දිරිය දිනූ කතුන්

බෝඩිමේ ඉඳගෙන චිත්‍ර අඳිනවා, ඒ චිත්‍ර කෝච්චියේ කොළඹ අරන් ගිහින් විකුණනවා – නිර්මලා හේරත්

පහුගිය ඉරිදා උදේ මම රාගමින් කෝච්චියට ගොඩ වුණේ කොළඹදි මිත්‍රයෙක් මුණගැහෙන්න යොදාගෙන තිබුණ නිසා. කෝච්චිය නියමිත වෙලාවට නාව නිසා හෝරාවක් පමණ කාලය ගෙවිලා යද්දී දුරකතනය දිගේ ගලාගෙන ආපු  මිත්‍රයාගේ ඇනුම් බැනුම් අහගෙන මං ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී හිටියේ මීළඟට එන දුම්රිය අර්ධ සීඝ්‍රගාමී එකක් වුණ හින්දා. පිළිවෙලින් කැලණිය, දෙමටගොඩ, මරදාන, කොළඹ කොටුව නවත්තන බවට නිවේදනය කරපු තැඹිලි පාට යකඩ යකා දුම්රිය වේදිකාවට ආපු ගමන් මම ගිහින් ජනේලයක් අයිනෙ වාඩිවුණේ ගිනි කාෂ්ටක රස්නෙට ඔසුව ඊළඟට දුම්රියට ගොඩවෙන සුළං පාර බව දන්න නිසා. ඔය එන අතරේ කැලණියට ළංවෙද්දී මගේ ළඟ ඉඳගෙන හිටපු තරුණ යුවළක් ආසනයෙන් නැගිට්ටා. ඔවුන් දුම්රියෙන් බැස ගියායින් පස්සේ මැදිවියේ කාන්තාවක් මගේ අසුනේ එහා පසින් ඉඳගත්තා. 

දුම්රියපොළකදී මිනිසුන් දුම්රිය මැදිරියට නැගඒම සහ බැසයාමත් හිස්වුණ අසුනේ තවකෙකු ඉඳගැනීමත් මහා ආශ්චර්යයක් නෙවෙයි තමයි. ඒ

ත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරද්දී මගේ දෙපස වාඩිවෙන උදවිය පිළිබඳව යම්තාක් දුරකට හෝ අවධානය යොමු කරන්න මට පුරුද්දක් තිබුණා. ඒ විදියට කැලණිය දුම්රිය ස්ථානයේදී මගේ එහා පසින් වාඩිවුණ කාන්තාව ගැන අන් කවරෙකුටත් වඩා වැඩි සැලකිලිමත් වෙන්න හේතුව වුණේ ඇය අතේ තිබ්බ අවුකන බුදුපිළිම වහන්සේගේ චිත්‍රය. 

ඇය මැදි වයසේ පසුවුණු කාන්තාවක්. චිත්‍ර ඇඳීමට මා සතුව කිසිඳු හැකියාවක් නොමැති වුණත් චිත්‍ර රසවිඳීමට ඇති කැමැත්ත නිසා ඇයත් එක්ක කතාවට වැටෙන්න මට ඕනෑ වුණා. 

“නැන්දාමද මේ චිත්‍රේ ඇන්දේ?”

“ඔව් දුවේ.. මේ හැම එකක්ම මගේ අතින්ම තමයි අඳින්නේ.”

එහෙම කියපු ඇය බෑගයක දමා තිබූ තවත් පින්තාරු කළ චිත්‍ර කිහිපයක් මට පෙන්නුවා. 

“එතකොට මේ කොහෙද යන්නේ?”

මම එහෙම ඇහුවේ ඇය චිත්‍ර තරඟයකට හෝ ප්‍රදර්ශනයකට මෙම චිත්‍ර රැගෙන යනවා කියලා හිතුණ හින්දා. නමුත් ඇය මට කීවේ මම පූර්වයේ උපකල්පනය කළාට වඩා වෙනස් කතාවක්.

ඇළහැර ප්‍රදේශයේ උපන් නිර්මලා හේරත් වන ඇය තමන්ගෙ අම්මාත්, තාත්තාත්, අයියාත් එක්ක සාමකාමී සුන්දර ජීවිතයක් ගත කළ තැනැත්තියක්. උපන් ප්‍රදේශයේ සිට පවුලේ සියලුදෙනා සමඟ පසුකලෙක කැලණිය ප්‍රදේශයට පැමිණ තිබුණු නිර්මලා නැන්දා පුංචි සන්ධියේදී තමන්ට චිත්‍ර ඇඳීමට හැකියාවක්වත් තියෙන බව දැනගෙන ඉඳලා නෑ. නමුත් අධ්‍යාපනය හදාරද්දී ඇය විෂයක් විදියට චිත්‍ර විෂය හදාරලා තියෙනවා. කොහොමින් කොහොමහරි අවුරුදු විස්සකට විතර කලින් නිර්මලා නැන්දට උවමනා වුණාලු තමන්ටම කියලා ආදායම් මාර්ගයක් සකස් කරගන්න. එහෙම හිතලා පළවැනි චිත්‍රය ඇඳපු ඇය අදායම් ඉපැයීමේ අරමුණින් දිගින් දිගටම චිත්‍ර චිත්‍ර අඳින්න තීරණය කරලා. 

“මුල්ම චිත්‍රය අඳිද්දිත් මං දැනං හිටියේ නෑ මට මේ තරම් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. 2005 අවුරුද්දෙ තමයි මං මුලින්ම චිත්‍ර විකුණන්න පටන්ගත්තේ. ඒ මට රැකියාවක් වුවමනායි කියලා දැනෙන්න ගත්තට පස්සේ. එදා ඉදන් අද වෙනකල්ම මම චිත්‍ර විකුණනවා.”

ඇය අද වෙනකොට බොහෝ චිත්‍ර ප්‍රමාණයක් විදේශිකයන්ට මෙන්ම ස්වදේශිකයන්ටත් අලෙවි කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍ර ඇඳීම හරහා හොඳ ආදායමක් වගේම ඇය විශාල ආත්මතෘප්තියක් සහ මානසික නිදහසකුත් ලබනවලු. 

උපන්දා ඉඳන් තමන්ගේ තනියට ඉඳපු අම්මා තාත්තා දෙන්නා 2018 අවුරුද්දේ අන්තරා වුණාට පස්සෙ අවුරුදු දෙකක් නිර්මලා නැන්දා ජීවත්වෙලා තියෙන්නේ තමන්ගේ අයියා එක්ක. ඒත් මීට වසර දෙක තුනකට ඉහතදී ඔහුත් සදහටම දෑස් පියාගත් නිසා දැන් ඇය ජීවත් වෙන්නේ තනිවම. 

“අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ අයියත් එක්ක කාලයක් යනකම් මම ජීවත් වුණත්, අසනීප වෙලා එයත් මියගියා. එදා ඉඳන් මම තනියම තමයි ජීවත්වෙන්නේ කැලණියේ බෝඩිමක. බෝඩිමේදී තමයි චිත්‍ර අඳින්නේ. ඒ අඳින චිත්‍ර කෝච්චියේ අරන් ගිහින් කොළඹ තියාගෙන විකුණනවා.”

නිර්මලා නැන්දා චිත්‍ර විකුණන්නේ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට කලා සංගමයක් මගින් පවත්වාගෙන යනු ලබන චිත්‍ර වෙළඳපොළක. බෝඩිමේදී චිත්‍ර ඇඳලා ඇය ඒවා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට තබාගෙන විකුණනවා. ඇතැම් අවස්ථාවලදී විවිධ ගීතවල රූප රචනයන් සඳහාත් නිර්මලා නැන්දාගේ චිත්‍ර යොදාගන්නා බව ඇය මතක් කළේ ආඩම්බරෙන්. ඒ වගේම ස්වදේශිකයන් මෙන්ම විදේශිකයන්ද තමන්ගේ චිත්‍ර මිලයට ගන්නා බවත් ඇය පැවසුවා.

“චිත්‍ර විකුණන එක මගේ මූලිකම රැකියාව විදියට තමා කරන්නේ. රැකියාව විදියට විතරක්ම නෙවේ මට මේ රස්සාව ඇත්තටම විනෝදාංශයක්. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට සඟරාවක් විදියට මගේ මේ චිත්‍ර මුද්‍රණය කරන්නත්. චිත්‍ර අඳින එක ගොඩක් ආශ්වාදජනක කලාවක්. මම හරිම ආසාවෙන් මේ කටයුතුවල නියැලෙන්නෙත්.”

නිර්මලා නැන්දා කොයිතරම් සංයමයකින් තමන්ගේ තෙළිතුඩ මෙහෙයවනවාද කියන්න මේ චිත්‍රවල පින්තූර කදිම නිදසුනක්. ඉතින් මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට ගිහිල්ලා නිර්මලා නැන්දාගෙ චිත්‍ර කුටියෙන් කැමති ඕනම චිත්‍රයක් මිලට ගන්න ඔබටත් පුළුවන්. ඒ වගේම ඕන කෙනෙක්ට නිර්මලා නැන්දාගෙන් තමන්ට කැමති විදියේ චිත්‍ර ඇඳගන්නත් හැකියාව තියෙනවා. ඒකට කරන්න ඕන මහවැලි කේන්ද්‍රයට ගිහිල්ලා ඇයව මුණගැහෙන එක හරි පහත අංකයට දුරකතන ඇමතුමක් දෙන එක හරි විතරයි.  

නිර්මලා හේරත් – 0728057855

පවනි වාසනා