විශේෂාංග

කරි චිකන් වෙන්න තිබුණු කුකුල්ලු ටික ඔක්කොම මං ගෙදර ගෙනාවා

ගාල්ලේ, ගිංතොට තලපිටිය ගමරාලලාගේ සෝමලතාට දරුවන් තුන්දෙනෙකි. ඒ දරුවන් තිදෙනාම පුතුන් වූ අතර, ඔවුන් ගැන ඇයට ආඩම්බර වන්නට හේතු කාරණා කීපයක්ම තිබුණි. ඒ අතරින් එක් දෙයක් ගැන ඈ නිරන්තරවම සතුටු වූවාය. ඒ ඇගේ ළමා කාලයේ සේම පුතුන් ද කුඩා වියේ පටන් සතුන් කෙරෙහි කරුණාවන්ත වීමය. හුස්ම වැටෙන ඕනෑම සතෙකුට ආදරය කිරීමේ හැකියාවක් සෝමලතාට සේම ඇගේ වැඩිමල් පුතු මධුශාන් කෝකිලටත්, බාල දරුවන් වන නිමන්ත සත්සර හා ඔහුගේ අනෙක් සහෝදරයාටත් පිහිටා තිබුණි.
දරුවන්ගේ ඒ ගුණයන් ගැන සෝමලතා සතුටු වුවත් පියාට නම් ඒ ගැන වැඩි කැමැත්තක් නැත. ඒ සතුන් කෙරෙහි අනාදරයකින් නොව, ඒ සතුන් නිසා ඔවුන්ට කරදරයක් වෙතැයි යන බිය නිසාය. කෙසේ හෝ දරුවන් ලොකු වෙද්දී සෝමලතා වියපත් වූවත් ඇගේ හිතේ සතුන් කෙරෙහි වූ ඒ ආදරය එදාටත් වඩා පරිණත වුණේය.
සත්ත්ව සුබ සාධනයේ ක්‍රියාකාරීම තරුණයෙක් වූ ඇගේ ලොකු පුතු මධුශාන් අනතුරට ලක් වූ හා මහමග අසරණ වූ සතුන් බය නැතුව නිවසට ගෙනාවේ ඒ අම්මා නිසාය. එසේ ගෙන එන සතුන්ට ඔහු නිවසේ නැති අවස්ථාවන්හිදී සලකන්නේ සෝමලතා හා ඇගේ බාලම පුතු විසිනි. එසේ නිවසට ආ සතුන් අතර බල්ලන් හත්දෙනෙකු, පූසන් දොළොස් දෙනෙකු, ලේන්නු, වව්ල්ලු ඇතුළු ආබාධිත සතුන් රැසක් ද සිටිති.
මේ සියල්ල අතරේ ඇය ගෙදර කුකුල්ලු දෙතුන් දෙනෙක්ද හැදුවාය. ඒ ගම් කුකුල්ලු ඔවුන්ට ලැබුණේ එක් එක්කෙනා ගෙනැවිත් දීමනි. අසනීප වී හා තුවාල වී සුව කරගන්නට බැරිව භාරදුන් එම කුකුළන් ප්‍රතිකාර කර සුව කළත් දුන් අය ආයේ උන් ගෙන යන්නට ආවේ නැත. ඒ අතරතුරේ ෆාම් කුකුල් පැටව් හත් අටදෙනෙකුත් ඇය නිවසට ගත්තාය. ඒ කුකුලු පැටවුන් ගෙදරට ගන්නට හේතුව වූයේ නිමන්ත පුතුය. ලංකාවේ අඩු ආදායම්ලාභින්ට හදන්නට සමෘද්ධියෙන් කුකුලු පැටවුන් දෙන බව අසා නිමන්ත අම්මාට ඒ පැටවුන් ගන්නා ලෙස වද කළේය. ඒ නිසා ඇය කුකුලු පැටව් හත් අටදෙනෙක් ගෙදරට ගෙන තරමක් ලොකු කරගත්තාය. ඒ කුකුල් රංචුවෙන් බිත්තර ගත්තත් බිත්තර වැරූ හෝ රංචුවේ සිටි කුකුල් නාම්බන් ඈ මස් කඩයට විකුණන්නට කිසි දවසකත් හිතුවේ නැත. ඒ නිසා සමෘද්ධියෙන් ගත් කුකුල් රංචුවටත් ඇය ඔවුන්ගේ ඉඩමේ නිදහසේ ජීවත්වෙන්නට ඉඩදුන්නාය. ඒ අතරේ පහුගිය දවසක අසනීප තත්ත්වයකට බෙහෙත් ගන්නට සෝමලතාත්, බාල පුතුත් ගිංතොට කුරුඳුවත්ත ප්‍රදේශයේ බෙහෙත් ශාලාවකට ගියහ.
“ඒ යනකොට තමයි දැක්කෙ අපේ ගෙදර ඉන්නවා වගේම කුකුල්ලු වගයක් පස්දෙනා ගානෙ කකුල්වලින් ගැටගහලා මස් කඩේ ඉස්සරහ තියලා ඉන්නවා. මටයි පොඩි පුතාටයි ඒ දිහා බලන්න බැරි තරම් දුකයි. මස් කඩෙන් අහද්දි කිව්වෙ ඒ පැත්තෙ මුස්ලිම් මිනිස්සු මේ කාලේ කුකුලු කෑමවල මිල වැඩි නිසා එයාල ගාව හිටි මේ සත්තු මසට විකුණලා කියලා. අද ඔය කරි චිකන් කියන්නෙ මේ බිත්තර කිකිලියොන්ගෙ මස්. එයාලව බේර නොගත්තොත් ඒ ගොල්ලොත් කරි චිකන් වෙන හින්දා බේත් ගේන්න යනකල් හිතුවෙ කොහොමද ඒ කුකුල්ලු ටික බේරගන්නෙ කියලයි. මොකද ඒ වෙලාවේ මගෙ අතේ සල්ලි තිබ්බෙ නෑ. ඒක දැක්කට පස්සෙ ඔලුවෙ කැක්කුමකුත් ආවා.”
සෝමලතාත් නිමන්තත් බෙහෙත් ගන්නට ගියේ මස් කඩේ සිටි කුකුල්ලු ගැන දුක් වෙමිනි. ආපසු එන ගමනේ ඇය බැංකුවට ගොස් පොතේ තිබූ සුළු මුදල ලබාගත්තාය. දෙදෙනා ඉන්පසු ගියේ මස් කඩයටයි. ඒ වනවිට ඉතුරු වී සිටි කිකිළියන් පස් හයදෙනා මස් බරට මිලදී ගෙන ගෙදර ගෙන ආහ. එවිට නිවසේ සියලු කුකුලන් ගණන දහසයක් වූහ.
ගම්වල කුකුලන්ට ඇහිඳ කන්නට ඕනෑතරම් කෑම ඇත්තේය. ඒත් සෝමලතාලගේ ගෙදරත් තාප්ප ගේට්ටුවලින් වටවී තිබූ නිසා වපසරිය පොඩි විය. ඒ නිසා කුකුලන් බිමෙන් සොයා ගන්නා කෑමට අමතරව පුන්නක්කුත්, පොල් කුඩු, නිවුඩු හාල්, වල් කොළත් ගෙදරින් ලබා දුන්නේය.
“මෙතන ඔක්කොම බිත්තරවලට හදන කිකිලියො 16ක් ඉන්නවා. ඉතින් මෙයාලත් අපේ ගෙදර අනිත් සත්තු එක්ක බොහොම ආදරෙන් හැදෙනවා. එයාලා ඉතින් බෝල වගේ ලස්සනට ඉන්නවා, අඩුපාඩුවක් නැතුව කෑමබීම ලැබෙන හින්දා. මෙයාලා ඇත්තටම හරිම හීලෑයි මටයි, චූටි පුතාටයි. කොහොමත් මං එදා ඉඳන්ම පුරුද්දක් විදියට හාල් පොලලා ගන්නෙ. ඒ වෙලාවට කට්ටියම මගේ වටේ ඉඳන් හොඳහැටි හාල් කනවා. මේ ළඟදි ඒ බේරගත් කිකිලියෙක් කොහොම හරි ගේට්ටුවෙන් පිට ගිහින් කකුල දෙකට මැද්දෙන් කැඩෙන්නම ගහල තිබුණා කවුරුහරි. අපි එයාටත් ගාල්ල කෙයාවෙට් ආයතනයේ අයෝමි ඩොක්ටර්ට කියලා බෙහෙත් කළා. දැන් හොඳින් ඉන්නවා.”
ඒ අතරේ ඇගේ හිත බෙහෙවින්ම රිදවූයේ ලොකු පුතු සුවපත් කරන්නට ගෙදරට කොහෙන් හෝ ඇහිඳ ගෙනෙන සමහර පුංචිම සත්තු සුව නොලබා ජීවිතය හැර යනවා දකිද්දීය.
“මිනිස්සුන්ට තමයි වැඩි ආයුෂ කාලයක් තියෙන්නේ. මේ සමහර සත්තුන්ට තියෙන්නේ හරිම පුංචි ආයු කාලයක්. අනික මිනිස්සු වගේම හැම ජීවියෙක්ම කැමති එක මොහොතක් හරි ජීවත්වෙන්න. එයාලටත් දුක, වේදනාව, බඩගින්න, තිබහව, සීතල දැනෙනවා. අනික එයාලත් කැමතියි ආදරේ ලබන්න. ආරක්ෂාකාරීව නිදන්න. විශේෂයෙන් සමහර සත්තු මිනිස්සු ඇසුරේ ජීවත්වෙන්න පුදුම ආසයි. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. කැලේට උරුම සතෙක් වෙලත් ජීවිතේ බේරගත්තට පස්සෙ අපිව දාලා යන්න කැමති නෑ. ඒක ගොඩක්දෙනෙක් තේරුම් ගන්නෙ නෑ. අනික මේ මහපොළොව අපිට විතරක් අයිති තැනක් නෙවේ. සියලු සත්තුන්ට අයිතියි. මිනිස්සු මහපොළොව බෙදාගෙන තාප්ප, වැටවල් ගහලා සත්තුන්ගෙ අයිතියත් උදුරගෙන. මං නම් කියන්නෙ මේ පොළොවෙ ඕන තැනක මේ සත්තු හිටපුවාවේ. අපි උස්සගෙන ඉන්නෙ නෑනෙ.”
සෝමලතා සත්තු ගැන හිතන්නේ එහෙමය.
“අනික මේ ගෙවෙන්නේ මිනිස්සුන්ටත් ජීවත්වෙන්න අසීරු කාලයක් තමයි. ඒත් විශේෂයෙන් මේ කාලේ පාරෙ බඩගින්නෙ ඉන්න සතෙක් දැක්කොත් ඒ සතාගෙ බඩගින්නට පුංචිම දෙයක් හරි දෙන්න. ගෙදර ඉතුරුවෙන ඉඳුල් ටික බෑග් එකට දාලා කුණු ටැක්ටරේට දෙන්නෙ නැතුව භාජනේකට දාලා ගේට්ටුවට යටින් තියන්න. කවුරුම හරි සතෙක් කුස පුරවාගනීවී.”
සෝමලතාගේ කතාව ඇත්තය. මේ කාලයේ ඉස්සර තරම් කෑම කඩද ඇරෙන්නේ නැත. එදා කෑම කඩයක් ළඟ රැක සිට කුස පුරවාගත් අසරණයන් බොහෝදෙනෙක් අද සිටින්නේ කුසගින්නේය. අනෙක හැම සතෙකුටම රැකවරණයට සෝමලතාවන් මාතාවන් ලැබෙන්නේත් නැත.
 
බියංකා නානායක්කාර