විශේෂාංග

ගලක් වගේ අම්මගෙ හිත මෙලෙක් කරපු අහිංසා…

පුංචි කාලේ තිබූ ආර්ථික අපහසුතා නිසා සිත්සේ සතුන්ට සැලකීමට නොහැකි වුණත් දිලාන්ගේ හිත ඇතුළේ සංසාර පුරුද්දකට මෙන් සතුන් කෙරේ බැඳි ආදරයක් හැමදාම තිබුණේය.

ත්‍රිකුණාමලයේ කොඩ්බේ ධීවර ගම්මානේ ජීවත්වුණු දිලාන්ගේ පවුලේ දරුවන් හයදෙනෙකි. ඒ හයදෙනාගෙත්, අම්මා සහ තාත්තගෙත් කුස පිරු‍ණේ තාත්තා කළ වෙළඳාමෙනි. දරුවන් කුඩා සන්ධියේම අම්මා අසනීප වූ හෙයින් පවුලේ බර වෙනුවෙන් තාත්තට සහායක් වෙන්නටද ඇයට බැරිව ගියාය. දරුවන්ගේ කරදඬු උස මහත් වනතුරු ඒ අගහිඟ, දුක් කරදර අහස උසට දැනුණෙන් කිසිදා දිලාන්ගේ ගෙදර සුරතල් සතෙක් හැදුණේ නැත. ඊට හේතුව අගහිඟකම්ම නොවේ. දිලාන්ලාගේ අම්මා සත්තු විෂයේ දැක්වූ අකමැත්ත සහ අනාදරයයි. ඇය දරුවන් සයදෙනාට අපමණ ආදරේ වුවත් බල්ලෙක් පූසෙක් වෙනුවෙන් ඇගේ හිතේ තෙත් බවක් කිසිදා උපන්නේ නැත. ඒ ගතිගුණමදෝ පවුලේ එකම ගෑනු දරුවා වූ දිලාන්ගේ නැගනියටත් පිහිටා තිබුණි.

ඇත්තම කිව්වොත් තේරෙන වයසට එද්දි මටත් බලු පැටියෙක් හදන්න ඕන කියලා හිතුණ වාර අනන්තයි. ඒත් අම්මගෙන් ඒකට කිසිම සහයක් නොලැබුණ හින්දා හිතෙන් සත්තුන්ට ආදරේ කරපු කාලයක් තිබ්බා. ඊටත් පස්සෙ රස්සාවක් ලැබිලා ගමෙන් පිටවෙලා ආවට පස්සෙ හොඳ ටෙලිෆෝන් එකක් ගත්තම මමත් ෆේස්බුක් සාමාජිකයෙක් වුණා. ඒකේ තියෙනවා සත්තු වෙනුවෙන් ගෲප්, පිටු ඕනතරම්. හැමදාම ඒවායේ ඉන්න සත්තුන්ගේ විස්තර ෆොටෝ බැලුවා. ඒ අතරේ තමයි හිතුණෙ කවද හරි ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් හදනවා කියලා. හැබැයි ඉතින් ෆේස්බුක් එකේ දාලා තිබ්බ සත්තු පැටවුන්ගේ විස්තරත් කෝල් කරලා අහලා නිකම් ඉන්නවා, ඒ අයගෙ ගණන් ඇහුවම.

2021.07.07 වෙනිදා මගේ උපන්දිනය තිබුණා. හැබැයි ඒ උපන්දිනේට මං හිටියෙ ගෙදරවත් රැකියා ස්ථානයේවත් නොවේ. ඒ ආසන්න දවසක පොලොන්නරුවේ යාළුවෙක්ගෙ ගෙදර ගිය මං කොරෝනා ඇඳිරිනීතියට කොටුවුණා. ඒ නිසා වෙන අවුරුදුවල වගේ යාළුවෝ එක්ක විනෝද වෙන්න විදිහක් නැතිවුණා. සාමාන්‍යයෙන් මම රස්සාව කරන්න ගත්තට පස්සෙ උපන්දිනේට රුපියල් 20,000 ක් එකතු කරලා තියනවා. ඒ මුදල ඒ වතාවේ වියදම් කරන්න වුණේ නෑ ඔය සිද්ධිය හින්දා.

දිලාන් වෙනදා සේම උපන්දිනය දා ද මුහුණුපොතේ වූ සුරතල් සතුන්ගේ පිටුවක බලු පැටවුන්ගේ පින්තූර බලමින් සිටියේය. එක්වරම ඔහුගේ නෙත නැවතුණේ පොලොන්නරුව ප්‍රදේශයේ නිවසක විකුණන්නට පළ කරන ලද ජර්මන් ෂෙපර්ඩ් බලු පැටවුන් දෙන්නෙකු ගැන පළවූ දැන්වීමක් ළඟයි. හිතට ක්ෂණිකව ඇතිවූ සිතිවිල්ලක් මත ඔහු වහා එහි වූ ටෙලිෆෝන් නොම්මරයට කතා කළේ එහි වූ කලවම් වර්ණයේ බලු පැටියා හිතෙන් තුරුල් කර ගනිමිනි. දිලාන් ඇමතුම අවසන් කළේ පසුදා උදේ බලු පැටවා ගන්නට එන බවට ඔවුන්ට පොරොන්දු වෙමිනි. සොයා ගැනීමට වූයේ ඔහු අත ඇති මුදලට තවත් සුළු මුදලකි.

පහුවදා උදේ පොරොන්දු වුණාට යන්න බැරිවුණා. හවස යනකොට කිව්වා මං ආවෙ නැති හින්දා, ඒ පිරිමි පැටියා දුන්නා. දැන් ඉන්නෙ කළුම කළු ගෑනු පැටියා විතරයි කියලා. ඇත්තටම මං ගන්න හිතාගෙන ගිය පැටියා නැති වුණා නිසා හිත අවුල් වුණා. අනික කළු පාට බලු පැටියෙක් ගන්න මගෙ හිතේ කැමැත්තක් තිබ්බෙත් නෑ. මාත් එක්ක බයික් එකේ ගිය අයියගෙ බල කිරිල්ලට නිකමට ඉතුරුවෙලා හිටපු පැටියාව බැලුවාමම පැටියව අතට අරගෙන ආයිමත් බිමින් තියලා එන්න හැරුණා. අනේ මාව එක්කගෙන යන්න කියන්න වගේ වැටී වැටී කෙිරි ගගා පස්සෙන් ආවා. ඒත් මගෙ හිත ගන්න කැමති වුණේම නෑ. අපි මීටර් 500ක් වගේ දුරකට යනකොට මට ආයිමත් කෙලි පැටික්කි මම ළට දුවගෙන ආව හැටි මතක් වුණා. අපි ආපහු බයික් එක හරවගෙන ඒ ගෙදරට ගිහින් එයාව ගත්තා. එන ගමන් මම ඒ පැටියාගෙ මූණ දිහා හොින් බැලුවා. ඒ මූණේ ලස්සන හිනාවක් තිබුණා. ඒ හිනාවත් එක්ක මට හිතුණා කළු කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම පාට කියලා.

දිලාන් මිතුරාගේ ගෙදරට බලු පැටික්කි ගෙන ආවත් ඊළඟ උභතෝකෝටිකය වුණේ සතා ගෙදර ගෙන යෑමය. කොයි මොහොතක හෝ කොරෝනා ඇඳිරිනීතිය අවසන් වූ විට පැටියාත් සමඟ ගෙදර යන්නට සිදුවේ. ඊට පෙර ඔහු සත්තුන්ට ආදරේ බාල මල්ලිට කතාකොට බලු පැටවකු ගත් බව කීවේය. සොහොයුරා සතුටින් ඉපිලෙමින් තොරතුරු අසද්දී ඒ ඇසුණු අම්මාගේ විරෝධාත්මක වාග් ප්‍රහාර ඔහුට දුරකතන රැහැන් දිගේ ඇසුණේය. ඇය කීවේ ගේ පැත්ත පළාතට බලු පැටවා නොගෙනෙන ලෙසය. ඒ ඇසුණු කතාවට හිත සෙලවුණත් මල්ලි බලු පැටවා බලාගන්නට පොරොන්දු වූ නිසා තරමක් හිත සැනසුණේය.

මං හිටපු ගෙදරින් තමයි එයාට අහිංසා කියන නම ලැබුණේ. එහෙ සති දෙකක් ඉන්නකොට ඇඳිරිනීතිය ඉවරයි. මං අහිංසත් එක්ක ත්‍රිකුණාමලයට ගිහින් ගෙදරට ගොඩවුණා විතරයි, අම්මා යුද්ධ ප්‍රකාශ කරන්න ගත්තා. ගෙදර ඉන්න සේනාව මදිවට තව බල්ලෙක් ගෙනාවෙ ඇයි ඇහුවා. එයා අහිංසට සලකන්නෙ නෑ, ඕන කෙනෙක් සලකගන්න කිව්වා. ඇත්තටම අම්මා ඒ බෝලයක් වගේ හිටපු අහිංසා දිහා නිකමට ඇහැක් ඇරලා බැලුවෙ නෑ. අම්මා කිව්වා බල්ලා කියන්නෙ තිරිසනෙක් කියලා. පරණ කෝප්පයක් පිඟානක් අහිංසට කියලා වෙන් කළා. එයා ළඟට අහිංසා යද්දි අම්මා මගඇරලා යන්න යනවා. නංගිත් ඒ වගේ. බෝල ගෙඩියක් වගේ හිටපු අහිංසා දිහා හැරිලා බැලුවෙ නෑ. එදා දවස අම්මගෙන් බැනුම්ම තමයි. තාත්තා අහිංසව හුරතල් කරද්දි තාත්තටත් බණිනවා. ඔහොම සතියක් විතර ගියා. උදේට මල්ලි තමයි අහිංසගෙ කිරි එක දෙන්නේ. එයා ගෙනත් සතියක් විතර යනකොට මල්ලි මට කිව්වා අහිංසා ඒ කිරි වර්ගෙ උදේට බොන්නෙ නෑ කියලා. ඒ මොකද ලෙඩක්ද කියලා අපි කතාවෙද්දි අම්මා පුදුම කතාවක් කිව්වා. අපේ අම්මා සාමාන්‍යයෙන් උදේ 5ට නැගිටිනවා. එයා උදේ පහට අහිංසට කිරි එකක් දෙනවා කිව්වා, පව් පොඩි එකී බඩගින්නෙ උඹලා නැගිටිනකම් කියලා. එයා ඒක කිව්වෙත් අපි මෙයා කිරි නොබොනවට කලබල වුණ නිසා. නැත්තම් කියන එකක් නෑ ලැජ්ජාවට. හැබැයි අපිට ඒක මාර සතුටක් වුණා. අහිංසා කිරි එකට හරි අම්මගෙ ආදරේ දිනාගත්තට. අන්තිමට අම්මා තේරුම්ගත්තා බව්වෙක් කියන්නේ දරුවෙක්ම තමයි, අඩුපාඩුවකට තියෙන්නෙ කතා කරන්න බැරි එක විතරයි කියලා.

ඒ ආදරේ දිනාගැනිල්ල ඉන්පසු රහසේ වැඩි වැඩියෙන් සිද්ධවුණේය. දිලාන්ගේ අම්මා නොකියා හිටියට ඇය ඒ වනවිට අහිංසාට, ඇය කරන දඟ වැඩවලට ආදරේ කරමින් සිටියාය. එයට හොඳම අවස්ථාව වී තිබුණේ ඇඳිරිනීති අවසන් වීමත් සමඟ දිලාන් ඇතුළු රැකියා කළ අය නිවසින් පිටව යෑමත්, බාල මල්ලි පාසල් යෑමත් නිසාය. ඉන්පසු නිවසේ ඉතිරිවන්නේ අම්මා, තාත්තා හා අහිංසාය. මේ වනවිට හෘද රෝගී තත්ත්වයේ පසුවන දිලාන්ගේ පියාද වෙළඳාම් රැකියාවට සමු දී සිටියේය.

මං ඊළඟ සැරේ ගෙදර යනකොට මට ඉස්සර තිබ්බ සැලකිලි ඔක්කොම අම්මගෙන් ලැබෙන්නෙ අහිංසට. කාටත් කලින් බෙදලා දෙන බත් එක ඉවරවෙන්න නොකෑවොත් දුක් වෙනවා. ගෙදර මිනිස්සුන්ට කරවල හැදුවොත් කොහොම හරි මාළු ටිකක් අහිංසට අරන් හදලා දෙනවා. ඉතින් අහිංසා අම්මගෙ ළින් හෙලවෙන්නෙ නෑ. අම්මා කාමරේට ගියත් අම්මගෙ පස්සෙන්. ඒ නිසාම ඒ දෙන්නගෙ ආදරේ හැමෝටම හොර රහසේ ගොඩාක් ශක්තිමත් වෙලා තිබුණා. දැන් අම්මගෙ මුළු ජීවිතේම අහිංසා කිව්වොත් හරියටම හරි. අම්මා කියන එක දෙයක් තියෙනවා. අම්මගෙ කුසින් දරුවෝ හයක් වැදුවට ඒ දරුවෝ හයදෙනාම කසාද බැඳලා අම්මලව දාල යනවලු. අන්තිමට ඉතුරු වෙන්නෙ අරන් හදාගත් දරුවා විතරලු. ඒ අරන් හදාගත්තු දරුවා වෙන කවුරුත් නෙමෙයි, අම්මගේ පොඩි කෙල්ල අහිංසා.

බල්ලො ඇලර්ජික් වෙලා හිටපු අපේ නංගිත් දැන් අහිංසට ආදරෙයි. එයා වැඩ ඇරිලා එද්දි ගේන යෝගට් එක කන්න හැමදාම හවසට අහිංසා සැදී පැහැදී ඉන්නවා.

දිලාන් සිතුවේ අහිංසාට එක්වරක් හෝ මව් පදවිය ලබා දී වන්ද්‍යාකරණ සැත්කම කරන්නටය. ඒත් ඒ ලැබෙන පැටවුන් නඩත්තු කරන්නට බැරිකමක් ද විය. එවන් සතෙක් නඩත්තු කරන්නට බැරි පවුලකට නිකම් දුන්නොත් සතා දුක් විඳීවි කියා සිතූ ඔහු පළමු මුරයේ පැටවුන් ටික මුදලට දෙමු කියා මල්ලී හා කතා වුණේය. එය අසා සිටි අම්මා මාරාවේශ වූවාය.

අම්මා කිව්වා අපිට හැදෙන දරුවොත් විකුණපල්ලා කියලා. කවදාවත් අම්මෙක්ගෙන් දරුවො වෙන් කරන්න එපා කිව්වා. අහිංසට දරුවො හැදුණොත් එයා අමාරුවෙන් හරි බලාගන්නම්ලු. කවදාවත් සත්තු පැටව් විකුණන්න හිතන්නවත් එපා කිව්වා.

අම්මෙක් වුවත් දරදඬු ගති තිබූ දිලාන්ගේ අම්මා ඉස්සර එසේ සිතුවේ නැත. ඇගේ සිත මේ තරම් මෘදු කරන්නට පුළුවන් වූයේ අහිංසාටයි. ඒ ගැන දිලාන් සිටින්නේ සතුටිනි.

බියංකා නානායක්කාර