විශේෂාංග

ආශාවරී තහනම් කරන්න කියද්දී අපි ඔක්කෝම ඇඬුවා ‘මැදිරිගිරිය ආශාවරී’ ධරණීට කී කතාව

මෙච්චර පොඩි කෙල්ලෝ ටිකක් ඉන්න සංගීත කණ්ඩායමක් ලංකාවේ වෙන නෑ. ඒක නිසාම මට ඕනේ මැදිරිගිරිය ආශාවරීලංකාවේ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම කරන්න. ලංකාවේ අංක එකේ කාන්තා පත්තරෙන් අපිට කතා කළාට ගොඩාක් ස්තූතියි. ‘ධරණීපොළොන්නරුව ප්‍රදේශයේ හරි ජනප්‍රියයි. ඒ නිසා අපි හිතනවා මේ ලිපියෙන් පස්සේ මේ පුංචි කෙල්ලන්ගේ සංගීත ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා.”

ඒ හරියටම මීට මාස හතකට ඉහතදී පොළොන්නරුව ‘මැදිරිගිරිය ආශාවරී’ සංගීත කණ්ඩායමේ භාරකරු වන එස්.ජී.නාලක ජයලත් අපිට කී කතාවයි. ඔහු එදා එසේ පැවසුවේ ‘මැදිරිගිරිය ආශාවරී’ පිළිබඳ පළමුවරට ‘ධරණී’ පුවත්පතේ පළකළ ලිපිය වෙනුවෙනි. ඔහු කී ලෙසින්ම එතැනින් පසු ආශාවරීලාගේ සංගීත ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වූ අයුරු අපද බලා සිටියෙමු. ඔවුන් වටා ගොඩනැගෙමින් තිබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙස අපද බලා සිටියේ සතුටිනි.

නමුත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටි ‘මැදිරිගිරිය ආශාවරී’ පොඩ්ඩියන්ට පසුගිය දින කිහිපය නම් ගෙවුණේ එතරම් සුබ කාලයක් ලෙසින් නොවේ. වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදාගෙන මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ජාතික ළමාරක්ෂණ අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණි. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පොලිසිය දැනුවත් කර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා මැදිරිගියට ගොස් තිබුණි. ඒ නාලක මහතා හමුවී වහාම ‘මැදිරිගිරිය ආශාවරී’ සංගීත කණ්ඩායමේ කටයුතු නවතා දමන ලෙස දැනුම් දෙන්නටය.

අපි මේ දරුවෝ ටික මේ තත්ත්වයට ගෙනාවේ ගොඩාක් මහන්සිවෙලා. මේ දරුවෝ සංගීතය කළා කියලා එයාලගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් වෙන්නේ නෑ. එහෙම වෙන්න දෙන්නෙත් නෑ. මොකද මමත් ගුරුවරයෙක්. මේ දරුවෝ අධ්‍යාපනයයි සංගීතයයි හරි පිළිවෙලට සමබරව කරගෙන යනවා. අපි මොන බාධක ආවත් මැදිරිගිරිය ආශාවරී නවත්තන්නේ නෑ. ඉදිරියටම යනවා. කවදාහරි ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම වෙලයි අපි පස්ස බලන්නේ.”

එපමණක් නොව මහත් කැපකිරීමක් කරමින් ආශාවරී ගොඩනැගූ අයුරුද නාලක මහතා සිහිපත් කළේ බොහෝ සංවේදී වෙමිනි.

මං කොවිඩ් කාලේ තමයි හිතුවේ ලංකාවේ ළාබාලම සංගීත කණ්ඩායම හදන්න. තවත් වෙනසක් කරන්න ඕනේ නිසා තමයි ඒකට ගෑනු ළමයි විතරක්ම ගත්තේ. මොකද ඒ වෙනකොට අපේ රටේ එහෙම සංගීත කණ්ඩායමක් බිහිවෙලා තිබුණේ නෑ. ඒ විදියට තමයි අපේ ගමේම ගෑනු දරුවො ටිකක් එක්ක මං ආශාවරීබෑන්ඩ් එක පටන්ගත්තේ. අපිට තිබුණේ අවම පහසුකම්. අඩුතරමේ අපට කිසිම සංගීත භාණ්ඩයක්වත් තිබුණේ නෑ. සංගීතය පුළුවන් දරුවෝ හිටියෙත් නෑ. ඒත් එයාලා කෙටි කාලෙකින් සංගීත කණ්ඩායමක් විදියට ගොඩනැගුනා. ඒ දරුවන්ගේ දෙමව්පියොත් මට ලොකු සහයෝගයක් දුන්නා.”

නාලක මහතා පවසන්නේ එතරම් කැපකිරීමක් කරමින් ගොඩනැගූ සංගීත කණ්ඩායම එක්වරම මෙලෙසින් නවතා දමන්නට කියද්දී තමන්ට එය දරාගැනීමට නොහැකි වූ බවයි.

ආශාවරී නවත්තන්න කියද්දි මටත් වඩා මනසින් වැටුණේ බෑන්ඩ් එකේ දරුවෝ ටික. එයාලා හැමෝම නවත්තන්න දෙන්න එපා කියලා ඇඬුවා. එයාලට ඒක දරාගන්න බැරිවුණා. මෙච්චර හොර මැරකම් වෙන රටේ මෙච්චර වංචා දූෂණ වෙන රටේ මේ අහිංසක දරුවෝ ටිකද හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා මට හිතුණා. ඒත් ගීතා කුමාරසිංහ ඇමතිතුමිය වගේම දයාසිරි ජයසේකර අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරලා අපිට ආයෙත් ප්‍රසංග පවත්වන තැනට වැඩකටයුතු හදලා දුන්නා. කලාවේ අගය තේරුම්ගත්තු ඒ අයට ගොඩාක් පින්. කොහොම වුණත් මේ සිද්ධියෙන් පස්සේ අපි හිටියටත් වඩා ගොඩාක් ප්‍රසිද්ධ වුණා.”

ඔහු කී ලෙසින්ම ඔහුටත් වඩා ඒ වේදනාව තදටම දැනී තිබුණේ ආශාවරී පොඩ්ඩියන්ටය. එය අපට හොඳින්ම පැහැදිලි වූයේ ‘ආශාවරී’ සංගීත කණ්ඩායමේ බේස් ගිටාරය වාදනය කරන 12 හැවිරිදි සෙත්මි රුවන්සා දැරිය ‘ධරණී’ට කී කතාවෙනි.

මමයි මගේ යාළුවොයි ආශාවරීඑක්ක හිටියේ ගොඩාක් සතුටින්. කවදාවත් අපි ආශාවරීනිසා ඉස්කෝලේ වැඩ පාඩු කරගෙන නෑ. රෑ ප්‍රසංග තිබුණට අනිවාර්යයෙන්ම උදේට අපි ඉස්කෝලේ ගියා. ඉතින් ආශාවරීනවත්තන්න කියද්දි දරාගන්න බැරිවුණා. අපි හැමෝම ඇඬුවා. අපි ප්‍රසංගයකට ගියාම අපිට හැමෝම ආදරෙයි. කන්න බොන්න පවා ගෙනැත් දෙනවා. ඇත්ත, අපි තාම පුංචියි තමයි. ඒත් අපි ආසයි ආශාවරීඑක්ක ගමනක් යන්න. මං අපිව නවත්තන්න හදන අයට කියන්නේ අනේ අපේ හීන බොඳකරන්න එපා කියලා.”

කෙසේ වුවද දැන් ‘ආශාවරී’ ප්‍රශ්නය සුබවාදී මට්ටමින් නිරාකරණය වී තිබේ. ඊට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ මැදිහත්වීමද අගය කළ යුතුය. ඇය පවසා සිටින්නේ දරුවන්ට නිදහසේ කලාව කරගෙන යාමට ඉඩ ලබාදෙන ලෙසයි.

මේ වෙලාවේ ධරණීගැන කියන්නම ඕන. ‘ධරණීතමයි මැදිරිගිරිය ආශාවරීගැන මුලින්ම ලිපියක් පළකරලා දුන්නේ. ඒ අපි ලංකාවේ පැළවෙන්න උත්සාහ කරපු කාලේ. ඒ ලිපියෙන් පස්සේ අපේ ගමන නොහිතපු විදියට වෙනස්වුණා. ලංකාවම ආශාවරීගැන දැනගත්තා. ඒ දීපු තල්ලුවට ධරණීට ගොඩාක් ආදරෙයි. ඒ වගේම අපි වැටුණු වෙලාවෙත් අපිත් එක්ක අද ඉන්නවා. ඒ වෙනුවෙන්ආශාවරීඅපි හැමෝම ධරණීට ආදරෙයි කියනවා.”

ඒ කතාබහ අවසානයේ නාලක මහතා කී කතාවයි. ඔවුන්ගේ කෘතවේදීත්වයට පෙරලා ස්තුතිය පළ කරන ගමන්ම හෙට දවසේ ප්‍රසංග වේදිකාවල තව තවත් බැබළෙන්නට ‘මැදිරිගිරිය ආශාවරී’ ට සුබ පතමින් අපි කතාබහ නිමා කළෙමු.

***************

ගීතා කුමාරසිංහ

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඇත්තටම ආශාවරීසංගීත කණ්ඩායම නවතන්න කියපු එක වැරදි වැඩක්. දක්ෂ දරුවන්‍ට තමන්ගේ කලා හැකියාවන් ඉදිරියට ගෙනියන්න අපි අතදෙන්න ඕනේ. ඔවුන්ට ලෝකයේ කොහේවත් නීති හදන්න බෑ. කලාව කියන්නේ වෙනම මාධ්‍යයක්. මේ දක්ෂයෝ ටිකට මෙහෙම කරන්න ගියොත් ඒක අපරාධයක්. දන්නවද මං රංගනයට එනකොට මට අවුරුදු දාසයයි. එහෙනම් මමත් ළමයෙක් ඒ කාලේ. මං කියන්නේ ඒ හැකියාව මොට කරන්න එපා. ‘මැදිරිගිරිය ආශාවරීදරුවෝ ටික හරි දක්ෂයි. ලස්සන දරුවෝ ටිකක්. මමත් ඒ අයගේ සිංදු අහනවා, බලනවා. ඒක නිසා මං ඒ දරුවන්ට ගොඩක් ආදරෙයි. මං අද කිව්වා කියලා හිතාගන්න මැදිරිගිරිය ආශාවරීදරුවෝ ටික මේ වැටුණු වැටිල්ලත් එක්ක තව ශක්තිමත් වෙලා ඉදිරියේදී හිතාගන්න බැරි තැනකට එනවා. මං එහෙම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රටේ කලාව කරන කොයි දරුවට ප්‍රශ්නයක් ආවත් ගීතා කුමාරසිංහ නිසැකවම ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා කියන එක මං කියන්න කැමතියි.”

*************

රුවන් එස්.සෙනවිරත්න