ඒ කාලෙ පිරිමි සීගිරියට ගියේ ගල බලන්න නෙවෙයි
පොලොන්නරුව රාජධානියේ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා තියෙනවා සුගලා දේවිය කියලා ඉතාමත් රූමත් තරුණියක්. ඒ කාලේ අහල ගම් හතකවත් ඒ තරම් ලස්සන කාන්තාවක් හිටියේ නෑලු. පෙර පිනකට උපතින් ලැබුණු ලස්සන රූපය නිසා අතුපැලෙන් රජමැදුරට ගියපු ගෑනු ගැන එදා මෙදාතුර අපි ඕනතරම් අහලා තියෙනවානේ. මේ කියන සුගලා දේවියත් අන්න ඒ වගේ කෙනෙක්. ඒ කාලේ රජකම් කරපු ශ්‍රී වල්ලභ රජ්ජුරුවෝ ඇගේ රූපෙට වහ වැටිලා ඇයව අගමෙහෙසිය කරගෙන තියෙනවා. එතැන ඉඳන් සුගලා දේවිය සුගලා බිසව බවට පත්වුණාලු. රජතුමා විතරක් නෙවෙයි ඇගේ ලස්සනට වහවැටුණ රට්ටු පවා ඇයට රජතුමාටත් වැඩියෙන් ගෞරව කළා කියලයි ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ. කොහොම වුණත් අර කතාවක් තියෙනවානේ කාලෙකට වාසනව ගේන දේවල්ම තවත් කාලෙකදි හෙණේට හිටිනවයි කියලා. සුගලා බිසවටත් වෙලා තියෙන්නෙ ඒ සංතෑසියම තමයි. ශ්‍රී වල්ලභ රජ්ජුරුවන්ගේ රාජ සභාවෙත් ඉඳලා තියෙනවාලු සුගලාගේ ලස්සනට වහවැටුණ ඇමතියො ටිකක්. ආස හිතුණයි කියලා මොකෝ රජාගේ ගෑනිට අත තියන්න පුළුවනැයි. එහෙම වුණහම ගොඩක් වෙලාවට සමහරු කරන්නෙ කන්න බැරි මිදි තිත්තයි කියන එක. මේ ඇමතියො ටික කරලා තියෙන්නෙත් අන්න ඒ වගේ වැඩක්. ඔවුන් කිසිම හේතුවක් නැතුව සුගලා බිසව තමන්ගේ ලස්සන පාවිච්චි කරලා දුරාචාරයේ යෙදෙන තැනැත්තියක් කියලා බොරු ප්‍රචාරයක් යවන්න පටන්ගත්තලු. ඒ විතරක් නෙවෙයි ඇය වෙසඟනක් කියලත් නින්දා අපහාස කරලා තියෙනවා.
ඔය කිව්වෙ තමන්ගේ ලස්සන නිසාම නිරපරාදේ අවලාද කතා අහගන්න සිද්ධවුණ එක ගැහැනියෙකුගෙ කතාවක්. මේක තවත් එකක්.
වීදිය බණ්ඩාර කියන්නේ ඒ කාලේ ඉඳපු අසාහය රණශූරයෙක්නෙ. ඔහුගේ බිරිඳ තමයි සමුද්‍රා දේවිය. සමුද්‍රා දේවියත් කලින් කතාවෙ හිටපු සුගලා බිසව වගේම ඉතාමත් රූමත් තැනැත්තියක්. ඒ කාලේ ලංකාවේ හිටපු ලස්සනම ගැහැනිය සමුද්‍රා දේවිය කියලත් පරංගීන් ඔවුන්ගේ ඉතිහාස පොත්පත්වල ලියලා තියෙනවලු. ඔය අතරේ ඉඳලා තියෙනවා සමුද්‍රාට අසාමාන්‍ය විදියට ආදරේ කරපු එක පරංගි නිලධාරියෙක්. හැබැයි කොයිතරම් උත්සහ කළත් ඔහුට ඇගේ ආදරය නම් දිනාගන්න ලැබිලා නෑ. ඒකෙන් කිපුණ මේ පරංගි නිලධාරියා අනෙකුත් නිලධාරීන්ගෙත් සහාය ඇතුව වීදිය බණ්ඩාරව කුදලගෙන ගිහින් කෝට්ටේ රාජධානියේ හිරගත කළාලු. ඊටපස්සෙ ඉතින් සමුද්‍රා දේවියටත් තමන්ගේ ස්වාමියාව බේරගන්න තියෙන උවමනාවට අර පරංගියා එක්ක බොරුවට හරි පෙමින් වෙළෙන්න සිද්ධවෙලා. පස්සෙ ඇය ඒ පරංගියා හරහා වීදිය බණ්ඩාරව හිරගත කරගෙන හිටපු හිරකුටියට යන පාර හොයාගෙන තියෙනවා. ඊටපස්සේ ඇය රහසිගතව වීදිය බණ්ඩාරගෙ හිරකුටියට යන්න උමගක් හාරලා තියෙනවා. ඒ හාරපු උමං මාර්ගය දිගේ ගිහින් ඇය තමන්ගේ සැමියාව බේරගත්තා කියලයි සඳහන් වෙන්නේ. ඒත් පස්සේ සිද්ධවෙලා තියෙන්නෙ නොහිතපු දෙයක්. මාව බේරගන්න හරි පරංගියෙක් එක්ක ලගින එක මහ ලොකු හපන්කමක්ද යකෝ කියලා වීදිය බණ්ඩාර ඇයට දඬුවම් කරලා දියවන්නා ඔයේ ගිල්ලවලා මරලා දැම්මා කියලයි කියන්නේ.
මේකත් ඒ වගේම තවත් එකක්.
ගම්පොල රාජධානියේ රජකම් කරලා තියෙන තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ අගබිසව තමයි හෙණකද බිසෝ බණ්ඩාර කියන්නෙ. ඇයත් කලින් කිව්ව අය වගේම ඉතාමත් සුරූපී තැනැත්තියක්. දන්නවද මෙයාගෙ රූපෙට වහවැටිලා තියෙන්නෙ කවුද කියලා? වෙන කවුරුත් නෙවෙයි, කතරගම දෙයියොයි, දැඩිමුණ්ඩ දෙයියොයි. අන්තිමේදි හෙණකද බිසෝ බණ්ඩාරව බෙදාගන්න බැරුව මේ දෙන්නාත් හැමදාම පැටලෙන්න පටන් අරන්. හැබැයි හෙණකද බිසෝ බණ්ඩාර මේ ගැන වගේ වගක් දැනන් ඉඳලා නෑලු. ඒත් දැඩිමුණ්ඩ හිතන් ඉඳලා තියෙන්නෙ කතරගමයා ටිකක් පෙනුමට ඉන්න නිසා තමන්ගෙ ලකුණු කැපෙයි කියලලු. අන්තිමේදි මට නැත්තම් තොට දෙන්නෙත් නෑ කියලා හිතපු දැඩිමුණ්ඩ හෙණකද බිසෝ බණ්ඩාරව මරලා පෙට්ටියක දාලා මහවැලි ගඟට දැම්මලු. පස්සෙ මහවැලි ගඟ දිගේ ගහගෙන ගියපු ඇගේ සිරුර කහටපිටිය ගඟේ දිය නාමින් හිටපු මුස්ලිම් කාන්තාවො ටිකකට හම්බෙලා. ඇගේ ලස්සනට වශී වුණ ඒ උදවිය කහටපිටියෙම පල්ලියක් හදවලා ඒකෙම හෙණකද බිසෝ බණ්ඩාරගේ සිරුර තැන්පත් කළාය කියනවා. අද තියෙන කහටපිටිය මුස්ලිම් දේවස්ථානය ඉදිවෙලා තියෙන්නෙ එදා ඔවුන් හෙණකද බිසෝ බණ්ඩාරගේ සිරුර තැන්පත් කරපු ස්ථානයේ කියලත් කියනවා.
බැලුවම ඔය කතා තුනේම ඉන්න කාන්තාවෝ තුන්දෙනාටම අවසනාවන්ත ඉරණම්වලට මූණ දෙන්න සිද්ධවෙලා තියෙන්නෙ පුරුෂ පාර්ශවය නිසා. සුගලා දේවියගේ ලස්සන නිසා අර ඇමතියො ටික හිතලා තිබුණෙ ඇයව ලේසියෙන්ම වරදට පොළඹවගන්න පුළුවන් වෙයි කියලා. එහෙම බැරි තැන ඇයට අපහාස කළා. සමුද්‍රා දේවියත් ලස්සන නිසාම ඇගේ ස්වාමියා ඇයව විශ්වාස කරලා තිබුණෙ නෑ. අනිත් අතට බැලුවම දෙයියන්ගෙ කියලත් මනුස්සයන්ට වඩා වැඩි වෙනසක් තිබිලා නෑ.
කොහොම වුණත් මුලින්ම ඒ ගැන ටිකක් මතක් කරලා හිටියේ අද අපි කතා කරන්නෙත් කාන්තාවොන්ගෙ ලස්සන දිහා ගෞරවාන්විතව බලන්නෙ කොහොමද කියන කාරණාව ගැන නිසා.
මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා ඒ ගැන කිව්වේ මෙහෙම කතාවක්.
“කාන්තාවන්ගේ ලස්සන ගැන කතා කරනකොට අපි කාටත් මුලින්ම මතක්වෙන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයනේ. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවැනි එක තමයි රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කියන්නේ කාන්තාවන්ගෙම සොයාගැනීමක්. දෙවැනි කාරණය අද වෙනකොට රූපලාවණ්‍යාගාරවලට වැඩිපුරම යන්නෙ කාන්තාවන්. මම නම් කියන්නේ ඒ අය සැලෝන් එකකට ගිහිල්ලා හැඩට වැඩට ඉන්න එකේ ඇති වරදක් නෑ. මොකද එයාලා එහෙම ලස්සන වෙලා සිරියාවට ඉන්නකොට පිරිමි වෙච්ච අපේ ජීවිතත් නිකම්ම එළිය වැටෙනවා. අනික ඔය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය අද වෙනකොට විශාල වශයෙන් මුදල් උපයන කර්මාන්තයක්. ඒකෙන් තරුණ තරුණියෝ කීදෙනෙකුගේ විරැකියාව නැතිවෙලා තියෙනවද? හැබැයි සැලෝන් එකක රස්සාවක් කරන දුවෙක් දිහා ගෞරවයෙන් බලන්න, ඇයට ගෞරවනීය විදියට කතා කරන්න හැමෝටම බෑ. ඇත්තම කිව්වොත් මේක විසිඑක්වැනි සියවස වෙලත් අදටත් ඒ දැරිවියන්ට රෑ හතෙන් අටෙන් පස්සේ බයක් හැකක් නැතුව ඒ තැන්වල රැඳෙන්න, ඒ තැන්වලින් පිටවෙලා යන්න බැරි ප්‍රශ්න තියෙනවා.
හැබැයි ගොඩක් අය දන්නෙ නෑ තවත් කෙනෙක්ව හැඩ කරන එකත් ආඩම්බරකාර වෘත්තියක් කියලා. එහෙම කියන්න තියෙන හොඳම උදාහරණය තමයි අපේ සීගිරියයි, සීගිරි කැටපත් පවුරයි. කාශ්‍යප රජතුමා අතින් සීගිරි බිතුසිතුවම් නිර්මාණය වුණෙත්, කැටපත් පවුර හැදුනෙත් පස්වැනි සියවසේදි. හැබැයි බලන්න ඒ අය එදා සීගිරි ලලනාවන්ගේ අඟපසඟ ඇඳලා තියෙන අපූරුව. ඊළඟට වර්ණ සංකලනය කරලා, කොණ්ඩෙට කටු ගහලා, මලින් සරසලා තියෙන හැඩ. ඒ විතරක් නෙවෙයි තොල් ආලේපන පවා ගාලා තියෙන්නේ අමුතුම කලාවකට. ඒත් ඒ කාලේ අද වගේ සැලෝන් තිබුණෙ නෑ. මේ තරම් දියුණු තාක්ෂණයක් තිබිලත් නෑ. හැබැයි එදා හිටපු පිරිමි උදවිය ගැහැනියව ලස්සනට දකින්න ආසා කරලා තියෙනවා කියන එක නම් පැහැදිලියි.
එදා ඔවුන් ගැහැනුන්ගේ අඩනිරුවතක් වුණත් බොහොම සෞන්දර්යාත්මක විදියට රස විඳලා තියෙනවා. අනික කැටපත් පවුරේ වැඩි හරියක් කුරුටු ගීත ලියැවිලා තියෙන්නේ අර සීගිරි ලලනාවන්ගේ අඟ පසඟ ගැන වර්ණනා කරලා. හරියට බැලුවොත් ඒකත් අද කාලේ උදවිය ඔය ෆේස්බුක්, යූ ටියුබ්වල තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා වගේ දෙයක්නේ. ඒත් එදා ඇත්තෝ අර කැටපත් පවුරේ ගැහැනු රුව ගැන එක අසභ්‍ය වචනයක්වත් ලියලා නෑ. එදා පිරිමි පෝලිමේ සීගිරියට ගියේ ඔය ගැහැනු රුව බලන්න මිසක් ගල් පර්වතය බලන්නම නෙවෙයිනේ. මොකද අපේ උදවිය පටලගෙන තිබුණට සීගිරිය කියන්නේ බලකොටුවක් මිසක ආගමික සිද්ධස්ථානයක් නෙවෙයි.
ඊළඟට මම මේකට තව උදාහරණයක් කියන්නම්. මේ මෑතකදී මට කොළඹ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලකට යන්න සිද්ධ වුණා උසස් පෙළ ඇගයීම් ප්‍රශ්න පත්තර ලකුණු කරන්න. එහෙම ගිය දවස්වලට අපිටත් පාවිච්චි කරන්න වෙන්නේ පාසලේ පිරිමි දරුවෝ පාවිච්චි කරන වැසිකිළිම තමයි. ඉතින් දවසක් මටත් ඒ අයගේ වැසිකිළියකට යන්න වුණා. ඇත්තම කිව්වොත් උන් ඒවා ඇතුළේ ගෑනු ගැන ලියලා තියෙන වගන්ති දැක්කම මගෙ ඇස් උඩ ගියා. ඒකෙන් පැහැදිලියි සමහරක් පාසල් යන වයසේ පිරිමි දරුවොන්ට කාන්තා සිරුර දිහා ගෞරවනීය විදියට බලන්න පුළුවන්කමක් නෑ කියලා. හරිනම් පාසලෙන් තමයි ඒ දේවල් කියලා දෙන්න ඕන.
ඊළඟට මම මේ ළඟදි කෑගල්ල හරහා කොළඹට එන අතරවාරෙදි ප්‍රසිද්ධ මෙට්ට සමාගමක් විශාල ගල් පර්වතයක් මුදුනේ සවි කරලා තිබුණු දැන්වීම් පුවරුවක් දැක්කා. ඒකෙ නිරූපිකාව දැන්වීමට පෙනී ඉඳලා හිටියේ රෑ ඇඳුමකින් උඩුබැලි අතට නිදාගෙන. හැබැයි ඒ දිහා බලාගෙන ඉන්න බැරි අමාරුවක් තිබිලා තියෙන මොකක්හරි එකෙක් කොහොමින්හරි අර ගල් පර්වතය මුදුනට බඩගාලාද මන්දා මහවිශාල ලී දණ්ඩකින් ඇයගේ රහස් ප්‍රදේශයට ඇනලා එතැනම කළු තීන්තවලින් අමුම අමු තිත්ත කුණුහරප ටිකක් ලියලා තිබුණා. දැන් පැහැදිලියිනේ සමහරක් පිරිමි ගැහැනු රස විඳින්න පුරුදු වෙලා ඉන්න විදිය.
ඇත්තටම අද ලිපියෙන් දුවලාටත් වැඩිය අපේ තරුණ පුතාලට ගන්න දෙයක් ඇති කියලා මට හිතෙනවා. මොකද ඉදිරි පරම්පරාව කාන්තාව දිහා ගෞරවයෙන් බලන්න පුරුදු වුණේ නැත්නම්, ඇගේ සුන්දරත්වය අගය කරන්න පුරුදු වුණේ නැත්නම් ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්.
අවසාන වශයෙන් මම අපේ තරුණ පුතාලට කියන්නේ ගැහැනියකගේ රුව ලස්සනට දැකපල්ලා. ඒ ලස්සන කේවල් නොකර අගය කරපල්ලා. ලස්සන කෙල්ලෙක් තමන් දිහා නොබලපු පලියට ඒ කෙල්ලට ලේබල් ගහන එක නතර කරපල්ලා. මොකද ඇය සුන්දරව ඉන්න තරමටම තමයි පිරිමි අපේ ජීවිත වැඩි වැඩියෙන් ලස්සන වෙන්නෙ.
දුවලටත් මම කියනවා පිරිමි කට කැඩිච්ච කතා කිව්ව පලියට ඒවාට සැලෙන්න එපා. ඒවගෙන් දුවලා රිද්දගන්න බව දැක්කොත් තමයි ඒ අයගේ සතුට තියෙන්නේ. ඒ නිසා ඒ වගේ පහත් සතුටක් විඳින්න බලාගෙන ඉන්න පිරිමින්ට ඒ අවස්ථාව දෙන්න එපා. පුළුවන් තරම් හැඩට ඉන්න. තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා නොකරනතාක් තමන් කැමති විදියේ විලාසිතා කරන්න.
ලිහිණි මධුෂිකා