විශේෂාංග

ඇන්ජලෝ මඩ නාගෙන එනවා අලුත් ඇඳුම් අන්දලා මම ආපහු යවනවා

ඒ 2010 නොවැම්බර් 03 වැනිදාය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාපිටිය ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී තිබුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක්දින ක්‍රිකට් තරඟමාලාවේ පළමු තරඟය නැරඹීමටයි. මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 8කට ලකුණු 239ක් ලබාගත්තේය. මෙල්බර්න් පිටියේදී එම ඉලක්කය හඹාගොස් ජයග්‍රහණය කිරීම තරමක් අසීරු බවයි ක්‍රිකට් විචාරකයින් පවසා තිබුණේ. වරෙක කඩුලු 8ක් දැවී ගිය පසුත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 107ක් ලෙසින් සටහන් වෙද්දී සියල්ලන් සිතුවේ ක්‍රිකට් විචාරකයින්ගේ අනාවැකි සත්‍ය වන්නට යන බවය. එහෙත් නවවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග ලකුණු 132ක වාර්තාගත සබඳතාවක් ගොඩනගමින් එක් කඩුල්ලක තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ එය කලකට අමතක නොවෙන තරඟයක් බවට පත් කරමිනි. එහිදී මැතිව්ස් නොදැවී ලකුණු 77ක් ලබාගැනීමට සමත් වූ අතර තරඟයේ වීරයා වූයේද ඔහුය. එතැන් පටන් ඔහු කණ්ඩායමේ ‘ඇංජිම’ ලෙස හැඳින්වූ අතර මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් තරඟ බොහෝ ගණනක ජයග්‍රහණයේ නියමුවා වී ඇත්තේද මැතිව්ස්ය. ඉතින් මේ කතාබහ ඇන්ජලෝ මැතිව්ස්ගේ මව වන මොනිකා මැතිව්ස් සමඟිනි.

*ඇන්ජලෝ මැතිව්ස්ගේ අම්මා වීම ගැන හරි ආඩම්බරයක් ඇති නේද?

ආඩම්බර නොවී කොහොමද? මං පොඩි පුතා ගැන ගොඩාක් ආඩම්බරෙන් ඉන්නේ. මොකද ඇන්ජලෝ මැතිව්ස් කිව්වාම මේ වෙනකොට රටක් ලෝකයක් දන්න ක්‍රීඩකයෙක්. ඉතින් මගේ පුතෙක් එහෙම තැනක ඉන්න එක ගැන මට හරිම ආඩම්බරයි.

 

*අපි ඇන්ජිගේ පොඩි කාලෙන්ම කතාව පටන්ගමු.  ඒ කාලේ ඇන්ජි කියන්නේ මොන වගේ දරුවෙක්ද?

එයාට පුංචි කාලේ ඉඳන්ම හොඳ ගතිගුණ පිහිටලා තිබුණා. වෙන පිරිමි ළමයි වගේ දඟ වැඩ කළේ නෑ. මගෙන් බැණුම් ඇහුවේ එහෙම නැති තරම්. හැබැයි අවුරුදු හයේ හතේදි නම් පොඩ්ඩක් දඟ වැඩ කළා.

 

*පුතා ඉස්කෝලේ යන්න හොරවුණා කියන්නේ ඔය කාලෙද?

(සිනාසෙමින්) ඔව් ඔව්. ඒ වෙනකොට එයා පොඩි පන්තිවල හිටියේ. ටිකක් ඉස්කෝලේ යන්න හොරයි. ඒත් මං කටේ බලේට ඉස්කෝලේ යැව්වා. ඒ යැව්වමත් මෙයා කරන්නේ ඇඳුම්වල ජරාව ගාගෙන ආපහු ගෙදර එන එක. ඒ වෙලාවට මමත් නිකන් හිටියේ නෑ ආයෙත් අලුත් ඇඳුමක් අන්දවලා ඉස්කෝලෙට ගිහින් දැම්මා. හැබැයි ටිකක් ලොකු වෙනකොටනම් ඒ කම්මැලිකම් නැතිවෙලා හරිම ආසවෙන් ඉස්කෝලේ ගියා.

 

*ඒ ආසාවට හේතුව ක්‍රිකට් වෙන්න බැරිද?

(සිනාසෙමින්) ඔව් එහෙමද දන්නෙත් නෑ. පුතා ඉස්කෝලේ ගියේ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයට. ඉස්කෝලේ අවුරුදු 13න් පහළ,15න් පහළ,17න් පහළ සහ 19න් පහළ කියන ක්‍රිකට් කණ්ඩායම් හැම එකකම එයා හිටියා. නායකත්වය පවා දැරුවා.

 

*එතකොට ඇන්ජි එකපාරටම ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ මොකද?

එයාගේ තාත්තා ටිරෝන් මැතිව්ස්. අයියා ප්‍රවීන් මැතිව්ස්. ඒ දෙන්නම ක්‍රිකට් ගැහුවා. ගෙදර තිබුණු ඒ ක්‍රිකට් පසුබිම එක්ක ඇන්ජිටත් ක්‍රිකට් ගහන්න ආස හිතිලා තමයි ඉස්කෝලේ ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ. ඇන්ජිගේ තාත්තටයි අයියටයි නම් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ඒත් ඒ දෙන්නටම බැරිවුණු දේ 2009 අවුරුද්දේ ඇන්ජි කරලා පෙන්නුවා.

 

*පොඩි පුතා කවදා හරි ඒ හපන්කම කරයි කියලා අම්මා හිතුවද?

අපි අවුරුදු කීපයක් ඩුබායිවල ගිහින් හිටියා. එතකොට ඇන්ජි පොඩියි. ඒ කාලේ එයා එහෙදි ක්‍රිකට් ගැහුවා. ඒ ගහනවා බලන් ඉඳලා සමහරු කිව්වා මෙයා කවදා හරි ලංකාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලයි නවතින්නේ කියලා. ඒකත් මගේ ඔළුවේ තිබුණා. පස්සේ මෙයා ඉස්කෝලේ ටීම් එකේ හොඳට ක්‍රීඩා කරද්දි නම් කවදා හරි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා දකින්න ලොකු ආසාවක් තිබුණා.

 

*ඇන්ජි ක්‍රීඩා කරපු තරඟ අතරින් අම්මට අමතකම නැති තරඟයක් තියෙනවද?

මට අමතක නැති තරඟයක් තමයි 2010 අවුරුද්දේ ඕස්ට්‍රේලියාව එක්ක තිබුණු එක්දින තරඟාවලියේ පළවැනි තරඟය. එදා ලංකාව පැරදෙන්න ඔන්න මෙන්න තිබුණේ. ඒත් අපේ පුතා ලසිත් මාලිංගත් එක්ක එකතුවෙලා ලෝක වාර්තාවකුත් එක්කම මැච් එක දිනෙව්වා. එදා නම් පුදුම සතුටක් දැනුණේ.

 

*පසුගිය අවුරුද්දේ තිබුණු ටෙස්ට් තරඟයකදි එයා ද්විත්ව ශතකය පෙනි පෙනී ලකුණු 199කට දැවී ගියා. ඒ තරඟයත් අම්මට අමතක නැතුව ඇති නේද?

ඒක කොහොම අමතක කරන්නද? ගිය අවුරුද්දේ බංග්ලාදේශය එක්ක තිබුණු ටෙස්ට් තරඟයක් අතරතුරේ ඒක වුණේ. මං හිතුවේම පුතා 200ක් ගහලා බැට් එක උස්සයි කියලා. ඉතින් මං හරි ආසාවෙන් බලන් හිටියා. ඒත් එයා අවුට් වුණා. එදා නම් මට පුදුම දුකක් දැනුණේ.

 

*කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වුණේ ඇන්ජි. ඒ කාලේ ගැන අම්මා මොකද හිතන්නේ?

මං හිතන්නේ ඒ කාලේ ඇන්ජි හොඳ නායකයෙක් කියලා නිතරම ඔප්පු කළා. කොහොමත් එයාට ඉස්කෝලේ කාලේ ඉඳන්ම නායකත්වය කියන එක දරලා පුරුදුයි.

 

*ඇන්ජිට කවුරුත් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇංජිම කියලා. ඒ නම හොඳයිද?

(සිනාසෙමින්) හොඳයි හොඳයි. ඒක නරක නමක් නෙවෙයිනේ. හැබැයි මං නම් කියන්නේ ඇන්ජලෝ කියලා.

 

*අම්මා වැඩිපුරම කැමති එයා බැට් කරනවා බලන්නද? බෝල් කරනවා බලන්නද?

මං ආසම එයා බැට් කරනවා බලන්න. එයිනුත් ගොඩක්ම ආස අංක හය බැට් කරනවා බලන්න. මොකද එයාට හොඳට මැච් ඉවර කරන්න පුළුවන්. මං ඒකට හරි ආසයි.

 

*ඇන්ජි චුයින්ගම් කන්න හරි ආසයි වගේ නේද?

(සිනාසෙමින්) ඒක නම් අනේ මන්දා. මමත් දකිනවා හැම මැච් එකේම චුයින්ගම් හපනවා. මං හිතන්නේ ඒ ඒ රටවල්වල දේශගුණයත් එක්ක එහෙම කනවා ඇති.

 

*එයා වැඩිය විලාසිතා නොකරන්නේ අම්මට බයේ කියන්නේ ඇත්තද?

ඒක නම් බොරු. එයා ලස්සනට අඳින්න පළදින්න කැමතියි. ඒත් වෙන ක්‍රීඩකයෝ වගේ එක එක විදියට කොණ්ඩ හදන්න, ටැටූ ගහන්න එහෙම නම් කැමති නෑ.

 

*ඇන්ජි විවාහකයි. ඉතින් ලේලි ගැන එහෙම මොකද හිතෙන්නේ?

එයා හේෂානි. හරිම හොඳ ගෑනු ළමයෙක්. ඇන්ජිට විතරක් නෙවෙයි අපිටත් හරිම ආදරෙයි. දෙන්නා යාළුවෙලා තියෙන්නේ ඉස්කෝලේ කාලෙදි. දැන් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොක්කා පුතෙක්. අනෙක් දෙන්නම දුවලා. එයාලා හරි සතුටින් ඉන්නවා.

 

*හැබැයි තරුණියන්ගේ ආකර්ෂණය නම් තාමත් එයාට ලැබෙනවා නේද?

(සිනාසෙමින්) ඒක ඇත්ත. ඇන්ජිට විතරක් නෙවෙයි ඕනම ක්‍රිකට ක්‍රීඩකයෙක්ට ඔය ආකර්ෂණය නම් ලැබෙනවනේ.

 

*ඇන්ජි ක්‍රිකට් නොගැහුවා නම් අද කොයි වගේ තැනක ඉඳියිද?

ඒක කියන්න අමාරුයි. මොකද දන්න කාලේ ඉඳන් පොඩි පුතාගේ ‍ඇඟේ තිබුණේ ක්‍රිකට්ම විතරයි.

 

*ක්‍රිකට් පිටියේ පුතා පෙන්නපු දක්ෂතා අම්මට කටපාඩම් කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) මං ඉතින් ඒ ගැන හොයලා බලනවා. පුතා ටෙස්ට් තරඟ 102කදි ලකුණු 7118ක් ගහලා තියෙනවා. කඩුලු 33යි. එක්දින තරඟ 218කදි ලකුණු 5835ක් ගහලා තියෙනවා. කඩුලු 120යි. විස්සයි විස්ස තරඟ 78කදි 1148ක් ගහලා තියෙනවා. කඩුලු 38යි.

 

*2023 එක්දින ලෝක කුසලානයට තව ටික දවසයි. ඇන්ජිටත් ලෝක කුසලාන කණ්ඩායමේ ඉඩක් ලැබෙයි කියලා අම්මා හිතනවද?

පුතාට තියෙන අත්දැකීම් එක්ක එයාට ඒ අවස්ථාව ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. මමත් ආසයි පුතා ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා බලන්න. මොකද පුතාගේ වයසත් එක්ක මේ තමයි එයාගේ ක්‍රිකට් ජීවිතේ ක්‍රීඩා කරන්න ලැබෙන අවසන් ලෝක කුසලානය. ඒ නිසා ඒ අවස්ථාව ලැබෙයි කියලා ඇන්ජි වගේම මමත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

 

රුවන් එස්.සෙනවිරත්න