ඉස්සර නොනිවී දැල්වුණු ඒ දැල්ල දැන් වරින් වර නිවෙන එක ගැන අපිටත් දුකයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරලා තියෙන්නේ 1961දි. ඊටපස්සේ 1969දි සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කෙරුවලු. ඇස් දෙකට දැකලා නොතිබ්බත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොදන්න කෙනෙක් ලංකාවේ හතරදිග්බාගෙම නැතුව ඇති. අපේ ගෙවල්වලට සපුගස්කන්ද පැත්ත ටිකක් ළඟයි. ඉතින් පුංචි කාලේ තෙල් පිරිපහදුව ළඟින් යනකොට අර දැල්ල කවදාවත් නිවෙන්නේ නැහැ කියලා අම්මා අත දික් කරලා පිරිපහදුවේ දැල්ල පෙන්නනවා මට මතකයි. නඩත්තු කටයුත්තකට ඇරෙන්න ඔය දැල්ල කවමදාකවත් නිවෙන්නේ නැති නිසා ඒකට නොනිවී දැවෙන ආසියාවේ රන් ගිනි සිළුව කියලත් කියනවා. හැබැයි දැන් රටේ තියෙන ප්‍රශ්න නිසා මෑතක ඉඳලා විටින් විට ඔය ගිනි සිළුව නිවෙනවා. ඒක වෙනම කතාවක්.
මේ කතාව ඒ ගැන නෙමෙයි. ඔය නොනිවී දැල්වෙන ගිනි සිළුව දල්වන්න ඒ වෙනුවෙන් ඇපකැප වෙලා සේවය කරන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අතරිනුත් බොහොම විශේෂ කෙනෙක්ව ‘ධරණී’ කවරය සරසන්න අපි එකතුකරගත්තා.
ඇය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තාක්ෂණික සේවා (ව්‍යාපෘති) නියෝජ්‍ය කළමනාකාර, රසායන ඉංජිනේරු අනෝමා කමල් සෙනෙවිරත්න. ඇගේ සේවා කාලය අවුරුදු 21ක්ලු. ඒ කියන්නේ ඇය අවුරුදු 21ක් පුරාවට ඒ රන් ගිනි සිළුව දල්වන්න ඇපකැප වෙලා තියෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂණික සේවා අංශයේ දෙවැනියා කාන්තාවක් වීම කාන්තාවන් විදිහට අපිටත් ආඩම්බරයක්නේ.
*රසායනික ඉංජිනේරුවරියක් වෙන්න හිතුව තැනින්ම කතාව පටන් ගමුද?
“මගේ ගම අනුරාධපුර. අපේ පවුලේ දරුවෝ පස්දෙනයි. මම දෙවැනියා. අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. මම පුංචි කාලේ ඉගෙනගන්න විශේෂ දක්ෂතා දැක්වුව දරුවෙක් නෙමෙයි. හැබැයි සාමාන්‍ය පෙළ කරන කාලෙදි මට ගණිතය ගැන විශේෂ කැමැත්තක් තිබුණා. ඒ නිසා උසස් පෙළටත් මම ගණිත අංශය තෝරගත්තා. විභාගය එකපාරින්ම සමත්වෙනවා කියන අධිෂ්ඨානයත් මගේ හිතේ තදින්ම තිබුණා. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා පාඩම් කළා. ඒ පාර මම දිස්ත්‍රික්කයෙන් දහවැනියත් වෙලා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයට තේරුණා. ඉංජිනේරු විෂය ගැන මම ලොකුවට දැනන් හිටියෙත් නැහැ. ගණිතයට කැමති නිසයි ඒ අංශය තෝරගත්තේ. ඒ කාලේ මට ඉංග්‍රීසි එහෙම හරියටම බැහැ. ඉතින් කැම්පස් එකේ මුල් කාලෙදි ඉංග්‍රීසියෙන් කියලා දුන්නු කිසිම දෙයක් තේරුණේ නැහැ. පස්සෙ ඉතින් මම ඒ අඩුපාඩුවත් හදාගෙන රසායන ඉංජිනේරු අංශයෙන් ඉහළම ලකුණුත් එක්ක උපාධිය ලබාගත්තා.”
උසස් අධ්‍යාපනයෙන් පස්සේ ඇය විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු අංශයේ උපදේශිකාවක් විදිහටත් සේවය කළාලු. ඒ වගේම ඇය මාස කිහිපයක් අනුරාධපුර පශු අස්වැන්න ආයතනයේත් සේවය කරලා තියෙනවා. අනෝමා සෙනෙවිරත්න ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවයට බැඳෙන්නේ 2001යි.
“මට පැවරිලා තියෙන කාර්යභාර්යයන් කීපයක්ම තියෙනවා. එකක් තාක්ෂණ සේවා අංශයේ කළමනාකාරවරයාගේ අධීක්ෂණ කටයුතුවලට සහාය දක්වන එක. ඒ වගේම පිරිපහදු ක්‍රියාවලියේදි ඇතිවෙන ගැටලු අධ්‍යයනය සහ ඒවාට විසඳුම් ලබාදීම. පිරිපහදුව සම්බන්ධ ව්‍යාපෘතිවලට තාක්ෂණික දායකත්වය ලබාදෙන එකත් මගේ සේවයේ කොටසක්. මේ දවස්වලත් අලුතෙන් පිරිපහදු කරන්න පුළුවන් බොරතෙල් වර්ග මොනවද කියන එක අපි අධ්‍යයනය කරනවා.”
සපුගස්කන්ද පිරිපහදුවේ තියෙන පතාක ටැංකි, නළ, කාර්මික උපකරණ එක්ක හරි හරියට වැඩ කරන එක කාන්තාවකට මොනවගේ අත්දැකීමක්ද කියලා ඇගෙන් නාහන එක අඩුවක් කියලා මට හිතුණා.
“අපේ රස්සාවෙදි පොතේපතේ දැනුම විතරක් වැඩක් නැහැ. ප්‍රායෝගික දැනුමයි, හැකියාවයි තමයි ගොඩක්ම වැදගත්. ප්ලාන්ට් එක වැඩ කරන්නේ නැතුව ගියොත් ප්‍රශ්නේ තියෙන්නේ කොතැනද කියලා අපි හොයාගන්න ඕනේ. ඒ වගේ නඩත්තු කටයුතුවලදි විශාල උපකරණ උඩට නැගලා, ඒවා අස්සට රිංගලා පරීක්ෂා කරන්න ඕනේ. ගොඩක් ප්ලාන්ට්වල ඇතුළ කට්ට කළුවරයි. ඉතින් ඒවා පිරිමින්‍ට වුණත් කරන්න ටිකක් අමාරුයි. කාන්තාවක් විදිහට ඒ අභියෝගවලට මම හරිම කැමැත්තෙන් මුහුණ දෙනවා.”
*රටේ ඇතිවෙලා තියෙන තෙල් ප්‍රශ්නෙත් එක්ක මේ දවස්වල පිරිපහදුවේ වැඩරාජකාරි අඩුයිද?
“එහෙමම කියන්නත් බැහැ. තෙල් පිරිපහදුවේ උපකරණ හදලා තියෙන්නේ හැම දවසකම පැය 24ම වැඩ කරන විදිහට. උපකරණ නතර කර කර වැඩ කරන්න ගියාම ඒවගේ කාර්මික දෝෂ ඇති වෙන්න තියෙන ඉඩ වැඩියි. තෙල් අවම නිසා දැන් අපි වැඩ කරන්නේ එහෙම තත්ත්වයක. ඉතින් අපිට නිතරම උපකරණ ගැන අවධානයක් දක්වන්න වෙනවා. අනික මෙතුවක්කල් අපි පිරිපහදු කළේ අබුඩාබියෙන් ගෙන්වන මර්බන් කියන බොරතෙල් වර්ගය. හැබැයි දැන් පිරිපහදු කරන්නේ රුසියානු බොරතෙල් වර්ගයක්. ඒ සංයුතිය උපකරණවලට ආගන්තුක නිසා අපි බොහොම කල්පනාවෙන් ඉන්නේ. පිරිපහදුව පැත්තෙන් ගත්තොත් නම් කලින්ට සාපේක්ෂව දැන් දවසකට පිරිපහදු කරන්නේ බොහොම අඩු තෙල් ධාරිතාවයක්.”
වසර ගණනාවක් නොනිමුණු තෙල් දැල්ල සැරෙන් සැරේට නිවිලා යන එක ගැන පිරිපහදුව ඇතුළේ වැඩ කරන කෙනෙක් විදිහට ඇයට දැනෙන්නේ බොහොම කණගාටුවක් බවත් ඔය කතාව අතරෙදිම ඇය කිව්වා.
“මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන ඇත්තටම ලොකු දුකක් තියෙනවා. 1969 මේක පටන්ගන්නකොට දවසකට පිරිපහදු කරන්න පුළුවන් තෙල් බැරල් ධාරිතාව 38,000යි. 1979 දි ඒක බැරල් 50,000ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. ඊටපස්සේ ධාරිතාවයේ වැඩි කිරීමක් සිද්ධවෙලා නැහැ. සකස් කරපු තෙල් ආනයනය කරනවට වඩා බොරතෙල් පිරිපහදුව වාසිදායකයි. ඒකෙන් රටේ ආනයනික වියදමෙන් 25% ක් ඉතිරි කරගන්න පුළුවන්. ඒක රටේ ආර්ථිකයට දැනෙන ලොකු ඉතිරියක්. මේ ප්‍රශ්න එන්න කලින් ගිය අවුරුද්දේ අපි තෙල් ධාරිතාව වැඩි කරන අලුත් ව්‍යාපෘතියක් සැලසුම් කළා. හැබැයි මේ ගැටලු නිසා දැන් ඒ කටයුතුත් අඩාල වෙලා. ඒ ගැනත් මට ලොකු කණගාටුවක් තියෙනවා. තෙල් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කරන එක තමයි මගේ වෘත්තීය ජීවිතේ එකම හීනේ. හැබැයි ඒක කවදා හරි කරන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබෙයි කියලත් විශ්වාසයක් තියෙනවා.”
*තෙල් සංස්ථාවේ වැඩ කරන කෙනෙක් නිසා තෙල් ප්‍රශ්නේ පෞද්ගලික ජීවිතේට බලපාන්නේ නැතිව ඇති?
“අපෝ මොකද නැත්තේ? තෙල් සංස්ථාවේ වැඩ කළා කියලා නැහැ. මම ඉන්න පැත්‍තටත් විදුලිය කපනවා. ඒ වෙලාවට කොහොම හරි අපි වැඩකටයුතු ටික කළමනාකරණය කරගන්නවා. දන්න අඳුරන ගොඩක් අය නිතරම වගේ කතා කරලා තෙල් එනවද කියලා අහනවා. තෙල් නැති වෙනකොට සමහරු ඇතුළේ වැඩ කරන අපිට බණිනවා. අවස්ථාව අනුව ඉතින් මම ඒ අයට කරුණු පැහැදිලි කරලා දෙනවා.”
ඔය කතාවෙන් පස්සේ මම ඇයගෙන් පෞද්ගලික ජීවිතේ ගැනත් ටිකක් අහලා බැලුවා.
“මගේ සැමියත් රසායනික ඉංජිනේරුවරයෙක්. අපිට දුවෙක් ඉන්නවා. කාර්යබහුල නැති වෙලාවට මම ගෙදර කටයුතු බලාගන්නවා. ගෙදර පයිප්ප බටයක්, විදුලි උපකරණයක් කැඩුණත් අපිම ඒවා හදාගන්නවා. මම කාර්යබහුල වෙලාවට සැමියා තමයි හැමදේම බලන්නේ. ඔහු වගේම දුවත්, මගේ සහ සැමියාගේ පවුලේ අයත් මට ලොකු ශක්තියක්. මේ ගමන්ම මතක් කරන්න කැමතියි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවකට පිරිපහදු කළමණාකරුවන් විදිහට සේවය කළ නැසීගිය නිමල් රාජපක්ෂ මහතා, විශ්‍රාමික නීල් ජයසේකර මහතා වගේම මගේ වෘත්තීය ජීවිතේට සෑහෙන උපකාර කළ නිමල් අමරසිංහ මහතාවත්. ඒ වගේම මාත් එක්ක තෙල් පිරිපහදුවේ වැඩ කරන කාර්යමණ්ඩලයේ හැමදෙනාගෙම සහාය ගැනත් කියන්න ඕනේ.”
ඉතින් අවසාන වශයෙන් ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙන් වචනයක් වෙන් කරන්නටත් මේ සුන්දර කාන්තාව අමතක කළේ නැහැ.
“මේ කාලසීමාවේ ගොඩක් අය ජීවත් වෙන්නේ පීඩනයෙන්. ඒක හරිම සාධාරණයි. දැන් කවුරු කතා කළත් මුලින්ම කතා කරන්නේ මේ ප්‍රශ්න ගැන. අපි කලබල වුණා කියලා මේ ගැටලු විසඳෙන්නේ නැහැනේ. ඉතින් මම කියන්නේ ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් හොයන ගමන් අපි පීඩනය අවම කරගන්න උත්සාහ කරමු කියන එකයි. මොකද මේ පීඩනය නිසා සංකිර්ණ මානසික ගැටලු වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඉඩ තියෙන වෙලාවට ආධ්‍යාත්මික දේවලට යොමුවෙලා හැකිතාක් සතුටින් ඉන්න බලන්න. ඒක තමයි මගේ එකම ඉල්ලීම.”
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ රසායන ඉංජිනේරු
අනෝමා කමල් සෙනෙවිරත්න
නියෝජ්‍ය කළමනාකාර
තාක්ෂණ සේවා (ව්‍යාපෘති)
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්