විශේෂාංග

ආදරේ නිසා දැනෙන සතුට වගේම දුකත් මං විඳලා තියෙනවා – අප්සරා ගුණතිලක

ඒ 2021 අවුරුද්ද. සුපුරුදු විදියටම ඒ අවුරුද්දෙත් අප්‍රේල් මාසෙ ලංකාවේ හැම රූපවාහිනී නාලිකාවකම වගේ අවුරුදු කුමරා සහ කුමරිය තෝරන තරඟ පැවැත්වුණා. පුංචි කාලේ ඉඳන් අවුරුදු කුමරියක් වෙන්න හීන දැකපු ඉංගිරියේ හඳපාන්ගොඩ පැත්තේ තරුණියකුත් ඒ වතාවේ එයින් එක් තරඟයකට ඉදිරිපත්වෙලා හිටියා. අවසානයේ ඒ තරඟයට ඉදිරිපත් වෙලා හිටපු දහස් ගණනක රුවැත්තියන් අතරින් අවසාන තරඟකාරියන් අටදෙනා අතරට එන්නත් ඇය වාසනාවන්ත වුණා. අවුරුදු කුමරිය කිරුළ ජයග්‍රහණය කරන්න බැරි වුණත් උසස්පෙළ විභාගයටත් සූදානම් වෙන ගමන් තමා ඒ තරඟය තුළ පැමිණි දුර ගැන ඇයට තිබුණේ සතුටක්.

ඉතින් උසස්පෙළ විභාගය ලියලා අන්තිම දවසේ බස් එකේ ගෙදර යනකොට ඇයගේ දුරකතනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබිලා. ඒ ඇමතුම අරගෙන තිබුණේ ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂවරයෙක් වුණු උදය ප්‍රසන්න. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වුණු TV දෙරණ නාලිකාවේ ‘මල් පිපෙන කාලේ’ කියන ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා විදියට තමයි ඔහු ඒ වෙනකොට කටයුතු කරමින් හිටියේ. උදයගේ ඇමතුමින් දැනුම් දීලා තිබුණේ ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ අලුත් චරිතයක් වෙනුවෙන් ඇයව තෝරගෙන ඇති බව. ඒ චරිතය තමයි පස්සේ කාලෙක ඔබ අපි හැමෝම ආදරේ කළ, ‘මාධවී’ගේ චරිතය. එදා මාධවීට පණ දුන්නු අප්සරා ගුණතිලක එක්කයි අද මේ කතාබහ… අප්සරාවක් වගේ අද ‘ධරණී’ කවරය හැඩකරන්නෙත් ඇයම තමයි.

“එදා අවුරුදු කුමරිය තරඟයේ අවසන් අටදෙනා අතරට ආවට පස්සේ ෆොටෝ ශූට්වලට, වෙළඳ දැන්වීම්වලට එහෙම ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් උසස්පෙළ විභාගය තිබුණු නිසා ඒ හැම ආරාධනාවක්ම භාරගන්න බැරිවුණා. උසස්පෙළ ලියලා ගෙදර එද්දි තමයි මට උදය ප්‍රසන්න මහත්මයා කතා කරලා කිව්වේ ඒ වෙනකොට දෙරණේ විකාශය වෙමින් තිබුණු ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ඉස්සරහට එන අලුත් චරිතයක් වෙනුවෙන් මාව තෝරාගන්න කැමති බව. ඊටපස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් ඒ අය මාව ඒකට තෝරගත්තා. ඒ විදියටයි මං දෙරණ නාලිකාව හරහා ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයට පිවිසුණේ. වාසනාව කියන්නේ ඒ වූ පළමු නිර්මාණයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ අතරට යන්න මං වාසනාවන්ත වුණා.”

තුශාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරපු මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ මාධවීගේ චරිතයෙන් අප්සරා කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒ කාලේ ඇයට තවත් බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබුණලු. ඒත් ඇය ඊළඟට බාර අරගෙන තිබුණේ සද්ධාමංගල සූරියබණ්ඩාර පිටපත් රචනයෙක් දායක වුණු ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘කෝලම් කුට්ටම’ ටෙලිනාට්‍යය.

“කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයේ මං කරපු යශෝධරා චරිතයත් ඉක්මනින්ම වගේ ප්‍රේක්ෂකයෝ අතරට ගියා. ඒ ටෙලිනාට්‍යය බලපු ගොඩාක් පිරිමි ළමයි ඒ චරිතයට පුදුම විදියට ආදරේ කළා. මට ලැබුණු ප්‍රතිචාරත් එක්ක ඒක මට දැනුණා.”

අප්සරා පුංචි කාලේ ඉඳන්ම හීන දැකලා තියෙන්නේ ගුරුවරියක් වෙන්න. ඒත් පස්සෙ කාලෙක නර්තනය, රංගනය වැනි දේවල්වලට තිබුණු දක්ෂතාවය නිසාම ඇයට රංගන ශිල්පිනියක් වෙන්න ඕනෑ වුණාලු. ඒ හීනයට පාර කපාගැනීමේ අදහසින් තමයි ඇය අපි අර මුලින් සඳහන් කළ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක අවුරුදු කුමරිය තරඟයකටත් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ හරහා රංගන ශිල්පිනියක් වීමේ හීනය හරි ඉක්මනින් සැබෑ කරගත්ත අප්සරාට දැන් අවශ්‍ය චරිතාංග නිළියක් විදියට ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නලු.

කොහොම වුණත් අප්සරා කියන්නේ හැදෑරීමක් නැතිව කලා ක්ෂේත්‍රයට ආපු කෙනෙක් නෙවෙයි. ඇය පාසල් කාලේ ඉඳන්ම විෂයක් විදියට නාට්‍ය හා රංග කලාව විෂයය හදාරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි උසස්පෙළ දරු දැරියන් වෙනුවෙන් නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් පන්තිත් පවත්වපු කෙනෙක්. එයින් නොනැවතී තවදුරටත් ඇය රංගනය පිළිබඳ හැදෑරීම් කරමින් සිටින බවයි අපි එක්ක කිව්වේ.

“ගොඩාක් අය හිතනවා තරුණියකට කලා ක්ෂේත්‍රයේ දිගු කාලයක් රැඳෙන්න අමාරුයි කියලා. හැබැයි මං හිතනවා අපි හැදෑරීමක් එක්ක මේ ක්ෂේත්‍රයට ආවොත් එහෙම ගැටලු මතුවෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමන් කවුද මොකටද ආවේ කියන දේ නිතරම ඔලුවේ තියාගෙන ඉන්නත් ඕනේ.”

මේ වෙනකොටත් අප්සරා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විශේෂ උපාධියක් හදාරමින් සිටිනවා. ඇය එහි දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඒක නිසාම මොන වෘත්තියක නියැලුනත් තරුණිකට අධ්‍යාපනය කියන දේ කොයිතරම් වටිනවද කියලත් අපිට ඇයගෙන් අහලා බලන්න හිතුණා.

“මොන වෘත්තියක හිටියත් මට හිතෙනවා ඒ වෘත්තියේ දිගු කාලයක් රැඳෙන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් ඒ සම්බන්ධව වැඩිදුර හදාරන එක හොඳයි කියලා. ඒක රැකියාවේ සුරක්ෂිතබවට වගේම පුද්ගලිකව තමන්ගේ ජීවිතයටත් හොඳ දෙයක්. ඒකයි මං රංගන කටයුතුවල යෙදිලා ඉන්න ගමන්ම වුණත් අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යන්නේ. මගේ උපාධියේ ප්‍රධාන විෂය විදියට මම ඉගෙනගන්නෙත් නාට්‍ය හා රංග කලාව.”

ඒ සියලු කතාබහ අතරේ මේ වගේ සුන්දර තරුණියකගෙන් ආදරේ ගැන නොඇහුවොත් ඒක ලොකු අඩුවක් කියලා හිතුණු නිසා ආදරේ ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.

“ඒකට මට නිර්වචනයක් දෙන්න නම් බෑ. දැන් පෙම්වතියක් නොවුණට මං පෙම්වතියක් වෙලා හිටියා. ඒ නිසා ආදරේ නිසා දැනෙන දුක, සතුට වගේ හැම හැඟීමක්ම මං විඳලා තියෙනවා. මං හිතන්නේ අපිට හුඟාක් පාඩම්, ජීවන අත්දැකීම් දෙන දෙයක් තමයි ආදරේ කියලා කියන්නේ.”

සතුට… ඒ තමයි මිනිස්සු විසිහතර පැය පුරා හොයන දේ. ඒත් හැමවෙලේම ඔය සතුට අපේ ජීවිතවල රැඳෙන්නේ නෑ. හැබැයි අප්සරා දුටුවනම අපිට හිතුණේ ඇය සතුටින් ජීවිතේ දරන්නියක් කියලයි. ඒ ගැන ඇහුවම ඇය දුන්නු පිළිතුර තමයි මේ.

“ජීවිතේට කොච්චර ප්‍රශ්න ඇවිත් මගේ සතුට නැතිකරන්න හැදුවත් මං නිතරම උත්සාහ කරන්නේ මාව සතුටින් තියන්න. අපි හිතමු මට වරු ගාණක් අඬන්න හේතුවක් හැදුනා කියලා. ඒ වගේ වෙලාවට මං බලන්නේ ඒ වරු ගාණෙන් එක තත්පරයක් හරි නොඅඬා ඉන්න හේතුවක් හොයාගන්නයි.”

අප්සරාගේ ගෙවල් තියෙන්නේ ඉංගිරියේ හඳපාන්ගොඩ. අම්මයි තාත්තයි ඇරුනම අප්සරාට ඉන්නේ අයියයි, ආච්චියි, සීයයිලු. තාමත් වයස අවුරුදු 22ක් වෙන ඇය අවුරුදු දෙක තුනක් ඇතුළත මේ ඇවිත් තියෙන දුර බැලුවම අනාගතේ ලොකු දුරක් යන්න පුළුවන් කියන එකනම් අපිට විශ්වාසයි. ඒ වෙනුවෙන් ඇයට හදවතින්ම සුබපතන ගමන් කතාබහ අවසන් කරමින් ‘ධරණී’ පාඨකයින් වෙනුවෙන් යමක් කියන්න කියන ඉල්ලීමත් අපි කළා.

“ධරණී කියන්නේ ලංකාවේ ජනප්‍රියම කාන්තා පුවත්පත. ඒක නිසා වයස් භේදයක් නැතුව හැමෝම කියවනවා කියලත් මං දන්නවා. මං ඒ හැමෝටම මෙහෙම දෙයක් කියන්න කැමතියි. මිනිස්සු විදියට අපි හැමතිස්සෙම සතුට හොයමින් ඉන්නවා. හැබැයි එහෙම සතුට හොය හොයා යද්දී සතුටින් ඉන්න පුළුවන් අවස්ථා නොදැනුවත්වම මඟහැරෙනවා. ඒ නිසා මේ මොහොතේ සතුටු වෙන්න පුළුවන් පුංචිම හේතුවක් හොයාගෙන හරි සතුටින් ජීවත් වෙන්න බලන්න. නැත්නම් ගොඩක් අය ජීවිත කාලෙම සතුට හොයමින් ඉඳලා මැරිලා යනවා මිසක් සතුටින් ජීවත්වෙන්න ඕනෙ කියන එක අමතක කරනවා.”

හැඩගැන්වීම – Salon Sasee

පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක