Latest News

අටළුගම දැරිය ඝාතනයේ සැකකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්

බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේදී ෆාතිමා අයීෂා නැමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (01) අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවට, “කොත්තු බාස්” නමින් හඳුන්වන මෙම සැකකරු ඊයේ (31) ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසීය ඉල්ලා සිටියේ ඔහු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

කෙසේ වෙතත් සැකකරු පෞද්ගලික ප්‍රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා සිටීමෙන් අනතුරුව භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව අද දිනයේ ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා.

ඒ අනුව සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරු වෙනුවෙන් පානදුර නීතිඥ සංගමයේ නීතීඥයින් පෙනී නොසිටි අතර, නඩු භාණ්ඩයක් ලෙස දැරිය ඝාතනයට ලක්වන අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අටළුගම පදිංචිව සිටි මෙම සැකකරු ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි තිදරු පියෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, පැහැර ගැනීම , ලිංගික අතවර කිරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම හා සාපරාධි බලහත්කාරය පෑම ඇතුළු චෝදනා හයක් යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.