විශේෂාංග

මැරෙන තුරාවට මට බිසීගෙ ඇස් දෙක අමතක වෙන්නේ නෑ

කොහේ කෙතැනක ගියත් බලු යාළුවෙක් දැක්කොත් ඔලුව අතගාන පුරුද්ද හසිත මදුසංක උපතින්ම ගෙනා දෙයක්. මීට අවුරුදු කිහිපයකට පෙර දවසක ඉෂාන් මුණගැහෙන්න මීපේ ඔහුගේ ගෙදරට ගිය ගමනේදී ඒ ගෙදර දුව පනිමින් හිටපු පුංචි බලු පැටික්කිව දැක්ක ගමන් වඩාගෙන හුරතල් කළෙත් ඒ සංසාර පුරුද්දටමයි. ඒ පැටවුන්ගෙන් පිරිමි පැටව් සියල්ලම කට්ටිය අරගෙන ගියත් ගෑනු සතෙක් වුණ නිසා බලු පැටික්කි ඉතුරුවුණ බව මිතුරා කී විට හසිතගේ හිතට දැනුණේ දුකකි.

ඔයා ගෙනියනවද එයාව?

මිතුරාගේ නිවසින් එන්නට සැරසෙද්දී ඔහු හසිතගෙන් ඇසුවේය. කාත් කවුරුත් නැති අසරණ බල්ලන් හයදෙනෙක් ඒ වනවිටත් නිවසේ සිටි නිසා ඔහු මොහොතක් කල්පනා කළේය. හසිත ආයෙත් බලු පැටික්කිය දෙස බලද්දී දීප්තිමත් දෑසින් බලමින් ඈ, ඔහු ළඟ හුරතල් වුණාය.

එහෙනම් ඔන්න ඔහේ මට දෙන්න. දුකයි දාලා යන්න.

හසිත බලු පැටික්කි ඔහුගේ ගෙදර ගෙනාවේ එහෙමය. ඒ ආවාට පසු බලු පැටික්කි එකතැනක සිටියේම නැත. සෙල්ලම් වයසේ සිටි නිසාදෝ කොච්චරවත් දැඟලිල්ලය. ඒ නිසාම හසිත පැටික්කිට අමුතු නමක් දුන්නේය. ඒ ‘බිසී’ ය.

බිසී ගෙදර ගේනකොට තව බල්ලො ගෙදර හිටියා. අවුරුද්දෙ හැම කාලයකම අපේ ගෙදර බල්ලො හත් අටදෙනෙක් හැදුනට ඒ අයට ගෙදර අයත් එක්ක ලොකුවට බැඳීම් තිබ්බෙ නෑ. ඒත් බිසී ආවට පස්සෙ ඉක්මනටම හැමෝගෙම හිත් ආක්‍රමණය කළා. ගේ ඇතුළේ කොච්චරවත් සෙල්ලම් කළා. ගෙදර හිටපු අයවත් සෙල්ලමට එකතු කරගත්තා. විශේෂයෙන් බිසී මාත් එක්ක පුදුම එකතුවක් තිබ්බා. මං වැඩ ඇරිලා එනකල් බලාගෙන හිටියා. වගේ සතුටෙන් අවුරුදු දෙකක් එයා ජීවිතේ වින්දා. හිටිහැටියේම එයාගෙ හැසිරීමේ පොඩි වෙනසක් අපි දැක්කා. වෙනදා එළියට ගිහිල්ලා චූ දාලා ගෙට දුවගෙන එන බිසී ඒ කාලේ වෙනකොට මිදුලේ දාන චූ ටික එයාම ලෙවකන්න ගත්තා. දවසක් දෙකක් එයා ඒවා වතුර බොනවා වගේ බොනවත් දැක්කා. මුලින් මුලින් ජරා වැඩ කරන්න එපා කියලා තරවටු කරත් ඒක ටිකක් අමුතු වැඩක් හින්දා අපි බිසීව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් ගියා.

වෛද්‍යවරයා බිසීගේ රෝග ලක්ෂණ අසා පරීක්ෂණ කීපයක් කළේය. බිසීට දියවැඩියාව වැළඳී ඇති බව කීවේ ඉන්පසුවය. ඒ වෙලාවේ හසිතගේ හිතට දැනුණේ බයකි. මිනිසුන්ට වයසක් නැතුව දියවැඩියාව හැදෙන බව අසා තිබුණත් බල්ලෙකුට එහෙම පොඩි කාලේ දියවැඩියාව හැදෙන බව ඔහු මුලින්ම ඇසුවේ එදාය.

ඩොක්ටර් ඒක හොඳ කරගන්න පුළුවන් නේද ඩොක්ටර්…?

හිතේ ආවේගයට බිසීගේ හිස වේගයෙන් පිරිමදිමින් හසිත ඇසුවේ වෛද්‍යවරයාගෙන් හිත සැනසෙන උත්තරයක් බලාගෙනය. ඒත් ඔහුගෙන් ලැබුණේ හිත බලාපොරොත්තු වෙච්ච උත්තරය නොවේ.

අපි බෙහෙත් කරමු. අඩුතරමේ ලෙඩේ පාලනය කරගන්න හරි.

ඒ උත්තරයෙන් හසිතගේ හිත සැනසුණේ නැත. ඔහුට උවමනා වූයේ බිසීට ආයෙත් නිරෝගිකම ලබාදෙන්නයි.

එයාගෙ ලේවල සීනි හුඟක් වැඩිවෙලා විතරක් නෙවේ ඒ දියවැඩියා තත්ත්වෙ අතුරු ඵලයක් විදිහට ඇහැකට සුදත් ඇවිත් තිබ්බා. එතැනින් බේත් කරන්න පටන් අරන් හොඳයි කියපු ගොඩක් පශු වෛද්‍යවරු ළඟට මං බිසීව කරගහගෙන අරන් ගියා. ඒ හැමෝම බෙහෙත් දීලා කිව්වෙ ලෙඩේ පාලනය කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියලයි. ඒ පාලනයට හොඳම දේ විදිහට දුන්නෙ ඉන්සියුලින් විදින එක. ඉතින් දවසට තුන්පාරක් ඒ අහිංසකීට ඉන්සියුලින් විද්දා. විදින්න කලින් හැමදාම උදේට කන විදලා ලේ එකක් අරන් සීනි කොච්චර වැඩිද අඩුද කියලත් බලන්න ඕන. ලේවල සීනි පරීක්ෂා කරන විදියත්, ඉන්සියුලින් විදින විදියත් ඩොක්ටර් කියලා දුන්නා.

හසිතට එය කිසිදා නොවිඳි අත්දැකීමක් වුවත් තාත්තෙක් දරුවෙකු රකින්නා සේ හසිත බිසී වෙනුවෙන් කැපවුණේය. ඒ සියල්ල අතපසු නොකර ඔහු කළේ රැකියාවටද යනගමන්ය. ඒ වනවිට හසිත ඔහු සිටින ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිටියේය. ඔහු බිසීගේ සීනි තත්ත්වය පාලනය කරන්නට පුළුවන් උපරිමයෙන් කැපවුණේය. පාන්දර දෙකට තුනට ඔරලෝසුවට එලාම් තියා නැගිටින හසිත ඔහුගේ ඇඳ ළඟම නිදා ඉන්නා බිසීගේ කන සිදුරු කර හැමදාම ලේ ගනියි. ඒත් බිසී නින්දේය.

මං හිතන්නෙ නින්දෙ නෙවෙයි, එයා නිදි වගේ සද්ද නැතුව ඉන්නවා කියලා. මොකද එයා දන්නවා, මං ඒ එයාට කරන්නෙ හොඳක් කියලා. ඔය කාලය ඔහොම දවස, සතිය, මාස ගණන් ගෙවිලා අවුරුදු කීපෙකුත් ගෙවුණා. එහෙම ගෙවෙන කාලය අතරතුර බිසීගේ ඇස් දෙකම පේන්නෙ නැතුව ගියා. ඡායාවකට එහා දෙයක් එයාට පෙනුණෙ නෑ. ගෙදර අයිතිකාරයා වගේ ගේ පුරා දුවපු බිසී, තනියම එළියට යන්නත් බය වුණා. එයා එළියට ගියේ මාත් එක්ක. ගේ ඇතුළෙ කිසිම දේක හැපෙන්නෙ නැතුව ඉවෙන් තමයි ඇවිද්දෙ

වැඩි සීනි මට්ටම අඩු කරන්නට ඉන්සියුලින් විද්දද සමහර දිනවල ලේ පරීක්ෂා නොකර විදින ඉන්සියුලින් එක නිසා බිසීගේ සීනි මට්ටම බොහෝ අඩුවූ අවස්ථාද විය. එවන් අවස්ථාවල බිසීගේ දිවි රැකුණේ ප්‍රාතිහාර්යයකින් සේය.

එහෙම මැරෙන්නම ගිහින් ගොඩ ආපු ඒ වගේ වාර ගොඩක් තිබ්බා. ඒ වගේ වෙලාවට කළේ පුළුවන් තරම් ග්ලූකෝස් කවන එක. එයාට සිහිය එනකල්ම ග්ලූකෝස් කැව්වා. ඔය සීනි අඩුවුණ වෙලාවට සිහිය නැතුව ලොකු වේදනාවකින් ගේ පුරාම කෑ ගගහ දුවනවා. ඒ මොන අමාරුව තිබුණත් මුල් කාලෙ වගේම මං වැඩට ගිහින් එනකල් මග බලාගෙන ඉන්නවා. මං ආව ගමන් කාමරේට එනවා. ඊටපස්සෙ මූණ ඉඹිනකල් බලාගෙන ඉන්නවා. ඒ තරම් ආදරෙයි. රෑට නිදාගත්තෙත් මං ළඟමයි. මං බිසීව බලාගත්තේ ළමයෙක් බලාගන්නවා වගේ. ඒ හින්දා එයා එක්ක ලොකු බැඳීමක් තිබ්බේ. එයා නැතිවෙන දවසක් ගැන හීනෙන්වත් හිතන්න බයෙන් හිටියෙ.

බිසී ලෙඩ වූවාට පසු ප්‍රතිකාර කිරීම කිසිවිටෙකත් කරදරයක් කියා හසිත සිතුවේ නැත. ඔහු බිසීගේ සුවය වෙනුවෙන් පමණටත් වඩා කරදර වුණේය. බිසීගේ වයස අවුරුදු හතක් වෙද්දී රෝගී වී අවුරුදු පහක් ගෙවී තිබුණි. ඒ කාලය වෙද්දී රෝගයේ තවත් අතුරු ආබාධ මතුවෙන්නටත් ගත්තේය. ඒ සමේ රෝග, මූත්‍රා ආසාදන වැනි ඒවාය. ඒ රෝග තත්ත්ව අඩු කරගන්නටත් ඔහු බොහෝ වෙහෙසුණේය.

කොච්චර බෙහෙත් කළත් ඒවා ආයෙ ආයෙත් මතුවුණා. ඒ කාලෙ තමා දැනගන්න ලැබුණෙ එයාගේ වකුගඩු දෙකත් නරක් වෙලා කියලා. මං එයා ළඟම ඉන්න ඕන වුණා. ඒ හින්දා රස්සාවෙන් අයින් වුණා. මාස අටක් මං ගෙදරම ඉඳන් මගේ බිසීව බලාගත්තා. ඒත් අන්තිමට බිසී අපිව දාලා යන්න ගියා. ඒ දවස මතක් කරන්නවත් මං කැමති නෑ. ඒත් අදටත් එයා ඉස්සර වගේම හිනාවෙවී අපේ හිතේ ඉන්නවා. මං ජීවත්වෙලා ඉන්නකල් එයාගේ ඇස් මට අමතක කරන්න බැරිවෙයි. එයාව මතක් වෙද්දි මගේ ඇස්වලට තාම කඳුළු එනවා. සතෙකුට ඇත්තටම ආදරේ කරපු කෙනෙක් ඒ දුක, ඒ බැඳීම අඳුරනවා.

ඒ වචන, ඔහුගේ හඬ තාමත් දුකින් පෙඟෙන්නේ බිසීට වූ ආදරයටය. ඉන්පසුවත් හසිත බලු සුරතලුන්ට සැළකුවත් ඒ කිසිවෙක් ළඟ බිසීගේ ආදරණීය ඇස් හෝ සිනාව හසිතට හමුවුණේ නැත.

බියංකා නානායක්කාර