විශේෂාංග

ශ්‍රී ලංකා පිලේ හිටපු මායාකාරී පන්දු යවන්නා මගේ වුණේ හරි අහම්බෙන්

ඒ 2008 ජූලි 06 වැනිදාය. එදා පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාපිටියට දහස් ගණනක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පැමිණ තිබුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟමාලාවේ අවසන් මහා තරඟය නැරඹීමටයි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ ලකුණු 273ක් ලබාගත් අතර, ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සනත් ජයසූරිය ලකුණු 125ක් ලබාගැනීමට සමත්විය. නමුත් එකී ඉලක්කය ඉන්දියාවට අපහසු එකක් වූයේ නැත. මන්ද එවකට ක්‍රිකට්පිටියේ නම් දැරූ විශිෂ්ට පිතිකරුවන් වූ සචින් තෙන්ඩුල්කාර්, විරෙන්දර් ෂේවාග් වැනි ක්‍රීඩකයින්ගෙන් ඉන්දීය කණ්ඩායම සවිමත් වී තිබුණි. නමුත් කිසිවෙකුත් නොසිතූ ලෙසින් පන්දුවාර 39.3කදී ඉන්දියානු කණ්ඩායම ලකුණු 173කට දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු සියයක විශිෂ්ට ජයග්‍රහණයක් උරුමකරදෙමිනි. එහිදී සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් දකුණත් පිටදඟපන්දු යැවූ ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ලකුණු 13කට කඩුලු 06ක් දවාගත් අතර, එකී දක්ෂතාවය නිසාම තරඟයේ වීරයා වූයේද අජන්ත ය. අදටත් ඔහුගේ පන්දු යැවීම සැලකෙන්නේ ආසියානු කුසලාන අවසන් මහා තරඟයක වාර්තා වූ හොඳම පන්දු යැවීම ලෙසිනි. එදා ක්‍රිකට් විචාරකයින් පැවසුවේ මුරලිගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට මායාකාරී පන්දු යවන්නෙකු බිහිවී ඇති බවයි. මේ වනවිට එකී මායාකාරී පන්දු යවන්නා ක්‍රිකට්පිටියෙන් සමුගෙන සිටියද අදටත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ හිත්වලින් ඔහු සමුගෙන නැත. ඒ නිසාම පසුගියදා අප අජන්තගේ නිවසට ගොඩවැදුනේ ඔහුගේ ආදරණීය බිරිඳ වන යෝෂිනී මෙන්ඩිස් සමඟ මේ සුපිරි ක්‍රීඩකයා ගැන කතාබහක යෙදෙන්නටය.

*යෝෂිනීට අජන්තව මුණගැහුනේ අහම්බෙන් මැච් එකක් බලන්න ගිහින්ලු නේද?

මට මතක විදියට 2010 අවුරුද්දේ ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර එක්දින තරඟාවලියක් තිබුණා. අහම්බෙන් වගේ ටිකට් වගයක් හම්බෙලා මමත් යාළුවොත් එක්ක ඛෙත්තාරාමේ තිබුණු මැච් එකක් බලන්න ගියා. ඒ ගිහිල්ලා තමයි මට අජන්තව මුණගැහුනේ. තාමත් ඒක මට හීනයක් වගේ.

 

*එදා අජන්ත ඒ තරඟයට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඔයා තරඟය නරඹන්න ගිය ප්‍රේක්ෂිකාවක්. ඉතින් තරඟය අතරතුරේ ඒ අහඹු හමුවීම සිද්ධවුණේ කොහොමද?

එදා අපි මැච් එක බැලුවේ අපේ ක්‍රිකට් ටීම් එක හිටපු තැනට කිට්ටුවම තැනක ඉඳගෙන. ඉතින් එයාලට අපිවත් හොඳට පෙනුණා. අපිට එයාලවත් හොඳට පෙනුණා. එතැනදි තමයි අජන්ත මාව දැකලා මගෙත් එක්ක කතා කළේ. ඉතින් ටික කාලයක් අපි යාළුවෝ වගේ ආශ්‍රය කළා. ඊටපස්සේ ඒ යාළුකමම ආදරේකට හැරුණා.

 

*ඉතින් අජන්ත එහෙම කතාකරද්දී ඔයා ගණන් ඉස්සුවේ එහෙම නැද්ද?

(සිනාසෙමින්) අනේ නෑ. මොකද යාළුවෝ විදියට ආශ්‍රය කරද්දි මට තේරුණා එයා ගොඩාක් හොඳ කෙනෙක් වගේම ගොඩාක් අවංක කෙනෙක් කියලා. ඉතින් මට බොරුවට එයාට ගණන් උස්සන්න උවමනා වුණේ නෑ.

 

*අජන්තයි ඔයයි විවාහ වුණාට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට එයාගේ කාර්යබහුල බව ඔයාට දැනුණේ කොයි විදියටද?

මං විවාහ වෙනකොට මට අවුරුදු 21යි. ඉතින් ටිකක් පොඩියි. ඒ නිසාම මුලදි මුලදි නම් ඒක ටිකක් දැනුණා. හැබැයි ගොඩාක් වෙලාවට අජන්ත ඒක මට දැනෙන්න ඇරියේ නෑ. මොකද ටුවර් එකක් ගියත් එයා මාව එක්කන් ගියා.

 

*ඒ කාලේ අජන්තට තරුණියන්ගේ ලොකු ආකර්ෂණයක් තිබුණා. බිරිඳ විදියට යෝෂිනීට ඒක දැනුණේ කොහොමද?

ඒක නම් ලොකුවට ගණන් ගත්තේ නෑ. මොකද නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදරේ කරන පිරිසක් හැමතැනම ඉන්නවා. ඒක මං ඒ වෙනකොටත් තේරුම් අරන් හිටියේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.

 

*අජන්ත ඇරුණම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් යෝෂිනී කැමතිම කාටද?

අජන්ත ඇරුණම කුමාර් සංගක්කාරට ආසයි. එයා බැට් කරනවා හරි ලස්සනයි.

 

*අජන්ත ක්‍රීඩා කළ තරඟ අතරින් අදටත් අමතක නැති තරඟයක් ඔයාට තියෙනවද?

මං ගොඩක්ම ආස 2008 ආසියානු කුසලාන තරඟමාලාවේ අවසන් තරඟයට. එදා අජන්ත කඩුලු හයක් අරන් අවසන් තරඟයේ වීරයා වුණා. ඒ වෙනකොට අපි අපිව දන්නෙවත් නෑ. ඒත් ඒ තරඟය මට මතකයි. හැබැයි ඉතින් ඒ කොල්ලා දවසක මගේ වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ.

 

*ඒ දවස්වල ක්‍රිකට් විචාරකයෝ අජන්තට කිව්වේ මායාකාරී පන්දු යවන්නා කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන සතුටුයි ඉතින්. එයා පුදුම වේගයකින් තමයි මුල් තරඟවල කඩුලු ගත්තේ. ඒත් එයාට ආපු ආබාධත් එක්ක හැමදේම වෙනස් වුණා. ආබාධ ආවේ නැත්නම් ඒ කඩුලු ගත්තු ගැනිල්ලට අජන්ත කොහෙන් නතරවෙයිද දන්නේ නෑ.

 

*ආබාධ නිසා අජන්තට යන්න බැරිවුණු ඒ ගමන ගැන පස්සේ කාලේ එයා දුක්වෙලා නැද්ද?

අජන්ත කියන්නේ කවදාවත් අපට දුක පෙන්නපු කෙනෙක් නෙවෙයි. ඒත් එයා හිත යටින් දුක්වෙන්න ඇති. එයාට ගොඩක් බලපෑවේ කොන්දේ අමාරුවක්. ඒත් ඒ අමාරුව තියාගෙන ගිහින් මැච් ගැහුවා. 2012 ලෝක කුසලානය ගැහුවෙත් එහෙමයි.

 

*ලෝකයේ වැඩිම වේගයෙන් කඩුලු ගත්ත අජන්ත මෙන්ඩිස්ගේ කඩුලු මල්ල ගැන කිව්වොත්?

එයා ටෙස්ට් තරඟ 19කදි කඩුලු 70ක් ගත්තා. හොඳම පන්දු යැවීම ලකුණු 117ට කඩුලු 06ක්. එක්දින තරඟ 87කදි කඩුලු 152ක් ගත්තා. හොඳම පන්දු යැවීම ලකුණු 13ට කඩුලු 06ක්. ඒ වගේම විස්සයි විස්ස තරඟ 39කදි කඩුලු 66ක් ගත්තා. හොඳම පන්දු යැවීම ලකුණු 08ට කඩුලු 06ක්. ජාත්‍යන්තර පන්දු යැවීම ගත්තම ඒ විදියට තමයි.

 

*ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණු 2009 වසරේ පාකිස්තාන තරඟ සංචාරය එහෙම අජන්ත නිකන් ඉන්න වෙලාවට මතක් කරන්නේ නැතිද?

මොකද නැත්තේ. හැම අවුරුද්දකම ඒ දවසට එයා ඒක මතක් කරනවා. එදා එයාගේ ඔලුවටයි කොන්දටයි තමයි වෙඩි වැදිලා තිබුණේ. තාමත් එයාගේ ඇඟේ ඒ කෑලි තියෙනවා. අජන්ත නම් කියනවා තාමත් එයාට ඒක හීනයක් වගේ කියලා.

 

*ක්‍රිකට්පිටියෙන් සමුගත්ත අජන්ත දැන් මොකද කරන්නේ?

මේ වෙනකොට එයා ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියට කටයුතු කරනවා.

 

*අජන්ත වැඩිය විලාසිතා කරන්න එහෙම කැමති නැත්තේ මොකද?

(සිනාසෙමින්) එයා ආස ගොඩාක් චාම් විදියට ඉන්න. මම නම් ආසයි එයා විලාසිතා කරනවා නම්. මොකද මමත් ඒ පැත්තට ටිකක් විතර බරයි.

 

*දැන් බබාලා එහෙම ලොකු ඇති නේද?

පුතාට දැන් වයස අවුරුදු 10ක්. දුවට 06ක්. අපි හතරදෙනා සතුටින් ඉන්නවා. බබාලා එක්ක ඉන්නකොට අජන්තත් සමහර වෙලාවට බබෙක් වගේ.

 

*‍යෝෂිනීට පුතා ලැබෙද්දි අජන්තත් හොස්පිට්ල් එකේ පිරිමි වාට්ටුවේ නැවතුණා කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) නෑ නෑ ඒ කතාව මෙහෙමයි. මං පුතා ලැබෙන්න කොළඹ හොස්පිට්ල් එකේ නැවතුණු දවසේ අජන්ත හෝටලේකින් පොඩි කෑමක් කාලා ඒක ඇලජික් වෙලා. ඒ නිසා එදාම එයාටත් ඒ හොස්පිට්ල් එකේම පිරිමි වාට්ටුවේ නැවතෙන්න වුණා.

 

*ලෝකේ ලොකුම කතුරු ඔංචිල්ලාව එක්කත් අජන්තගේ හරිම රස කතාවක් තියෙනවලු නේද?

ඔව් ඔව්. එක සැරයක් ක්‍රිකට් ටීම් එකම නිවාඩුවකට ඇමෙරිකාවේ ටුවර් එකක් ගිහින්. එහෙලු තියෙන්නේ ලෝකේ ලොකුම රෝලර් කෝස්ටර් එක. ඉතින් හැමෝම ඒකේ රවුමක් ගියාලු. එක රවුමක් යද්දිම හැමෝටම කැරකිල්ලලු. ඊටපස්සේ හැමෝම ඒකෙන් බැහැලා වමනේ කරලා. ටික වෙලාවකින් බලද්දි එතැන අජන්ත නැතිලු. මෙන්න බලද්දි එයා රෝලර් කෝස්ටර් එකේ නැගලා තව රවුමක් යනවලු. එයා ඒ වගේ දේවල් කරන්න හරිම කැමතියි.

 

*ඒ වගේ දේවල් විතරක් නෙවෙයි දෙන්නා වවන්න එහෙමත් කැමතිලු නේද?

කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉන්නකොට තමයි ඒ අදහස ඔලුවට ආවේ. පස්සේ ඉතින් එළවලු, පලතුරු ටිකක් වත්තේ වැව්වා. ඒ වවද්දි ආස හිතුණා. දැන් ඉතින් දිගටම අපි වවනවා.

 

*අජන්ත මෙන්ඩිස්ගේ ආදරණීය බිරිඳ විදියට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

අජන්ත මෙන්ඩිස් කියන්නේ එයා ගැනවත් නොහිතා රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒ නිසා එයාගේ බිරිඳ විදියට මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම එයාට අදටත් හැමෝම වගේ ආදරෙයි. ඒ ගැනත් මට ලොකු සතුටක් තියෙනවා.

 

රුවන් එස්.සෙනවිරත්න