Latest News

සිය මිය ගිය රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත බිරිඳ විරෝධතාවයක

මිය ගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප මාස 07කට ආසන්න කාලයක් ගතවුව ද මෙතෙක් තමන්ට නොලැබුණ බව පවසමින් රණවිරු බිරිඳක් නිහඬ විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ දී ඇය විරෝධතාවයේ නිරත වී ඇති අතර, තම සැමියාගේ විශ්‍රාම වැටුප කඩිනමින් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා.

වසර 22ක පූර්ණ සේවා කාලයකින් පසුව විශ්‍රාම ලබා සිටියදී මිය ගිය මෙම රණවිරුවා යුධ හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු වන අතර, ඔහුගේ අබාධිත බිරිඳ ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ පදිංචි ආර්.කේ.පී.විමලාවතී නමැති 57 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව පාදයක් ද අහිමිව රෝගී තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

එම රණවිරුවා ජීවත්ව සිටි සමයේ පටන් එම නිවසේ ආදරයෙන් ඇති දැඩි කළ බිංදු නමැති සුරතල් සුනඛයා ද ඇය සමග එම නිහඬ විරෝධතාවයට එක්ව සිටීම ද විශේෂත්වයක්.

වසර 22ක යුද හමුදා පූර්ණ සේවා කාලය තුළ අදාළ රණවිරුවා පුර්ණභූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම, 50 වන යුද්ධ හමුදා සංවත්සර පදක්කම, නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම හා උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම ආදී පදක්කම්වලින් ද පිදුම් ලබා ඇති බව ඔහුගේ බිරිඳ පවසනවා.