සමාව නොගත්තානම් ලෝක කුසලානයත් මගහැරෙන්න ඉඩ තිබුණා
“මේ වැරදි හරිගස්සන්න ලැබුණ දෙවැනි අවස්ථාව.”
අඩි හයයි අඟල් පහක් උසැති කඩවසම් ඇලෙක්ස් හේල්ස් සිය ක්‍රීඩා දිවියේ දෙවන උපත ගැන අදහස් දැක්වූයේ එලෙසිනි.
2019 අප්‍රේල් මාසයේ කාඩිෆ්හි පුහුණු කඳවුරෙන් ඉවත්ව යද්දී ඔහු දෙවන අවස්ථාවක් ගැන බලාපොරොත්තු නොවීය. ඔහුට එහිදී එක්තරා දිනක් උදෑසනම එවකට එංගලන්ත ක්‍රිකට් කළමනාකාර අධ්යක්ෂ ඈෂ්ලි ගිල්ස් කතා කළේය. ඔහු දැනුම් දුන්නේ දෙවන මත්ද්‍රව්‍ය පරීක්ෂණයෙන්ද හේල්ස් අසමත් බවයි. එනිසා ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයෙන් ඔහු ඉවත් කරන බව ගිල්ස් පැවසීය. එය ඇසූ වහාම ඇලෙක්ස් හේල්ස් විශ්වාස කළේ තමාගේ ක්‍රීඩා දිවිය අවසන් බවයි. ඔහුගේ කම්පනය කොතෙක්දයත් සිය බඩු බාහිරාදිය රැගෙන පිටව ගියේ කණ්ඩායම් සගයින් කිසිවකු හමු නොවීය. නිවස කරා එදින ගිය ගමන තමාගේ දිවියේ දීර්ඝතම චාරිකාව ලෙස ඇලෙක්ස් හේල්ස්ට දැනිණ.
“ඒක තමයි මගේ ජීවිතේ පහත්ම මොහොත.”
හේල්ස් පැවසීය. වසර තුනකුත් මාස හතරක නිහැඬියාවකින් පසු ඇලෙක්ස් හේල්ස්ට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දොරටුව හැරුණේ ජොනී බෙයාර්ස්ටෝ ආබාධයකට ලක්වීම හේතුවෙනි.
“මේක දෙවැනි අවස්ථාවක් විදියට දැනෙනවා. ඒක ලැබුණේ සියලු වැරදි නිවැරදි කරගන්න.”
1989 ජනවාරි 03 වනදා එක්සත් රාජධානියේ හිලින්ග්ඩන්හිදී උපත ලැබූ ඇලෙක්සැන්ඩර් ඩැනියල් හේල්ස් තමා ප්‍රවේගකාරී පිතිකරුවකු බව ඔප්පු කළේ වයස අවුරුදු 15දීමය. 2005 වසරේ ලෝඩ්ස්හිදී පැවති තරඟයකදී ඕවරයකදී ලකුණු 55ක් රැස් කිරීමට ඔහු සමත් විය. (එම පන්දු වාරයට නිපන්දු කිහිපයක්ද ඇතුළත් විය.) වයස අවුරුදු 18දී නොටින්හැම්ෂයර් කණ්ඩායමට තෝරාගැනීමේ තරඟයකදී හේල්ස් ඩර්බිෂයර් කණ්ඩායමට එරෙහිව ලකුණු 218ක් රැස් කළේය. එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ දැක්වූ දක්ෂතාද හේතුවෙන් 2011දී හේල්ස්ට එරට ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවිය. සිය පළමු පන්දු වාර 20 තරඟයේදී ලකුණු නොලබා දැවී ගියද දෙවැන්නේදී හෙතෙම නොදැවී ලකුණු 62ක් රැස් කළේය. වේගයෙන් පන්දුවට පහරදීමට සමත් හේල්ස් 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 64කදී ලකුණු 116ක් රැස් කළේය.
සියල්ල යහපත් ලෙස සිදුවෙමින් තිබියදී ඇලෙක්ස් හේල්ස්ගේ විනය සම්බන්ධයෙන් අඛණ්ඩව චෝදනා එල්ල විය. ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට පෙර සිටම ඔහුට එවැනි චෝදනා තිබිණ.
2009 වසරේදී සාදයකට කළු ජාතිකයකු මෙන් සැරසී පැමිණීමෙන් හේල්ස් අපහාසාත්මක හැසිරීමක් කළ බවට මතයක් ඇති විය. ඒ අනුව හෙතෙම ප්‍රසිද්ධියේ සමාව ගත්තේය.
“මම එදා මගේ සංගීත වීරයා වන ටූපාක් ෂකූර් විදියට සැරසුණා. එතකොට මට වයස අවුරුදු 19යි. මම කරන දේ ප්‍රතිවිපාක ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒත් ඒ පින්තූර නිකුත් වුණාට පස්සෙ ලැජ්ජාවක් ඇතිවුණා.”
සමේ වර්ණය පදනම් කරගත් අපහාස කිරීම් ගැන ඒ කාලයේම ඔහුට තවත් චෝදනාවලට මුහුණදීමට සිදුවිය. ඊට අමතරව මත්ද්‍රව්‍ය භාවිතය සහ අඬදබර සම්බන්ධයෙන්ද හේල්ස් නිරන්තරයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීය. 2017 දී සමාජශාලාවක ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇලෙක්ස් හේල්ස් මෙන්ම බෙන් ස්ටොක්ස්ද චෝදනාවට ලක්වූහ. දෙදෙනාටම එංගලන්ත ජාතික කණ්ඩායමේ දොරටුව වැසිණ.
හේල්ස් සම්බන්ධයෙන් දිගින් දිගටම විශ්වාසය පළුදු වූ අතර හිටපු නායක ඔයින් මෝගන් ඔහු කණ්ඩායමට එක්කර ගැනීමට කිසිඳු කැමැත්තක් නොදැක්වීය. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයද ඊට අනුමැතිය දැක්වීය. මෝගන් පැවසුවේ හේල්ස් කණ්ඩායමේ වටිනාකම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඇලෙක්ස් හේල්ස් මුලදී දැඩි කෝපයකින් පසු වුවද තමාගේ වැරදි සාදාගැනීමට ඔහු දැඩි සේ ඇපකැප විය. එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළද මෝගන් සහ තමා අතර කතාබහක් නොවූ බවද ඔහු පවසයි.
“ඒත් ඇත්තටම මා තරහා වෙන්න ඕනෙ කා එක්කද? ඒක මගේ වරදක් නේද? මම කරපු දේවල් කළේ මමයි. මට තිබුණේ අත් ඔසවා වරද පිළිගැනීමයි. ඔබ කණ්ණාඩියකින් ඔබ දෙස බලමින් ඔබේ වැරදිවලින් ඉගෙනගන්න උත්සාහ කරන්න ඕනෙ.”
හේල්ස් ක්‍රිකට් සංචිතයෙන් නෙරපා හැර සති දහයකට පසු එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරඟය ලෝඩ්ස්හිදී පැවැත්විණ. නිවසේ සිට තනිවම පැමිණි ඔහු අවසන් තරඟය නැරඹීය.
“ඒක මගේ ජීවිතේ අමුතුම අවස්ථාවක්. එංගලන්තය ලෝක කුසලානය දිනාගැනීම ගැන මම සතුටු වුණා. ඒත් මා එහි සිටිය යුතුව තිබුණා කියන දේ දැනුණා. ලෝක කුසලාන සංචිතයට එකතු වෙලා ආසන්නයේදී එතැනින් මගහැරීම දැඩි වේදනාවක්. ඒක මහ බියකරු හීනයක්. ඒත් එතැන සිටීමට සුදුසුවීමට නම් මා ක්‍රීඩකයකු ලෙස වගේම මනුෂ්‍යයකු විදියට දියුණු විය යුතුයි යන්න මට හැඟුණා.”
කෙසේ වෙතත් වසර තුනකට අධික කාලයක් තමාගේ හීනය අතැර කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට හේල්ස්ට සිදුවිය.
“ක්රීඩකයකුට ඒක විශාල කාලයක්. ඒ වෙනකොට මට හිතුණේ ආයෙ කිසිදාක මේ අවස්ථාව මට ලැබෙන එකක් නෑ කියලා.”
එංගලන්ත කණ්ඩායමේ කළමනාකාර අධ්යක්ෂ ලෙස රොබට් කී සහ නායකයා ලෙස ජොස් බට්ලර් සම්බන්ධ වූයේ මේ අතරය. ඔවුන් සමඟ හේල්ස්ගේ සබඳතාව යහපත්ය. එහෙත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට හේල්ස් එක්කෙරුණේ නැත. හීන බිඳවැටෙන විට ඔහුට තවත් ඉවසා සිටිය නොහැකි විය. නැතිවන්නට දෙයක් නොතිබූ හේල්ස් රොබට් කී අමතා තමා සංචිතයට ඇතුළත් නොවීම ගැන ප්‍රශ්න කළේය. එහෙත් පැය කිහිපයක් ගතවනවිට හේල්ස් කෙටි පණිවිඩයක් කී වෙත යොමු කරන්නේ ඇමතුම සම්බන්ධයෙන් සමාව ඉල්ලමිනි. කෙසේ වෙතත් එම ඇමතීමෙන් පසු රොබට් කී කණ්ඩායම් සාමාජිකයන්ගෙන් විමසන්නේ හේල්ස් නැවත කැඳවීම ගැන විරෝධයක් තිබේද යන්නයි. එහෙත් කිසිවෙකුගෙන් ඊට විරෝධයක් එල්ල නොවේ. බෙයාර්ස්ටෝ හදිසි ආබාධයකට ලක්වන්නේ ඒ අතරතුරය. ඒ අනුව නැවත හේල්ස්ට ඒ අහඹු අවස්ථාව හිමිවිය. සිය පෙම්වතිය සමඟ සති හතරක නිවාඩුවක් ගත කිරීමට යොදාගත් සැලසුම හේල්ස් වෙනස් කරන්නේ වසර ගණනක් බලා සිටි අනගි අවස්ථාව හිමිකර ගැනීමටයි.
“මේ මොහොතේදී මේ අවස්ථාව ලබාගැනීම ආඩම්බරයට කරුණක්. ඇත්තටම මම ඒක බලා සිටියා. මගේ කණ්ඩායම ඉදිරියට ගෙන යාමට උදව් කළ හැකියි කියා මට හිතෙනවා.”
ඔහු සිතූ ලෙසම එය කළේය. එංගලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනීමේ මහා පුරුකක් වූයේය.
ජීවිතයේ යම් තැනකදී ඔබට වැරදිය හැකිය. එය කිහිප වාරයක් විය හැකිය. අන්‍යයන්ට ඔබ කෙරෙහි ගෞරවය සහ විශ්වාසයද බිඳී යා හැකිය. ඒවා නැවත ගොඩ නැගීමට වෙනත් කිසිවකුට ඉඩ නැත. එහි වගකීම ඔබටමය.
රෂ්නිකා ලියනගේ