වයසක අම්මලා පාරේ ඉඳන් කෑගහලා කියනවා ‘උඹ බුදුවෙයන් දුවේ’ කියලා
කෙනෙක් කන්න ටිකක් ඉල්ලනකොට අහක බැලුවත් බොන්න වතුර ටිකක් ඉල්ලද්දී අහක බලන්න එපා කියනවනේ. ඒ නිකමට නෙවෙයි. කුසගින්න ඉවසුවත් පිපාසය ඉවසගන්න අමාරු නිසා. ඒත් අදටත් ඒ වතුර බිංදුව ඉදිරියේ පින්සෙණ්ඩු වෙන අහිංසක මිනිස්සු කීදෙනෙක් නම් අපි අතරේ ඉන්නවද? වතුර ටික වෙනුවෙන් කිලෝමීටර ගණන් කකුල් ගෙවෙනකන් ඇවිදින මිනිස්සු කොයිතරම් නම් අපිට හමුවෙලා තියෙනවද? මේ කියන්න යන්නෙත් මුළු ජීවිතෙන් හරි අඩක්ම වතුර ටිකකට දුක් විඳපු අන්න එහෙම මිනිසුන්ගේ කතාවක්.
හේනක් කුඹුරක් කොටාගෙන, කුලියක් මලියක් කරගෙන ජීවත් වුණු ඇඹිලිපිටිය ඇඹිල්ල ගමේ උදවියට තිබුණ ලොකුම ප්‍රශ්නේ එදිනෙදා වැඩ කරගන්න වගේම බොන්නවත් වතුර ටිකක් නැතිකම. මුළු ගමේම පවුල් හැට හැත්තෑවක් පාවිච්චියට වතුර ගත්තේ හැතැක්ම ගාණක් දුරින් තිබුණ ළිඳකින්. ඒකත් මනුස්සයෙකුට තියා සතෙකුටවත් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තිබුණෙ නෑ. මුළු ගමේම කුඹුරුවලින්, ගමේ ඉස්කෝලෙන්, ගෙවල්වලින් විතරක් නෙවෙයි ආපනශාලාවලිනුත් පිටකරපු රසායනික ද්‍රව්‍ය, මළමුත්‍රා සේරම ටික එකතු වුණේ මේ ළිඳට. ඒ විතරක් නෙවෙයි වැස්ස දවසට උල්දිය ටිකත් එකතු වුණහම මුළු ළිඳම එහෙම පිටින් මඩ වගුරක්. ගමේ උදවිය නොයෙක් අවස්ථාවල වගකිව යුතු පිරිස්වලින් මේකට විසඳුමක් ඉල්ලුවත්, ඒ හැමෝගෙන්ම වගේ ලැබුණේ කඩවුණු පොරොන්දු විතරයි. ඒ නිසාම ලබා උපන් හැටි කියලා හිත හදාගෙන, නහය වහගෙන, ඇස් පියාගෙන මේ ළිඳේ වතුර ටික බොනවා මිසක් කාටවත් ඒ වෙනුවෙන් කර කියාගන්න දෙයක් තිබුණෙ නෑ. ඒත් අන්තිමේට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා දිලා මුළු ගමටම වතුර දුන්නේ ගමේ හිටපු ඇඟලුම් සේවිකාවක් වුණ අනෝමා. මේ ලියැවෙන්නේ ඒ කතාව.
‘‘මම පුංචි කාලේ ඉඳලම අපේ ගමට තිබුණ ලොකුම ප්‍රශ්නෙ බොන්න වතුර ටිකක් නැතිකම. අද මම දරුවො තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක්. ඒත් ඒ ප්‍රශ්නෙ ඒ විදියමයි. මේ ගමේ අහිංසක මිනිස්සු හැමදාමත කළගෙඩි, බාල්දි, කරේ තියාගෙන කිලෝමීටර ගණන් කකුල් ගෙවෙනකල් වතුර හොයන්න ඇවිද්දෙ හරියට කළුනික හොයන්න වගේ. ඒ වගේම මේ ප්‍රශ්නෙට විසඳුමක් ඉල්ලගෙන නොගිය තැනක් නෑ. ඒත් විසඳුමක් දෙනවා වෙනුවට වතුර මුදලාලිලා ඇවිත් අපිට සල්ලිවලට වතුර වික්කා. අන්තිමට එදාවේල පිරිමහගන්න සොච්චමක් හොයාගත්තු අපි ඒක දීලා පොළාවෙන් උනන වතුර ටිකත් සල්ලිවලට ගත්තා.’’
අනතුරුව මුළු ගමටම වතුර ලබාගැනීමට හැකිවන පරිදි පොදු ළිඳක් කපන්නට ගම්මු තීරණය කළා.
‘‘අන්තිමට මුළු ගමම එකතු වෙලා ළිඳක් කපාගත්තා. ඒත් අපේ අවාසනාව කොච්චරද කියනවා නම් ඒ ළිඳේ වතුර ටික පාවිච්චි කරන්නත් අපිට පින නැතුව ගියා. කුඹුරුවල රසායනික සේරම වතුරත් එක්ක එකතු වුණා. ගමේ ඉස්කෝලේ මළමුත්‍රා විතරක් නෙවෙයි, කුණු කාණුවලින් ගහගෙන එන අපද්‍රව්‍යත් සේරම එකතු වුණේ ළිඳට. අන්තිමට ගමේ මිනිස්සුන්ට බලාගෙන ඉන්නකොට වකුගඩු රෝග හැදෙන්න පටන්ගත්තා. සමහරුන්ට වතුරෙන් විෂබීජ හැදිලා හොයාගන්න බැරි ලෙඩ හැදිලා මැරෙන්න වුණා. ඊටපස්සෙ පී.එච්අයි. මහත්තරු ගෙවල්වලට ඇවිල්ලා ළිඳේ වතුර පාවිච්චි කරන්න එපා කියලා කිව්වා.’’
කාට කොහොම කියන්න ලේසි වුණත්, අනෝමලාගේ ගමේ අයට නම් ඒ ළිඳෙන් වතුර බොනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණෙ නෑ.
‘‘ඇත්තම කිව්වොත් අන්තිමට අපිට වතුර ටික වහ වුණා කිව්වොත් හරි. මොකද නොදැන වහ කැවෙන මිනිස්සු හිටියත් දැනගෙන වහ කන මිනිස්සු හරි අඩුයිනේ. නමුත් අපි වහ කියලා දැන දැන ඒ වතුර ටික බීලා දරුවන්ටත් අපේ අත්වලින් ඒ වතුර ටික පෙව්වා. වතුරට අසූචි එකතුවෙලා කියලා දැනගෙනම අපි ඒ වතුර බිව්වා. අන්තිමේදී මගේ අම්මටයි, තාත්තටයිත් වකුගඩු රෝගය හැදුනා. තාත්තා මැරිල ගියා. අම්මා තාමත් විඳවනවා.’’
අනෝමා රැකියාව කළේ ඇඹිල්ල බ්‍රැන්ඩ්ක්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ. ආයතනය මගින් අඩුආදායම්ලාභීන් දහදෙනෙකුට වතුර ලබලා දෙන ව්‍යාපෘතියක් අරඹන ආරංචිය අනෝමට දැනගන්න ලැබුණේ ඔය අතරේ. තමන්ගේ වාසනාව උරගා බලන්න හිතුව නිසා ඒ වෙලාවේ අයැදුම්පත්‍රයක් පුරවලා දුන්නත් ඒ වතුර ටික ලබන්න තරම් තමන් වාසනාවන්ත වෙයි කියලා අනෝමට හීනෙකින්වත් හිතුණෙ නෑ.
‘‘පස්සේ ඒ ජල ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරී මහත්තුරු මට කිව්වා මගේ ගෙදරටත් නළ ළිඳක් ලැබෙනවා කියලා. තාක්ෂණයත් එක්ක ලෝකේ මේ තරම් ඉස්සරහට යන කාලෙක නළ ළිඳක් කෙනෙකුට ඒ තරම් ලොකු නොවෙන්න පුළුවන්. ඒත් බොන්න වතුර පොදක් නැතුව විඳවපු අපිට ඒක මහමෙරකටත් වඩා වටිනවා.’’
අනෝමාගේ නිවෙසට නළ ළිඳක් සවි කරන දිනය උදාවිය. තමන්ට වතුර ටික ලැබෙන එක ගැන හිතේ කොණක සතුටක් තිබුණත්, ඒ දිහා බලමින් තවමත් අපිරිසිදු වතුර රැගෙන ඒමට ළිඳට යන ගමේ උදවිය ගැන ඇයට තිබුණේ කියාගන්න බැරි දුකක්. පසුව තමන්ගේ ගෙදර මිදුලට ඇස්තමේන්තු වුණ නළ ළිඳ හැකි නම් නිවස ඉදිරියේ පාරට සවිකර දෙන ලෙසයි ඇය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.
‘‘ගමේ අසරණ අනිත් මිනිස්සු වස මිශ්රවුණු වතුර ටික බීලා මැරෙද්දි මට විතරක් තනියම නළ ළිඳක් කපාගන්න හිත දුන්නේ නෑ. පස්සේ මම ඒ ආපු මහත්තරුන්ට කිව්වා නළ ළිඳ පාරෙන් හයි කරන්න අපහසු නම් මටත් ඒ නළ ළිඳ එපා කියලා. ඊටපස්සේ ඒ අය වතුර මෝටරේ මගේ වත්තෙ හයි කරලා නළ ළිඳ මුළු ගමටම පාවිච්චි කරන්න පුළුවන් විදියට පාරෙන් හයි කරා.’’
අද වෙනකොට ඇඹිල්ල ගමේ පවුල් පහනක හැටක උදවිය තමන්ගේ එදිනෙදා රාජකාරි සියල්ලකටම වතුර ගෙනියන්නේ අනෝමට පින් සිද්ධ වෙන්න ලැබුණු මේ නළ ළිඳෙන්. ඒ වෙනුවෙන් වැයවෙන විදුලි බිල පවා ඇය තනිවම ගෙවන්නේ තමන්ට මාසිකව ලැබෙන පුංචි වැටුපෙන්. ඒ ගමේ අහිංසක මිනිස්සුන්ට ඒ බරවත් දරන්න අපහසුයි කියලා ඇය හොඳාකාරවම දන්න නිසා.
‘‘දැන් මුළු ගමේම මිනිස්සු ගේ ඉස්සරහට ඇවිල්ලා ළිඳෙන් වතුර අරන් යනවා දකිනකොට මගේ හිත පුදුමාකාර සතුටක් දැනෙනවා. ඉගෙනගන්න යන පොඩි දරුවො පවා නළ ළිඳට කට තියලා අත් දෙක පුරවලා වතුර බොනකොට මගේ ඇස් දෙකට කඳුළු උනනවා.’’
ඒ ගැන කියද්දිත් ඇගේ ඇස් කොණක රැඳුණු කඳුළු වගේම මූණේ ඇඳුණු හිනාවකුත් නොනැසී තිබුණා.
‘‘ගොඩක් අම්මලා වතුර පුරවගෙන යනකොට ‘අනෝමා මේ පිනෙන් උඹ මතු බුදුවෙයන් මගේ දුවේ’ කියලා කෑ ගහලා කියලා යනවා. මොකද ඒ අය මහා ලොකු බලාපොරොත්තු කරපින්නගෙන ජීවත් වුණ අය නෙවෙයි. දහඩිය මහන්සියෙන් කීයක් හරි හම්බකරලා දරුවන්ට අනාගතයක් හදලා, තියෙන විදියට බත් කටක් කන මිනිස්සු. ඉතින් අද මම නිසා මුළු ගමකටම පිරිසිදු වතුර ටිකක් ලැබෙනවා. මට වෙන මොකුත් ඕනෙ නෑ. ඒක දකින වාරයන් පාසාම මගේ හිත පිරෙනවා.’’
ලිහිණි මධුෂිකා