ප්‍රීතිමත් ජීවිතයකට

දෙවියො දුන්නු ගෑනු එක්ක ඉන්න ස්ටීරියෝ ටයිප් පිරිමින්ට පින නෑ

මේ කියන කාන්තාව මගේ ළඟම හිතවතියක්. ඇය ඇගේ පවුලේ එකම දරුවා. පුංචි කාලේ ඉඳලා සැපපහසුවට හැදුනු කාන්තාවක්. ඉගෙනගෙන ඉවරවෙලා විවාහ වුණා. දරුවො දෙන්නෙක් හැදුවා. කාලෙකට පස්සේ හදිසි අනතුරකින් ඇගේ සැමියා ඔත්පල වුණා. අනතුර වෙද්දි ඇගේ දරුවන් බොහොම පුංචියි.

සැමියා ඔත්පල වුණායින් පස්සේ මේ පවුල කඩාවැටෙයි කියලා ඇගේ දෙමව්පියන් සංතාප වුණා මට මතකයි. හැබැයි එහෙම නෙමෙයි වුණේ. මගේ හිතවතිය පවුලේ බර තනියම කරට ගත්තා. පිටතින්, බැලූ බැල්මට සුකුමාල වුණත් පිරිමි කරන බර වැඩ පවා කරලා පවුල වෙනුවෙන් සල්ලි හම්බ කළා. සැමියගේ වැඩවලටවත් කාගෙන්වත් උදව් ගත්තේ නැහැ. වෛද්‍යවරු ඇඳෙන් නැගිටින්න බැරිවෙයි කියාපු සැමියට ඇගේ කැපවීම නිසාම ආයෙත් ඇවිදින්න පුළුවන් වුණා.

සමහර ගෑනු ඉන්නවා පිටතට පේන්නෙ හරි සුකුමාල ලාලිත්‍යයක් තියෙන නාරි දේහයක්. කතාබහෙනුත් එහෙමයි. හැබැයි මතුපිටින් ගැහැනියක් වුණාට ආකල්පමය වශයෙන් සහ චින්තන පද්ධතියෙන් මේ අය ගොඩක් දුරට පිරිමින්ට සමානයි. මේ කියන්නේ බාහිර පෙනුමෙන් වගේම ඇතුළාන්තයෙනුත් පිරිමින්ට සමාන ගෑහැනු ගැන නෙමෙයි. බාහිරින්, කතාබහෙන් ගෑනු වුණාට පිරිමියෙක් වගේ ඇතුළ හයිය ගෑනු ගැන. කලින් මම කියපු කාන්තාවත් අන්න එහෙම අයෙක්.

මේක සාමාන්‍ය කාන්තා පෞරුෂයෙන් ඔබ්බට මම දැකපු විශේෂ පෞරුෂයක්. මෙහෙම කන්තාවන්ව මම නම් හඳුන්වන්නේ දෙවියන් දායාද කළ ගැහැනුන් විදියට. මේ ලිපියෙන් මම කතා කරන්නේ අන්න එහෙම ගෑනු ගැන.

කොහොමද මේ අයව අඳුනගන්නේ?

බැලූබැල්මට ඇය සාමාන්‍ය ගැහැනියක්. හැබැයි වැඩක් කරන්න ගියාපුවාහම සාමාන්‍ය ගැහැනියට වඩා වේගවත්. ගෑනු වැඩ පිරිමි වැඩ කියලා අපේ සමාජය වැඩ බෙදාගෙන ඉන්නවනේ. මේ කියන ඇයට ගැහැනු වැඩ, පිරිමි වැඩ බේදයක් නැහැ. ඒ හැම වැඩක්ම ඔවුන්ට තවත් එක මනුෂ්‍ය වැඩක් විතරයි.

මෙහෙම අය කා මතවත් යැපෙන්නේ නැහැ. බර මුට්ටයක් උස්සන්න, ගසක උසම අත්තේ තියෙන අඹ ගෙඩිය කඩාගන්න, නැත්නම් වාහනේ රෝද මාරු කරන්න මේ අයට පිරිමි හයිය ඕන වෙන්නේ නැහැ. කොහොමහරි මේක තනියම කරනවා කියන හයිය මේ අයගේ හිතේ තියෙනවා. ඇඟේ හයිය නැතත් හිතේ හයිය නිසාම ඒ වැඩේ කරන්න එතකොට ඔවුන්ට පුළුවන්.

ඕනම කට්ටක් කාලා අනිත් හැමෝවමත් ගොඩදාගෙන තමනුත් ගොඩයන්න බලන නිසා සමාජයේ හැමතැනකදීම මේ අයව කැපිලා පේනවා. දේශපාලනයෙන්, කලාවෙන්, වෘත්තිමය පැත්තෙන් ඔය ඕන පැත්තකින් හිනිපෙත්තටම යන්න මෙහෙම ගෑනුන්ට පුළුවන්. අපේ රටේ සාර්ථක වෙච්චි ප්‍රසිද්ධ කාන්තාවන් බහුතරයකට මේ කියන පෞරුෂය තියෙනවා.

මෙච්චර වෙලා කතා කළේ මේ වගේ පෞරුෂයක සුබවාදී පැත්ත. හැබැයි මෙහෙම අයට මුහුණ දෙන්න වෙන නරක පැත්තකුත් තියෙනවා.

බහුතරයක් පිරිමි මුලදි ආකර්ෂණය වෙන්නේ කාන්තාවකගේ මතුපිට ස්වරූපයට. බුද්ධිමත් හැසිරීමට (Smartness). ​මේ කියන කුලකයේ කාන්තාවන් තුළ ඒ ලක්ෂණ උපරිමයි. හැබැයි ආශ්‍රය කරද්දි මේ පෞරුෂයේ ඍජුබව දරාගන්න පිරිමින්ට අමාරු වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. පවුලක් ඇතුළේ ගැහැනියට වඩා පිරිමියා කැපී පෙනෙන්න ඕනය කියලා සාම්ප්‍රදායික නැත්නම් ස්ටීරියෝ ටයිප් පිරිමියා හිතනවා. හැබැයි අර පෞරුෂ ලක්ෂණ එක්ක කැපිලා පේන්නේ කාන්තාව. අනිත් අය එක්ක ගනුදෙනු කරද්දි ඇය ඉදිරියෙන් ඉන්නවා. පුංචි කාලෙදි මොන දේ ඇහුවත් අම්මගෙන් අහලා කියන්නම් කියනවා වගේ කොයිදේත් හස්බන්ඩ්ගෙන් අහලා කියන්නම් කියන කාන්තාවන් ඉන්නවනේ. හැබැයි සැමියාගෙන් අහලා තීරණ ගන්න ඕන කියලා අර ‍පෞරුෂය සහිත කාන්තාවන් කිසිම වෙලාවක හිතන්නෙ නැහැ. උදාහරණයක් විදියට පිරිමි විතරක් වැඩ කරන තැනක ඇයට හොඳ රැකියාවක් ලැබෙනවා. දෙපාරක් නොහිතා සැමියාගෙනුත් නාහා ඇය ඒ අවස්ථාව බාරගන්නවා. ඒක ඇගේ පණ්ඩිතකම නෙමෙයි. ඈට තියෙන උනන්දුව, උවමනාව, ධාරිතාවය මත ඇයට ඒ වගේ තීරණයක් තනියම ගන්න පුළුවන්. ඔන්න එතකොට තමයි ගැටුම පටන්ගන්නේ.

අර කලින් කිව්වා වගේ ගොඩක් පිරිමි හොයන්නේ අවනත ගෑනු. ඉතින් ගැහැනිය පිරිමියා අභිබවා යද්දි ඒක පිරිමින්ට රුස්සන්නේ නැහැ. ඒ විතරක්ද ඒක අවට සමාජෙට රුස්සන්නෙත් නැහැ. පස්සෙ මේ කාන්තාව එක්ක ජීවත්වෙන්න පිරිමි අදිමදි කරනවා. පිරිමියා විතරක් නෙමෙයි අවට සමාජයත් ඇයට ගල් ගහනවා. පණ්ඩිත ගෑනු, හිතුවක්කාර ගෑනු, රැඩිකල් වෙන්න දඟලන ගෑනු කියලා ලේබල් ගහනවා. පියාඹන එක ලෙඩක් කියලා කූඩුවේ ඉන්න කුරුල්ලෝ හිතනවා කියනවා වගේ පිරිමින්ට විතරක් නෙමෙයි බහුතරයක් ගෑනුන්ටත් මේ පෞරුෂය සහිත කාන්තාවන්ගේ කල්ක්‍රියාව දිරවන්නේ නැහැ.

හැබැයි ඒ වෙනස දරාගන්න බොහොම ආදරණීය පිරිමිත් ඉන්නවා. අර වගේ ගැහැනියක් දිහා ආදරණීයව, විවෘතව බොහොම ඉවසීමෙන් බලන්න ඒ අයට පුළුවන්. තමන්ගේ ගැහැනියගේ දියුණුව සාර්ථකත්වය දැකලා පහතට හෙළන්න බලන උදවිය අතරේ මේ අය තමන්ගේ සහකාරියට අත්පොඩි තලනවා. තමන්ගේ සහකාරිය තමාව ඉක්මවලා යන දිහා බලලා සතුටුවෙන පිරිමියෙක් දැක්කහම ආයෙත් අර සාම්ප්‍රදායික සනුහරේ අර මනුස්සයගෙ පිරිමිකම ගැන ප්‍රශ්න කරනවා. හැබැයි මම දකින විදියට නියම පිරිමිකම ඒක. අවාසනාවට එහෙම පිරිමි පරාණ අතීශයින් දුර්ලභයි. හැබැයි වාසනාවකටවත් අර පෞරුෂය සහිත කාන්තාවකට මෙහෙම ආදරණීය මිනිහෙක් මුණගැහුනොතින් ඒ දෙන්නට සාර්ථකත්වයේ අසීමාන්තික දුරක් යන්න පුළුවන්.

මේ ජාතියේ කාන්තාවන්ට තව ප්‍රශ්නයක් එනවා. මේ අය බැඳීම්වලට හරි කෑදරයි. අසීමිතව ආදරය කරනවා. බොක්කෙන්ම ලව් කරනවා කියලා කතාවට කියන්නේ. ආදරය කරන කෙනා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මේ අය ලැහැස්තියි. ඒ වගේම ඔහුට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ගැන හරියටවත් හිතනවා. හැබැයි පෞරුෂයේ ඍජුබව නිසා මේ අය එක්ක ඉන්න පිරිමි අදිමදි කරනවා කිව්වනේ. ඒ වගේ තැනකදී සම්බන්ධය නැවතුණොත් මේ අය ඇතුළාන්තයෙන්ම කඩාගෙන වැටෙනවා. රෑ දවල් අසීමිතව කඳුළු හලනවා. විරහා වේදනාව නිසා උපදේශනයට එන කාන්තාවන් අතරෙත් මෙහෙම අය මුණගැහෙනවා. හැබැයි එහෙමයි කියලා මේ කාන්තාව එතැනින් නතර වෙන්නෙ නැහැ. කාලයත් එක්ක ශක්තිමත් වෙනවා. වැටෙන්න වැටෙන්න මුවහත් වෙනවා. අඩියක් පස්සට යන්නේ අඩි දෙකක් ඉස්සරහට එන්න කියන්නා වාගේ වැටුණු තැනින් ඇය අඩි කිහිපයක්ම ඉදිරියට යනවා. නියම නැවියෝ බිහිවෙන්නේ කුණාටු මුහුදෙදිනේ. අන්න ඒ වගේ අහිමිවීම්, ප්‍රශ්න එන තරමට ඇය ශක්තිමත් වෙනවා.

මේ අය ඉතාම සුන්දරයි, ආකර්ෂණීයයි. මේ ලිපිය කියවලා ඔබත් ඒ විදියේ ගැහැනියක්ද කියලා ඔබම තීරණය කරන්න. එහෙම කෙනෙක් නම් දෙන්න උපදෙසක් තියෙනවා. මේ අය ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන අය. ඉතින් ආදරේ නාමයෙන් කෙනෙක්ට පහසුවෙන්ම යම් යම් දේට ඔබව පාවිච්චි කරන්න ලේසියි. සමහරු මේ වගේ අයට වගකීම් කර ඇරලා අත පිහිදාගන්නවා. ඉතින් ඔබට ඇත්තටම ආදරේ කරන්නේ, ළඟින් ඉන්නේ කවුද කියන එක තේරුම්ගන්න. මිනිස්සු ගැන අවබෝධයෙන් ඉන්න.

ගෑනු ඇඟක් එක්ක හයිය හිතක් තියෙන මෙහෙම කාන්තාවක් හමුවුණොතින් ඇය එක්ක ආදරෙන් අවබෝධයෙන් ඉන්න. ඔබ ආදරේ කරන්නේ එහෙම ගැහැනියකට නම් ඇගේ ආදරය රැකගන්න. දවසක ඇය ඔබව අහසේ වුණත් ඔසවා තියාවි.

ඒ වගේම අනිත් ගැහැනුන්ටත් කියන්න දෙයක් තියෙනවා. කාගෙවත් හෙවනකට ඕනවට වඩා මුවාවෙන්න එපා. එතකොට හෙවන නැතිවුණ දාක තට්ට තනියම අව්ව දරාගන්න අමාරුයි. ගැහැනුකම කියන්නේ පිරිමියෙක් මත යැපිලා ගෙදර වැඩවලටම දියාරු වෙලා ළමයි හදලා මැරිලා යන එකට නෙමේ. කාන්තාවක් විදියට ඔබටම ආවේණික ජීවිතයක් හොයාගන්න බලන්න. පුළුවන්නම් අපි කතා කරපු තාලේ ගැහැනියක් වෙන්න උත්සාහ කරලා බලන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි