විශේෂාංග

ස්මාර්ට් ​ හොරුන්ට ගෙදරට එන පාර නොකියා යන තැනක ගිහින් එන්න

බඩු මිල අහස උසට නැගුණත්, පෙට්‍රල් පෝලිමේ දින ගණන් ඉන්නට සිදුවුවත් සුවනිට සහ මධූකට ඕනෑ වූයේ මේ අවුරුදු නිවාඩුවේ විනෝද චාරිකාවක් යෑමටය.

ගිය දෑ අවුරුද්දේම කොරෝනා හේතුවෙන් ඔවුන්ගේ ගමන් බිමන් සීමා වුණි. ඇතැම් යෙහෙළියන් පවුලේ අය සමඟ විනෝද ගමන් ගොස් මුහුණුපොතට එක්කර තිබූ ඡායාරූප දකිද්දී සුවනිට දැනුණේ දුකකි. ඒකටත් හරියන්නට එක්ක මෙවර චාරිකාව ගොස් හොඳ පින්තූර ටිකක් මුහුණුපොතට එක්කළ හැකියැයි ඇය කල්පනා කළාය. මෙවර බදුලු බණ්ඩාරවෙල යමු යැයි මධූක කියද්දී සුවනි සතුටින් හිනැහුණාය.

‘‘ලස්සන පින්තුර ටිකක් ගන්නත් අපිට පුළුවන්…’’

ඇය ඒ මොහොතේ පටන් සිතින් ජීවත් වූයේ බදුලු බණ්ඩාරවෙල සුන්දර පරිසරයේය. ඇල්ල වැල්ලවාය මාර්ගයේ වන ‘රාවණා ඇල්ල’ ද ඈ සිත්ගත් ස්ථානවලින් එකකි.

‘‘ඔන්න මේ පාර නම් ට්‍රිප් එක ගිහින් එනකන් ෆොටෝ දාන්න හිතන්නවත් එපා.’’

‘‘ඇයි ඒ…. අපි වෙනදට ගමන ගිහින් එනකම්ම ෆොටෝ දානවනේ.’’

සුවනි ප්‍රශ්න කළාය. සුවනි වාගේම බොහෝදෙනෙකු නොසිතනා පැති කොතෙක්ද?

බොහෝදෙනා මේ වනවිට ගෙවමින් සිටින්නේ ආර්ථික අතින් අමාරු කාලයකි. ඒ නිසාම සොරකම් වැඩිවී තිබේ. සොරුන්ම නොවුණත් පවතින ආර්ථික දුෂ්කරතා නිසාම මිනිසුන් සොරුන් විය හැකි කාලයකි මේ. මුහුණුපොතද ඊට තෝතැන්නක් වී ඇත.

‘‘එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ තමන් යන ගමන් බිමන් ගැන මුහුණුපොත ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍යවලට තොරතුරු එක්කරන්න එපා. ඒ යන ගමන් බිමන්වල ඡායාරූප Fb එකට දානවා කියන්නේ සොරුන්ට ගෙදරදොර හැරලා දෙනවා වගේ වැඩක්. මොකද මේ සමාජ මාධ්‍ය ජාලාවල මිතුරන් ලෙස පෙනී සිටින ඇතැම් ජාවාරම්කරුවන්ට ඔබේ තොරතුරු පහසුවක් විය හැකියි. ඔබ නිවසේ නැති බව ඔවුන් දැනගන්නේ එම ඡායාරූප උපයෝගී කොටගෙනම විය හැකියි. ඒ අනුව එවැනි ස්මාර්ට් සොරුන්ට ගෙදරට පාර නොපෙන්වා අවශ්‍යම නම් ගමන්බිමන් ගොස් පැමිණ අදාළ ඡායාරූප මුහුණුපොතට එක්කිරීමේ වරදක් නැහැ.’’

ඒ ජ්‍යේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි.

ගෙවල් බිඳුම්, මංපැහැරීම් මේ දිනවල වැඩිවී ඇති අයුරු දෛනික පොලිස් වාර්තා අනුව පෙනී යන්නකි. විශේෂයෙන්ම විදුලිය අක්‍රියව පවතින රාත්‍රී කාලයේ එවැනි ක්‍රියාවන්ට වැඩි ඉඩකඩක් තිබේ.

එහිදී ඊළඟ ඊළඟ ඉලක්කය විය හැක්කේ ඔබේ ආදරණීය වයෝවෘද්ධ වැඩිහිටියන්ය. ඔවුන් නිවසේ තනිව සිටින්නේ නම් වඩාත් කල්පනාකරී වීම වැදගත්ය. ඒ එවැනි නිවෙස් පිළිබඳ කලින් තොරතුරු රැස්කොට ඔවුන් සතු වටිනා දෑ පැහැරගැනීම ​සොරුන්ට පහසු බැවිනි. පසුගියදා මාලඹේ තලාහේන ප්‍රදේශයේදී අසූ හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ එවන් සොරුන් දෙදෙනෙකු නිසාය. එදින අලුයම එම නිවස වෙත සොරුන් පැමිණ ඇත්තේ නිවැසියන් උදෑසන ඉවුම් පියුම් කටයුතු සඳහා කුස්සියේ දොර විවර කිරීමත් සමඟිනි. එහිදී වයෝවෘද්ධ බිරිඳ බැඳදමා සොරුන් රන් බඩු කොල්ලකා තිබුණි. ඒ අතර පොරබැදීමක් සිදුව ඇතිවූ තත්ත්වයක් මත අදාළ සැමියා මරණයට පත්ව තිබුණි. පොලිසිය සීසීටීවී ඔස්සේ දර්ශන ලබාගනිමින් පරීක්ෂණ සිදු කරද්දී එම සොරකම මෙහෙයවා ඇත්තේ එම වත්තේ පොල් කැඩීමට පැමිණි පුද්ගලයා සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තවත් අයෙකු බවට හඳුනාගැනුණි. මෙවැනි කාරණා පිළිබඳව පසුව දුක්වනවාට වඩා කලින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ.

​මේ අයුරින්ම උත්සව සමයේ බඩු බාහිරාදිය මිලට ගන්නට නගරයට යන පිරිස් ද අවධානය යොමු කළ යුතු කාරණා ගණනාවකි. ඒ අතර තම ගමන්මලු මුදල් පසුම්බි ආරක්ෂා කරගැනීම මෙන්ම ත්‍රීරෝද රථ, යතුරුපැදි නතර කරන්නට පෙර එම ස්ථානය ආරක්ෂිත දැයි අවධානය යොමු කිරීම වැදගත්ය. තමන් වෙතට පැමිණිය හැකි මෙවන් කරදර හිතට අමතර බරක් පසුතැවිල්ලක් කර නොගන්නට නම් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

‘‘විශේෂයෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් එක්ව ත්‍රීරෝද රථ සොරාගැනීමට ඉඩකඩ පවතිනවා. ඒ නිසා අදාළ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. උත්සව සමයේ රථවාහන තදබදය වැඩිවෙන්නේ ජනතාව ඇඳුම් පැළඳුම් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට නගරයට පැමිණීම හේතුවෙනුයි. එවැනි වෙලාවන් මගහැර හෝ මෙම කරුණු ගැන දැනුවත්ව නගරයට පැමිණීම ඔබට පහසුවක් වෙනවා.’’

මෙහිදී පාර දෙපස තම රථය අනාරක්ෂිතව නතර කර තබා යෑම වෙනුවට ආයතන රථගාල් මෙන්ම නාගරික රථගාල් උපයෝගීකොටගත හැකිය. නොඑසේනම් පැය ගාණක් සාප්පු සවාරියේ ගොස් ආපසු පැමිණෙද්දී ඔබේ යතුරුපැදිය, ත්‍රීරෝද රථය නතර කර ගිය තැන නොතිබීමට ඉඩ තිබේ. එය ඔබ සොයන අතුරතුරේ කොතැන හෝ ගරාජයක එය මස් කරමින් තිබෙනවා විය හැකිය. ඊළඟට ඔබට නැතිවූ දේපළ සොයා ගන්නට පොලිසි ගානේ මෙන්ම මහමග රස්තියාදු වීමට සිදුවේ.

එපමණක්ද නොවේ. පාන් ගෙඩිය, පොල් ගෙඩිය, හාල් කිලෝව වුවද ඔබ අමාරුවෙන් උපයා සපයා ගන්නවා විය හැකිය. දෛනිකව කුලී රැකියාවක නියැලෙන්නෙක් නම් ඒ අමාරුකම් කොතෙක්දැයි කියන්නට අපහසු නැත. පසුගියදා හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙළෙඳසැලක සිට හාල් කිලෝ දහයක බෑගයක් ගෙන, එය යතුරුපැදියේ තබා තවත් අමතක වූ යමක් ගෙනෙන්නට යළි වෙළඳසැලට ගොස් ඇත. ඔහු නැවත එනවිට සහල් කවරය යතුරුපැදියෙන් අතුරුදහන්ය. මේ වාර්තා වූ එක් සිදුවීමක් පමණි. අද වනවිට ආහාර ද්‍රව්‍යයේ සිට විවිධ දුෂ්කරතා විඳින මිනිසුන් බොහොමයකි. ඒ කවර දුෂ්කරතා පැවතියත් සිංහල සංස්කෘතිය ඔප් නංවන හෙළයේ අවුරුද්ද මෙවරත් හැකි පමණින් සමරන්නට මිනිසුන් ලකලෑස්ති වනු පෙනේ.

එහිදී ආර්ථික දුෂ්කරතාවයේ ගිලී සිටින තම අසල්වැසියා ගැන ඇති හැකි ඔබට සානුකම්පිතව හිතන්නට හැකි නම් ඒ නිවසේ අවුරුදු බත ඉදෙන්නට ඔබටද දායක විය හැකිය. ඒ දුෂ්කර කාලයන් පැමිණියත් ඒවා පසුකර යෑමට මනුස්සකම් ඉස්සර කරගත යුතු බැවිනි.

දීපා වසන්ති එදිරිසිංහ