විශේෂාංග

නංගි දැන් හිල් කීයද කියලා පාරෙ යනකොට කොල්ලෝ අහනවා

කන් දෙකට කරාබු දාන අය ඇරුණම ඇස්වලට, ඇහිබැමට, නහයට, දිවට, නාභියට විතරක් නෙවෙයි තමන්ගේ රහස් ප්‍රදේශ ආශ්‍රිතවත් හිල් කරලා කරාබු දාගෙන ඉන්න අය අද කාලේ එමටයි.

සමහර බටහිර රටවල්වල නම් මේ විලාසිතාවට දීලා තියෙන්නේ වෙනමම අර්ථකථනයක්. ඒ අය කියන විදියට ඔහොම ශරීරයේ තැන් කිහිපයකටම කරාබු දාන්නේ අමුතු විදියේ ලිංගික උවමනාවල් ඇති අය සහ ලිංගික බෙලහීනතාවයන් තියෙන උදවියලු. සමහරක්විට අපේ රටේ ඇත්තොත් මේක දිහා ටිකක් වපරැහින් බලන්නෙ ඒ නිසා වෙන්ට බැරි නෑ.

කෙනෙකුගේ කනේ කරාබු දෙකකට වැඩියෙන් තිබුණොත් අදටත් සමහරු ඒ අයව නානාප්‍රකාර විදියට ලේබල් කරනවා. කෙල්ලෙක් නම් ඒකි විලිසංගයක් නැති අම්මණ්ඩියෙක්, කොල්ලෙක් නම් ඌ මදාවියෙක්. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියලා ඕවා දිහා මධ්‍යස්ථව බලන අයත් නැතුවම නෙවෙයි. කොහොම නමුත් මේ දේවල් විවේචනය කළ යුතු දේවල්ද? මේවාද අපේ තරුණ පරම්පරාවේ තියෙන සැබෑ ප්‍රශ්න?

ඔය ගැන කතාකරද්දී මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

ගෑනු දරුවෙක් කනේ කරාබු දෙකකට වැඩිය දැම්මා කියලා හෝ පිරිමි දරුවෙක් කරාබුවක් දාගත්තා කියලා ඒකට කතා කියනවනම් මම දකින්නේ ඒ අය තම තමන්ගේ ජීවිත විඳීමට වඩා විඳවපු අය විදියටයි.

ඕකට මම හොඳ කතාවක් කියන්නම්. මේ මහනුවර පළාතෙම මම දන්න කියන පවුලක බොහොම හැඩකාර දඟකාර දුවෙක් හිටියා. ඇගේ දෙමව්පියෝ දෙන්නා දක්ෂ නීතීඥවරු දෙපළක්. ඒ වෙනකොට මේ කියන දුවත් මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්න ඉගෙනගන්න ගමන් හිටියේ. දෙමව්පියෝ නීතීඥවරු වුණාට ඒ උදවිය මේ දුවව හිර කරලා හැදුවේ නෑ. මම දන්න තරමට ඇයට කැමති විදියට අඳින්න පළඳින්න ගමන් බිමන් යන්න නිදහස දීලා තිබුණා. ඒ නිසාමද මන්දා මේ දැරිවිත් ගමේ අනිත් කෙල්ලන්නට වඩා කැපිලා පේන්න ඇන්දා පැළැන්දා. ලස්සන ඇඳුමක් ඇන්දොත් ඒකේ පාටින් අනිවාර්යයෙන්ම අරුංගල් දෙකකුත් දානවාමයි. ඒ දැරිවිත් ඔය කියන විදියටම කන් දෙකේ උඩ ඉඳන් පහළටම විදලා අරුංගල් දාලා හිටියා.

මගේ මතකේ හැටියටනම් නහයත් විදලා තිබුණා. ඒත් එක දවසක් මට මේ දුවව කඩුගන්නාවෙදි මුණගැහිලා කතා කරද්දි ඔය කියපු අරුංගල් එකක්වත් කන් දෙකේවත් නහයෙවත් පේන්න තිබුණේ නෑ. පස්සේ මම ඒ ගැන අහද්දි ඒ දැරිවි කිව්වා අනේ සර් පාරේ යනකොට ගමේ කොලු කුරුට්ටෝ අහනවා නංගි දැන් හිල් කීයක් විදලද? කියලා.” කොල්ලො නම් තව කොලුකමටයි කියලා හිතමුකෝ. ඒත් අර අහල පහළ වැඩිහිටි ගෑනු උදවියත් මේ දැරිවි යන එනකොට අන්න අර සක්කරවට්ටම එනවයි කියනවා ඒ දැරිවිගේ කනටමත් ඇහිලා තියෙනවලු. ඔය කතාව ඇහුවට පස්සේ මම ඒ දුවට කිව්වා ආපහු සැරයක් අර ගලවපු අරුංගල් ටික දාගන්නය කියලා. ඒ දුවත් ඒක ඒ විදියටම කරලා තිබුණා. මොකද අපි කිසිම කෙනෙක් කාගෙවත් කට කැඩිච්ච කතාවලටයි පද පලිච්චිවලටයි බයේ ජීවත්වෙන්න අවශ්‍ය නෑ. අනික සාමාන්‍යයෙන් දාන අරුංගල් දෙකට වැඩියෙන් තව එකක් දෙකක් වැඩි වුණාය කියලා ගෑනු දරුවෙක්වත්, කාන්තාවක්වත් සක්කරවට්ටමක් වෙන්නේ නෑ.

ඊළඟට ඔය වගේම සිද්ධියකට දවසක්දා මගේ දෙවැනි පුත්‍රයාටත් මූණදෙන්න සිද්ධවුණා.

මගේ පුතාගේ පදිංචිය ජපානේ. දවසක් එයා මාව බලන්න ලංකාවට ආවයින් පස්සේ අපි දෙන්නම මගේ රාජකාරි වැඩකට මොනරාගල යන්න පිටත් වුණා. ඒ යන අතරමගදි පොලිසියේ මහත්තරු කීපදෙනෙක් අපේ වාහනේ නැවැත්තුවා. පස්සේ ඉතින්අනේ මේ අපේ අත්තනායක මහත්තයනේ කියලා ඒ අය මාත් එක්ක ඉතාමත් කුළුපගව කතා කළා. ඒත් මගේ පුත්‍රයා දිහා බැලුවේ හරි අමුතු විදියට. එහෙම බලලා ඒ අය මගෙනුත් ඇහුවා සර් ඇත්තටම මේ සර්ගෙම පුතාද?” කියලා. මටත් එකපාරටම ඒ ගැන හිතාගන්න බැරුව මම ඇහුවා ඔව් රාළහාමි පුතා තමයි. මොකක්ද ප්‍රශ්නේ?” කියලා. බැලින්නම් මේ උන්දැලා ටික එහෙම අහලා තියෙන්නේ මගේ පුත්‍රයා කනට දාලා තිබුණ කරාබු දෙක දැකලා.

ඊටපස්සේ මේ උන්දැලා ටික මාව පෙන්නලා පුත්‍රයාගෙන් අහපි ඇයි පුතා ඔයා ඔහොම කනට කරාබු දාලා මේ වගේ හොඳ අප්පච්චි කෙනෙකුගේ නම්බුව නැති කරන්නෙ?” කියලා. ඒ අහපු ගමන් ම​ගේ එකාත් කියපි මං කරාබුවක් දැම්මේ මගේ කනට මිසක් අප්පච්චිගෙ කනට නෙවෙයිනේකියලා. මම කොයිම වෙලාවකදිවත් මගේ දරුවෙක් වැරදි නම් ඒකට සුදුහුණු ගාපු අප්පච්චි කෙනෙක් නෙවෙයි. ඒත් ඒ වෙලාවෙ ඒ දරුවා නිවැරදි නිසා මමත් නිහඬව උන්නා. මොකද කතාව ඇත්තනේ. ඌ කරාබුවක් දාගෙන හිටියේ ඌගේ කනට මිසක් මගේ කනට නෙවෙයිනේ. අනික ඒකා කරාබුවක් දැම්ම පලියට මගේ නම්බුව නැතිවෙන්නෙ කොහොමද? අන්න ඒකයි මම මේ කතාවේ මුලදිත් පැහැදිලි කළේ අද කාලේ ඉන්න ගොඩක් උදවිය මිනිස්සුන්ව මනින්නේ ඒ අයගේ පිට පෙනුමෙන් මිසක් අභ්‍යන්තරයෙන් නෙවෙයි. සමහරක් විට බාහිරින් ළමාසාරි, සාරි, ඔසරි පටලවගෙන ඉන්න ගෑනු උදවියට වඩා සුදු පාට ජාතික ඇඳුම ඇඳගෙන ඉන්න පිරිමින්ට වඩා මේ වගේ කොල්ලො කෙල්ලෝ සියදහස් ගුණයකින් උගත් වැදගත් වෙන්න පුළුවන්. අනික මම අර මුලින් කියපු කතාවේ ඉන්න දුවත් හොඳ පවුල් පසුබිමක්, උගත්කමක් තියෙන දුවෙක්. ඒත් ඒ දරුවා කනේ වැඩිපුර හිල් ටිකක් විදලා කරාබු දෙක තුනක් දාගත්තු පලියට ගමේ ගෑනු ටිකයි කොලු කුරුට්ටෝ ටිකයි ඒ දරුවව සක්කරවට්ටමක් කියලා ලේබලයක් ගහලා. ඊළඟට මගේ පුත්‍රයත් මම හදලා තියෙන්නේ ඉතාම හොඳ විදියට. ඒත් උන් තරුණයෝ නිසා නවීන පන්නයේ විලාසිතා කරනවා. අනික මගේ කොල්ලා ඌගේ මුළු ජීවිත කාලෙම අත්තනායක එම්.හේරත්ගේ නම්බුව රැකෙන විදියට අඳින්න ඕනය කියලා නියමෙකුත් නෑනේ.

ඉතින් මට කියන්න තියෙන්නේ ගෑනු දරුවෙක් හෝ කාන්තාවක් දෙතුන් තැනකින් කන විදලා කරාබු දාපු පලියට, වැඩිපුර ටිකක් මෝස්‌තර කරපු පළියට ඒ අය විලිසංගයක් නැති අය වෙන්නෙ නෑ. කොල්ලෙක් අරුමෝසම් කළ පමණින් ඌ මදාවියෙක්, සල්ලාලයෙක් වෙන්නෙත් නෑ. ඒ නිසා මේ තරුණ දරුවන් දිහා පිටින් බලලා ලේබල් අලවන එක කරුණාකරලා නවත්වන්න. සමහර වෙලාවට අපි මුට්ට කරගහන එකා, ත්‍රීවිල්කාරයා කියලා පහතට දාන මිනිස්සු තමයි පාරක තොටක උදව්වක් අවශ්‍ය වුණු වෙලාවක මුලින්ම උදව්වට එන්නේ. ඒ වගේම තමයි සිල් ගත්තු තාලෙට ඉන්න සමහර නෝනලාට වඩා ඔය සක්කරවට්ටම් වගේ පේන දුවලා තමයි පාරෙදි මනුස්සයෙක් අතපානකොට රුපියලක් හරි දෙන්නේ. ඒ නිසා මේ ලෝකෙ සියයට සියයක් හොඳ හෝ නරක මිනිස්සු නැති බව දැනගෙන ජීවත් වෙමු.

 

ලිහිණි මධුෂිකා