නවතම ප්‍රවෘත්ති

ප්‍රශ්නයක් ඇති වුණාම, කාන්තාව ප්‍රශ්නයේ කොටසක් නොවී විසඳුමේ කොටසක් වුණාම ජීවිතේ හරි සුන්දරයි

අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු මෙරට රාජ්‍ය සේවයේ ජනප‍්‍රිය, ක‍්‍රියාශීලී නිලධාරිනියකි. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති යන තනතුරුවලට පත් වූ මෙරට ප‍්‍රථම කාන්තාව වන්නේද ඇයයි. කාර්යබහුල වෘත්තීය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙවමින් සතුටින් ජීවිතය දරණ අනූෂා ‘ධරණී’ට කී කතාවයි මේ… 

 

*රාජ්‍ය පරිපාලන සේවයේ ඔබ හරිම ජනප‍්‍රිය චරිතයක්. රාජ්‍ය පරිපාලන සේවයට ඔබ එක්වුණු හැටි ගැන කියලා අපි මේ කතාබහ පටන්ගනිමු?

හොඳයි. උපාධිධාරිනියක් විදියට මම මුලින්ම රාජ්‍ය සේවයට එක්වුණේ එක්දහස් නමසිය අනූනමය ඔක්තෝම්බර් මාසයේ. ඒ, උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක්කරගැනීමේ ක‍්‍රමවේදය යටතේ. හැබැයි මම ඒ විදියට රාජ්‍ය සේවයේ වැඩ කළේ මාස හතරක් විතරයි. රාජ්‍ය පරිපාලන සේවයට දෙදාහේ පෙබරවාරි පහළොස් වැනිදා මම එක්වුණා. උපාධිධාරිනියක් විදියට රාජ්‍ය සේවයට එක්වන විටත් මම රාජ්‍ය පරිපාලන සේවා විභාගයට ඉදිරිපත් වෙලා හිටියේ. එයින් ලැබුණු ප‍්‍රතිඵල අනුවයි රාජ්‍ය සේවයට බැඳිලා වැඩි කාලයක් යන්න කලින් මට රාජ්‍ය පරිපාලන සේවයට එක්වෙන්න පුළුවන් වුණේ. 

 

*රාජ්‍ය පරිපාලන සේවයට එක්වුණාට පස්සෙ ඔබේ මුල්ම රැකියා ස්ථානය වුණේ කොතැනද? 

රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගත්තට පස්සෙ වසරක පුහුණුවක් ලබාදෙනවා. ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් තමයි ඔය පුහුණුව ලබාදෙන්නේ. මමත් වසරක් ඔය පුහුණුව ලැබුවා. පුහුණුවෙන් පස්සෙ මට පත්වීම ලැබුණෙ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අංශයේ සහකාර අධ්‍යක්ෂ විදියට. එතැන අවුරුදු තුනක් සේවය කළාට පස්සෙ මට මාරුවීමක් ලැබුණා ආගමන විගමන දෙපාර්තමේන්තුවට. 

ආගමන විගමන කියන්නෙ මම වැඩිය කැමති විෂය ක්ෂේත‍්‍රයක් නෙමෙයි. ඒ නිසා ටික කලකින් මට මාරුවීමක් ලැබුණා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් විදියට. එතැනත් මම අවුරුදු තුනක් වැඩ කළා. ඊටපස්සෙ මගෙ සේවා ස්ථානය වුණේ ග‍්‍රාම සංවර්ධන පර්යේෂණ පුහුණු ආයතනය. ග‍්‍රාම සංවර්ධන පර්යේෂණ පුහුණු ආයතනයේ වසර තුනක් මම සෑහෙන ආසාවෙන් වැඩකළා. මොකද මම පාසල් යන කාලෙ පටන්ම පර්යේෂණවල නියැලෙනවා. උසස් පෙළ කරන කාලෙ මම සොකරි නාඩගම ගැන පර්යේෂණයක් කරලා පොතකුත් ලිව්වා. 

 

*ග‍්‍රාම සංවර්ධන පර්යේෂණ පුහුණු ආයතනයේ සේවා කාලයෙන් පස්සෙ ප‍්‍රාදේශීය ලේකම්වරියක් හැටියට පත්කළත් ඔබ එය බාරගත්තෙ නැහැ කියන්නෙ ඇත්තද?  

බාරගත්තෙ නැහැ කියලා කිව්වොත් ඒක වැරැදියි. මොකද ඔය තනතුර ලැබුණහම එක දවසක් මම කාර්යාලයට වාර්තා කළා. හැබැයි වෙනයම් කාරණයක් නිසා ප‍්‍රාදේශීය ලේකම්වරියක් විදියට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණෙ නැහැ. ප‍්‍රාදේශීය ලේකම් ධුරයේ වගකීම් ඉටුකරන්න මම හරිම ආසාවෙන් හිටියේ. ඒත් මට ඒ අවස්ථාව ලැබුණෙ නැහැ. වෘත්තිය ජීවිතයෙදි එහෙම අවස්ථාවලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එවැනි සිදුවීම්වලදි සැලෙන්න හොඳ නැහැ. එතකොට තමයි ශක්තිමත්ව අනාගතයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. 

 

*ප‍්‍රාදේශීය ලේකම් තනතුර මගහැරුණත් ඔබ ඊළඟට වෘත්තිය ජීවිතයේ පළමුවැනි වතාවට දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක් බවට පත්වුණා නේද?  

ඔව්. ඊටපස්සෙ බස්නාහිර පළාතෙ සමාජ සේවා අධ්‍යක්ෂ ධුරයට මම පත්වුණේ මගෙ වෘත්තිය ජීවිතයේ පළමු වතාවට දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක් බවට පත්වෙමින්. ඒ, දෙදහස් දහය අවුරුද්දෙදි. මම එතැන කාර්ය මණ්ඩලයත් එක්ක ව්‍යාපෘති රැසක් කළා. බස්නාහිර පළාතෙ හොඳම දෙපාර්තමේන්තුව විදියට වසර කීපයක්ම ඇගයීම් ලබන්නත් පුළුවන් වුණා. 

මම බස්නාහිර පළාතෙ සමාජ සේවා අධ්‍යක්ෂ විදියට වැඩ කරන හැටි දැකලා ඊළඟට මාව මධ්‍යම රජයේ සමාජ සේවා අධ්‍යක්ෂ හැටියට පත්කළා. එතැන අවුරුදු දෙකක් වැඩ කළාට පස්සෙ මාව පත් කළේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විදියට. මම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විදියට කටයුතු කළ කාලය අවුරුදු පහක්. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විදියට වැඩ කරන අතරේම ජාතික චිත‍්‍රපට සංස්ථාවෙ සභාපති විදියටත් අවුරුද්දකට ආසන්න කාලයක් වැඩ කළා. 

 

*එතකොට ඔබ අධ්‍යාපන අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් ධුරයට පත්වුණේ කොහොමද? 

රාජ්‍ය පරිපාලන සේවයෙ උසස්වීම් ලබලා විශේෂ ශ්‍රේණියට ආවට පස්සෙ තමයි මාව අමාත්‍යාංශ අතිරේක ලේකම්වරියක් විදියට පත්කළේ. මුලින්ම මාව පත්කළේ සමාජ සේවා අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් හැටියට. මධ්‍යම රජයේ සමාජ සේවා අධ්‍යක්ෂ විදියට කටයුතු කළ නිසා සමාජ සේවා අමාත්‍යාංශයට යන්න මම වැඩිය කැමති වුණේ නැහැ. ඒ නිසා මාව අධ්‍යාපන අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් ලෙස පත්කළා. හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් හැටියට මම වැඩකළේ මාස නමයක් විතරයි. මොකද එතැන වැඩපිළිවෙල ගැන මම තෘප්තිමත් වුණේ නැහැ. 

ඒ නිසා මම මගේ වෘත්තිය ජීවිතේ පළමුවැනි වතාවට ඉල්ලීමක් කළා මාව වෙනත් තැනකට යොමු කරන්න කියලා. ඒ අනුව මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ ජෙනරාල් විදියට මාව පත්කළා. මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ ජෙනරාල් විදියට දෙදහස් විස්ස අවුරුද්දෙ පත්වෙලා දෙදහස් විසිතුන අවුරුද්දෙ මාස කිහිපයක් යනකම් වැඩ කළා. ඊටපස්සෙ තමයි ධීවර අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් විදියට ස්ථාන මාරු වී පැමිණියේ. ඔය විදියටයි වසර විසි තුනක් පුරා මෙතෙක් මම වෘත්තීය ගමන පැමිණියේ. 

 

*ඔය වෘත්තීය ගමන එන අතරේ ඔබ කළ අධ්‍යාපන කටයුතු මොනවද? 

මෙහෙමයි. මම රාජ්‍ය පරිපාලන සේවයට එන්න කලින්ම අධ්‍යාපන කටයුතු සෑහෙන්න සම්පූර්ණ කරගත්ත කෙනෙක්. පාසල් අධ්‍යාපනයේ පටන්ම මම ඒ ගැන කියන්නම්. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්. ඒ නිසා පුංචි කාලෙ ඉදන්ම අපේ ගෙදර තිබුණෙ අධ්‍යාපනයේ වටිනාකම දැනෙන පරිසරයක්. ඒ නිසා මම විවිධ විෂය පථයන් යටතේ ඉගෙනගෙන තියෙනවා. මම හයේ පංතියෙ හිටිය කාලෙ ඉඳන්ම අපේ අම්මයි තාත්තයි ඒ අයගෙ පාසල්වල ගණිතය සහ විද්‍යාවට දුර්වල ළමයි අපේ ගෙදර එක්කරගෙන ආවා. එහෙම එක්කරගෙන ආපු මගේ සම වයසේ සහ මට වඩා වයසින් බාල ළමයින්ට මම ගණිතයයි විද්‍යාවයි නොමිලේ ඉගැන්නුවා. 

අපේ මහගෙදර පිහිටලා තියෙන්නෙ කුරුණෑගල. කුරුණෑගල මහගෙදර අදටත් පවත්වාගෙන යන කලායතනයක් තියෙනවා. ඔය කලායතනයේ මම සිසුවියක් විදියට ඉගෙනගෙන තියෙනවා වගේම ගුරුවරියක් විදියට උගන්වලත් තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට නැටුම් ගුරුවරියක් විදියට පත්වීමකුත් ලැබුණා. ඒත් මම ඒ ගුරුපත්වීම බාරගත්තෙ නැහැ. 

මේ වෙනකොට මම ඩිප්ලෝමා පහළොවක් විතර සාර්ථකව අවසන් කරලා තියෙනවා. රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළට එන්න නම් ඒ ඒ කාලවල කළයුතු විභාග තියෙනවා. මම ඒ සෑම විභාගයක්ම හොඳින් සමත් වුණා. 

 

*ඔබේ වෘත්තීය ජීවිතයට දැන් වසර විසිතුනක් බව කලින් කියැවුණා. වසර විසිතුනක් පුරා  පැමිණි ඔය වෘත්තීය ගමනෙදි කාන්තාවක් වීම නිසා ඔබට මුහුණදෙන්න වුණු ප‍්‍රශ්න තියෙනවද? 

කාන්තාවක් වීම නිසාම වෘත්තීය ජීවිතයෙදි ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණු අය ගැන මම අහලා තියෙනවා. සමහර කාන්තාවන් මට ඒ ගැන කියලත් තියෙනවා. හැබැයි මම පෞද්ගලිකව ඔය කියන තත්ත්වයට කවදාවත් මුහුණදීලා නැහැ. මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා. කාන්තාවක් වීම නිසා මට අසාධාරණයන් නොවුණු බවට හොඳ උදාහරණ දෙකක් මට ඔබට කියන්න පුළුවන්. ඒ තමයි ලංකාවෙ පළමුවැනි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය මම. ඒ වගේම ලංකාවෙ චිත‍්‍රපට සංස්ථාවෙ පළමු සභාපතිනියත් මම. 

අපේ රටේ සමාජයේ ඔබ අහන විදියේ ප‍්‍රශ්නයක් තියෙන බව මම දන්නවා. කොහොම නමුත් ගැහැනුද පිරිමිද කියලා වෙනසක් නැතුව පොදුවේ මුහුණ දෙන්න වෙන ප‍්‍රශ්නවලට නම් මුහුණ දෙන්න වුණු අවස්ථා තියෙනවා. එහෙම ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වුණේ මම ගැහැනියක් වීම නිසා නෙමෙයි, අපේ රටේ සිස්ටම් එකේ තියෙන ප‍්‍රශ්නය නිසා. 

 

*ඔබේ සැමියා, ඔබේ පෙම්වතා වෙන්නෙ ඔබ පාසල් යන කාලයෙදි. අවුරුදු කීයක පේ‍්‍රම සම්බන්ධයකින් පස්සෙද දෙන්නා විවාහ වුණේ? 

අවුරුදු දොළහක පේ‍්‍රම සම්බන්ධයකින් පස්සෙ අපි විවාහ වුණේ. ඔහුත් මමත් අතර අවුරුදු අටක වයස් පරතරයකුත් තියෙනවා. කුරුණෑගල අපේ මහගෙදරට ඒ කාලෙ අල්ලපු ගෙදර තමයි මගේ සැමියගෙ මහගෙදර පිහිටලා තියෙන්නේ. දැන් නම් අපේ මහගෙවල් දෙකට මැදින් අලූත් ගෙයක් හදලා තියෙනවා. මගේ සැමියා මුස්ලිම් ජාතිකයෙක්. 

 

*සිංහල බෞද්ධ පවුලක විදුහල්පති තාත්තයි ගුරු අම්මයි තමන්ගෙ දුව මුස්ලිම් ජාතිකයෙක් සමඟ විවාහ වෙනවට විරුද්ධ වුණේ නැද්ද? 

විරුද්ධ වුණා. කොහොම නමුත් එකම ජාතියට අයත් එකම ආගම අදහන පෙම්වතුන් පෙම්වතියන්ටත් විරුද්ධ වෙන මව්පියන් අපිට දකින්න ලැබෙන අවස්ථා තියෙනවා. මගේ අම්මයි තාත්තයි මගේ පෙම්වතාට විරුද්ධ වුණත් ඒ වෙනකොට මම ගොඩනගාගෙන තිබුණු පෞරුෂය ඊට වඩා ඉදිරියෙන් තිබුණා. ඒ නිසා මගේ පෙම්වතා සමඟ විවාහ වෙන එක ප‍්‍රශ්නයක් වුණේ නැහැ. විවාහ වෙලා ටික කාලෙකට පස්සෙ අපේ අම්මයි තාත්තයි බෑණට හරිම ආදරේ වුණා. මගේ සැමියත් ඒ දෙන්නට බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන් සලකන්නේ. ජාතීන් අතර සහ ආගම් අතර සහජීවනය අපි නිතර කතා කරන දෙයක්. මම ඒ සහජීවනය උදේ හවා අත්විඳින කෙනෙක්. ජාතිය හෝ ආගම මුල්කරගෙන මමයි මගේ සැමියයි අතර කවදාවත් වාද විවාදවත් ප‍්‍රශ්නවත් ඇතිවෙලා නැහැ. ඒකට හේතුව අපි දෙන්නම මනුෂ්‍යත්වයට පමණක් වටිනාකමක් දෙන නිසා වෙන්න ඇති. 

 

*ඔබේ සැමියා නියැලෙන වෘත්තිය මොකක්ද? 

ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහුගෙ ව්‍යාපාරය ආනයන අපනයන ක්ෂේත‍්‍රයට සම්බන්ධ එකක්. 

 

*තමන්ගෙ බිරිඳ තමන්ට වඩා සමාජයෙ කැපී පෙනෙන චරිතයක් වෙනවට සමහර සැමියන් කැමති නැහැ. ඔබත් ඔබේ සැමියත් ගත්තහම රටේ මිනිස්සු දන්නෙ ඔබව. සැමියයි ඔබයි පාරක තොටක යද්දි වුණත් මිනිස්සු කතාබහ කරනවා ඇත්තෙ ඔබත් එක්ක. සැමියා කොහොමද එයට ප‍්‍රතිචාර දක්වන්නේ? 

ඔය කාරණයෙදි මගේ සැමියා හැසිරෙන ආකාරය මට හිතාගන්නත් බැහැ. මොකද  ඕක අනෙක් පැත්තට වුණා නම් මම මගේ සැමියා තරම් ඉවසන එකක් නැහැ. එහෙම බැලුවහම ඔහු මනසින් මට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ. මගේ සැමියා මම තරම් ඉහළට අධ්‍යාපනය ලබපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඔහු මනසින් ගිහින් තියෙන තැන කිට්ටුවටවත් මම තවම ගිහින් නැහැ. ඔහු ඒ තරම් මනසින් පොහොසත් කෙනෙක්. 

මගේ මහත්තයා වැඩිය පොතපත කියවන කෙනෙක් නෙමෙයි. හැබැයි මම පොත් ලියනවට ඔහු හරිම කැමතියි. ඒ කැමැත්ත කොච්චරද කියනව නම් මම පොතක් ලියලා එළි දක්වන දවසටයි අපේ දරුවො තුන්දෙනා ලැබුණු අවස්ථාවලයි මගේ මහත්තයගෙ මුහුණෙන් මම දැක්කෙ එකම විදියේ සතුටු හැඟීමක්. වෘත්තිය ජීවිතයේ මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නෙ නැහැ ඔහු මට දීල තියෙන නිදහස නොවුණ නම්. මම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය විදියට වැඩකරපු කාලෙ පාන්දර දෙකට ගෙදර ඇවිත් ආපහු හයට ගෙදරින් ගිය අවස්ථා තියෙනවා. 

ඒ වගේ කාර්යබහුලම අවස්ථාවලත් සැමියා මට දුන්නු මානසික නිදහස මෙතකැයි කියලා කියන්න බැහැ. මගේ දරුවො තුන්දෙනත් මා ගැන හොඳින් තේරුම් අරන් ඉන්නේ. සැමියත් දරුවො තුන්දෙනත් දන්නවා රැකියාව කැපවීමෙන් කරලා මම ලබන සතුට කොතරම්ද කියලා. හැබැයි රැකියාවට තියෙන කැපවීම පාලනය කරගන්න බැරිව මම ඕවර් යන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට සැමියා හිනාවෙලා කියනවා පැයකට දෙකකට ගෙදර එන්නෙ මොකටද ඇඳුම් ටිකත් ඔෆිස් එකට අරන් ගියා නම් හරිනෙ කියලා. මාව ගොඩනැගුවෙ මගේ අම්මයි තාත්තයි. ඒ වගේම මාව ඉහළටම ඔසවා තැබුවෙ මගේ මහත්තයා. 

 

*එතකොට දෙන්නා අතරෙ මත ගැටුම් ඇතිවෙන වෙලාවල් එහෙම නැද්ද? 

අපි දෙන්නා අතරෙ ඇතිවන ලොකුම මත ගැටුම තමයි අන් අයත් එක්ක ගනුදෙනු කරන හැටි ගැන. මම සාමාන්‍යයෙන් වෙන කෙනෙක් එක්ක වැඩක් කරන්න පටන් ගන්නෙ ඔහු හෝ ඇය ගැන සියයට සියයක්ම විශ්වාසය තියලා. වැඩේ කරගෙන යන අතරේ තමයි මම ඔහුගේ හෝ ඇයගේ හොඳ නරක දකින්නේ. මගේ සැමියා මට කියන්නෙ එහෙම නොකර වෙන කෙනෙක් එක්ක කරන ගනුදෙනුවක් ආරම්භයෙදිම සියයට සියයක් විශ්වාසය නොතියා බිංදුවෙන් පටන්ගන්න කියලා. 

එහෙම බිංදුවෙන් පටන්ගත්තහම වරදින්න තියෙන ඉඩ අඩු බව තමයි ඔහු කියන්නේ. මගේ සැමියා අන් අය එක්ක ගනුදෙනු කරන්නෙ ඒ විදියට. සැමියගෙ වෘත්තියෙන් ඔහුට ලැබුණු දෙයක් හැටියටයි මම එය දකින්නේ. කොහොම නමුත් අදටත් මට වෙනස් කරගන්න බැරිවුණු මගේ ගතිගුණය තමයි  ඕක. අදටත් මම වෙන කෙනෙක් එක්ක වැඩක් කරන්න පටන්ගන්නෙ සියයට සියයක විශ්වාසයක් ඇතිව.  

 

*ඔබේ දරුවො තුන්දෙනා මොකද කරන්නේ? 

අපේ වැඩිමල් දරුවා දුවෙක්. ඇය වෛද්‍යවරියක්. අනිත් දරුවො දෙන්නම පුත්තු. ලොකු පුතා විදේශගත වෙලා ඉන්නේ. පොඩි පුතා විශ්වවිද්‍යාලෙ තුන්වැනි වසරෙ ඉගෙනගන්නවා. 

 

*පෞද්ගලික ජීවිතයේ වගකීම් නිසා අපේ රටේ බොහෝ කාන්තාවන්ට වෘත්තීය ජීවිත ගමන එක් තැනකදි නවත්තන්න වෙන ආකාරය දකින්න පුළුවන්. එහෙම නොවී වෘත්තීය ජීවිතයත් සාර්ථකව ඉදිරියට යන්න කාන්තාවන් කටයුතු කරන්න ඕනි කොහොමද කියලා අපි මේ සංවදය අවසන් කරමු?  

මම හිතන විදියට කාන්තාවකට තමන්ගෙ ජීවිතය ඇතුළෙ ජීවිත හතරක් තියෙනවා. පෞද්ගලික ජීවිතය, පවුල් ජීවිතය, වෘත්තිය ජීවිතය සහ සමාජ ජීවිතය. ජීවිතයට ඔහේ ගලාගෙන යන්න ඉඩනොදී ඔය ජීවිත හතර හොඳින් සැලසුම්කර ගන්න කාන්තාවකට වෘත්තිය ජීවිතයෙත් සාර්ථක ඉදිරි ගමනක් යන්න පුළුවන් බව තමයි මම විශ්වාස කරන්නේ. අනෙක ප‍්‍රශ්නයක් ඇති වුණහම කාන්තාව ප‍්‍රශ්නයේ කොටසක් නොවී විසඳුමේ කොටසක් වෙන්නයි ඕනි. එතකොට ජීවිතේ හරි සුන්දරයි. 

 

හසිත කුරුප්පු 

ඡායාරූප – හර්ෂ හේවාවිතාරණ