක් ලෙස සටහන් වුණා.

සෞඛ්‍යයට අහිතකර අගය ලෙස සැළකෙන්නේ 150 – 200 අතර අගයන් වන අතර ඒ අනුව මෙම තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වනවා.

මේ අතර කොළඹ, මහනුවර, රත්නපුර, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පවතින අධික වායු දූෂණය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින ලෙසයි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවයි.

“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා.”

“දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නරගවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යාපනය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල.”

“මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”

“මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි.”

“ඒ වගේම මේ වගේ අවස්ථාවකදී මුඛ ආවරණයක් දැමීම වැදගත් වෙනවා.”

මේ අතර ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.

ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු කරගෙන මෙරට වායු දූෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට පෙර දී ද සඳහන් කර තිබුණා.