Latest News

සතුන්ට හිංසා කරොත් වසර 3ක් හිරේ – දඩය ලක්ෂය පනියි

සතුනට හිංසා කළ හොත් රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩයක් සහ වසර තුනකට නොඅඩු සිරදඬුවමක් පැනවීම සඳහා වන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ, ගොවිපලවල, නිවෙස්වල, කැලෑබද හෝ අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බවයි.

මෙරට සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ගත් සත්ව හිංසා ආඥා පනත බවත් එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් බවත් කී අලුත්ගමගේ මහතා එම නිසා පනත සංශෝධනය කරන්නට පියවර ගත් බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, එම යෝජිත පනත ගැසට් කර පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා බවත් නව සත්ව සුබසාධන පනත අනුව කටයුතු කිරීමට පශු වෛද්‍ය නිලධාරියෙකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කරන බවයි.