විශේෂාංග

අවුරුදු කෑම මේසෙට කෙසෙල් කිරිබත් ආවේ අල්ලපු රටේ උදවිය අනාචාරයේ හැසිරුණු නිසාලු

ඉන්දියානු කතාවක බොහොම ආදරෙන් පවුල් ජීවිතය ගත කරපු තරුණ යුවලක් ගැන සඳහන් වෙනවා. ගොවිතැන් බත් කරලා තමයි මේ දෙන්නා ජීවත්වෙලා තියෙන්නේ. ඔහොම ඉන්දැද්දි ඒ අයගේ නැකත් කෙලි උත්සව කාලේ ආරම්භ වුණාලු. ඔය නැකත් කෙලියත් හරියට අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වගේ එකක්. අපි අලුත් අවුරුද්දට කරන ගෙවල් දොරවල් අලුත් කිරීම, අලුත් ඇඳුම් ආයිත්තම් ගන්න එක, නෑගම් යන එක විතරක් නෙවෙයි ඒ අයත් කැවිලි පෙවිලි පවා හදනවලු. මේ කියන කුමාරයත් නැකත් කෙලිය දවසට අඳින්න එයාගේ බිරිඳට ලස්සන ඇඳුමක් ගෙනත් දීලා තියෙනවා. ඒත් ඇය නම් ඒ ඇඳුමට පොඩ්ඩක්වත් කැමති වෙලා නෑ. ඒ වෙලාවේ ඇය ඔහුට කියලා තියෙනවා ඒ ඇඳුම අඳින්න ඕන නම් රාජකීය මල්වත්තේ තියෙන වනික් මලේ පාටින් සායම් කරලා දෙන්න කියලා. ඒ කිව්ව ගමන් මේ මෝඩ කුමාරයත් බිරිඳට තියෙන ආදරේ නිසා වනික් මලක් හොරකම් කරන්න රජාගේ වත්තට පැනලා. ඒත් කරුමෙක මහත කියන්නේ මල කඩාගන්නකොටම ඔහුව රාජපුරුෂයින්ට අහුවෙලා. පස්සේ ඔය සිද්ධිය නිසා ඔහුව උල තියලා මරලා තියෙන්නේ ඔය කියන නැකත් කෙලිය උත්සව දවසෙදිමලු.

ඔය කතාව ටිකක් මතක් කරලා හිටියේ අපේ සිංහල අලුත් අවුරුද්දත් ඔය නැකත් කෙලියට ඉතාමත් සමීපයි කියලා හිතුණ නිසා. අනික සිංහල හින්දු අලුත් අවුරුද්දත් අපිට ඇවිත් තියෙන්නේ ඔය නැකත් කෙලියෙන්ම වෙන්නත් බැරි නෑ. මොකද දුරාතීතේ ඉඳලම සිංහල අලුත් අවුරුද්දත් නැකත් කෙලිය කියන නමින්ම හඳුන්වනවනේ.

අනික ඉන්දියාවේ හරප්පා ශිෂ්ටාචාරයට අනුව ජීවත්වුණ උදවියත් එදා මේ විදියේ නැකත් මංගල්‍යයක් පවත්වලා තියෙනවලු. හැබැයි ඒක මීට වඩා ටිකක් වෙනස්. ඒ උදවියට එදා දවසෙදි තමන් කැමති ඕනම ගැහැනියෙක් පිරිමියෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න අවසර තියෙනවලු. ඒ නිසා ඒ උදවිය එදාට සූදානම් කරන කෑම මේසෙට ස්ත්‍රී නිමිත්ත සහ පුරුෂ නිමිත්ත සංකේතවත් වෙන විදියේ කෑමබීම යොදාගත්තලු. එතැනදී ඔවුන් කිරිබත්වලටයි, කෙසෙල් ගෙඩිවලටයි ප්‍රධාන තැනක් දීලා තියෙනවා. කිරිබත් කැටේ ත්‍රිකෝණ හැඩයට කපලා තියෙන්නේ ස්ත්‍රී නිමිත්ත සංකේතවත් කරන්නලු. එතකොට කෙසෙල් ගෙඩිවලින් සංකේතවත් කරලා තියෙන්නේ පුරුෂ නිමිත්තලු. එහෙම බැලුවම අපේ අවුරුදු මේසෙට ත්‍රිකෝණාකාර කිරිබත් කැටයි, කෙසෙල් ගෙඩියි එකතු වුණේ හරප්පා ශිෂ්ටාචාරයෙන් වෙන්නත් බැරි නෑ.

 

‘නව බග් ලසන්ද් දුක්

මිනිස ක් හු නො වජන්’

 

ඔය තියන්නේ පස්වැනි සියවසේ තරුණයෙක් කැටපත් පවුරේ ලියලා තියෙන කුරුටු ගීයක්.

මේකේ තේරුම, මම බක් මාසේ නව සඳ බලපු තරුණයෙක්, අනේ සීගිරි ලලනාව මට කැමැත්ත දෙන්න කියන එකලු.

එහෙම බලනකොට අපේ සිංහල අලුත් අවුරුදු නැකත් පත්‍රයේ තියෙන නවසඳ බැලීමේ චාරිත්‍රය පස්වැනි සියවසේ ඉඳලම පැවතගෙන ආපු එකක් කියලත් කෙනෙකුට හිතන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වෙන්නේ සිංහල අපිටත් මේකට දුර අතීතයේ ඉඳලම නෑකමක් තියෙන විත්තියක්.

ඊළඟට අපි අවුරුදු කෑම මේසේ පැත්තට ටිකක් හැරිලා බලමු. මේ කෑම මේසේ වුණත් තියෙන්නේ අපිටම ආවේණික වුණ කෑම වර්ග නෙවෙයි. ඒකටත් විවිධ ජාතීන්ගේ කෑමබීම එකතුවෙලා තියෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා. උදාහරණයක් විදියට කේක් කියන්නේ අපිට පෘතුගීසින්ගෙන් ලැබුණු දෙයක්. කොකිස් ලැබිලා තියෙන්නේ පරන්ගීන්ගෙන්ලු. ඔය ටොපි, චොක්ලට්, මාස්මෙලෝස් වගේ කෑම අරන් ඇවිල්ලා තියෙන්නේ ලන්දේසීන් කියලයි කියන්නේ. හැබැයි කැවුම් කියන්නෙනම් අපේ ඇත්තන්ගෙම රසවත් කෑමක්. මොකද දුටුගැමුණු රජතුමා යුද්ධෙට ගිහින් ඇවිත් කකුල්වල ඇතිවුණු තුවාලවලට බෙහෙත් විදියට ගැටගහලා තියෙන්නෙත් කැවුම්ලුනේ. මේ කරුණු කාරණා එකින් එකට සලකලා බලනකොට අද අපි අපේ කියලා සමරන සිංහල හින්දු අලුත් අවුරුද්ද සිංහලයාගෙම සංස්කෘතික උත්සවයක්ද කියලා කතා කරලා බලන්න හිතුණා.

මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

ඇත්තටම මට හිතෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සිංහල බෞද්ධ අපිටම ආවේණික වුණ සංස්කෘතික උත්සවයක් නෙවෙයි කියලා. ඒක සියලුම ජාතීන්ට අයත් ලෞකික සංස්කෘතික මංගල්‍යයක් කියලයි මමනම් කියන්නේ. මේකට සිංහල බෞද්ධකම ගෑවිලා තියෙනවානම් ඒක වෙන්නේ නානු ගෑමයි හිසතෙල් ගෑමයි නිසා කියලා මම කියනවා.

හරි, සිංහල අලුත් අවුරුද්ද අපේය කියන තැනින්ම අපි කතාව පටන්ගමුකෝ. අපේ සිංහල ඇත්තෝ තමයි මේක සූර්ය මංල්‍යයය විදියට හඳුන්වන්නේ. හේතුව සිංහල අවුරුදුදාට අපි සූර්ය නමස්කාරයට ඒ කිව්වේ ඉර දෙවියන්ට මුල්තැනක් දීලා කටයුතු කරන නිසා. අනිත් කාරණාව සිරිපා කරුණා කරන්නෙත් උදුවප් පෝයේ ඉඳලා බක් මාසේ පෝය පහුවෙනකල් විතරයි. ඒ විතරක් නෙවෙයි එදා සහ අද උදවිය සිරිපා කරුණා කරන්න ගියේ සූර්ය නමස්කාරයටත් එක්කමයි. එහෙම බැලුවොත් සිංහල අලුත් අවුරුද්ද අපිට අයිති නැති දෙයක් කියලා කාටවත් කියන්න බෑ.

ඊළඟට තව සමහරු කියනවා සිංහල අලුත් අවුරුද්ද අපිට ලැබිලා තියෙන්නේ කාලිංඝ මාඝගෙන් කියලා. ඇත්තටම ඒකට එහෙමයි කියන්න ඉතිහාසයේ අද වෙනකල් කිසිම සාක්ෂියක් ලැබිලා නෑ. සිංහල අවුරුද්දට දෙමළ උදවියගේ පොඩිහරි සම්බන්ධයක් හැදිලා තියෙනවානම් එහෙම වෙලා තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ දෙමළ භාර්යාවොත් අවුරුදු සමරපු නිසා කියලයි ඉතිහාස පොත්පත්වල තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි ඒ කාලේ පෘතුගීසින් ජාතික සමගිය ඇතිකරවීමේ අරමුණින් සිංහල අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා වෙනස් කළා කියලත් ඒ පොත්පත්වලම සඳහන්වෙලා තියෙනවා. එතකොට මේක දෙමළ ජාතිකයන්ට අයිති එකක් නෙවෙයි කියලත් තවත් කෙනෙකුට කියන්න බෑ.

ඊළඟට අපි හැරෙමුකෝ කතෝලික උදවියගේ පැත්තට. මම නම් හිතන්නේ අවුරුදු කෑම කියන සංකල්පය අපි වැළඳගෙන තියෙන්නේ ඒ උදවියගෙන් කියලා. මොකද ඒ ඇත්තෝ එදා ඉඳලම නත්තල අර්ථනිරූපණය කරන්නේ ‘නත්තල් කෑම’ කියලා.

අනික අපේ උදවිය අවුරුද්දදාට අනුභව චාරිත්‍රය ඉෂ්ට කළේ ගෙදරම පොඩියට තේ මේසයක් පිළියෙල කරගෙන. ඒකට එකතු කරගත්තේ බොහොම සරල කැවිලි පෙවිලි ටිකක් විතරයි. හැබැයි පස්සේ කාලෙකදි දවල්ට තේ මේසයක් සූදානම් කළාට රෑට බටහිර පන්නේ කෑම ටික එකතු කරගෙන රාත්‍රී සාද පවත්වන්නත් අපේ ඇත්තෝ පටන්ගත්තා. එහෙම බලනකොට ඔය සාද කෙලිය අපි වැළඳගත්තෙත් කතෝලිකයන්ගෙන් කියලා කියන්න පුළුවන්. මොකද අවුරුදු චාරිත්‍ර ඇරුණම අවුරුදු පාටි කියලා දෙයක් සිංහල අපිට තිබුණේ නෑ.

එහෙම බලනකොට සිංහල අලුත් අවුරුද්දට කතෝලිකයන්ගෙත් යම්කිසි ඥාතීත්වයක් තියෙන්න පුළුවන්.

ඒ වගේම අර කතාවේ මුල කියලා තියෙන හරප්පා ශිෂ්ටාචාරයෙන් ලැබුණු ලිංග නිමිති සංකල්පය නිසා ඒ අයව පැත්තකට කරන්නත් බෑ.

ඉන්දියාවේ නැකත් කෙලියට සමාන සිරිත් විරිත් නිසා ඒ අයව මගඇරලා යන්නත් බෑ.

මේවත් එක්ක බලනකොට මට නම් හිතෙන්නේ සිංහල අලුත් අවුරුද්දට අපි සිංහල බෞද්ධකම එල්ලගෙන තියෙන්නේ පිටින් කියලා. හැබැයි ඉන්දියාවේ නැකත් කෙලියටත්, හරප්පා ශිෂ්ටාචාරවලටත්, දෙමළ සහ කතෝලික උදවියට අනුවත් මේක විනෝදාස්වාදයට වෙන්වුණු උත්සවයක් විතරයි. ඒත් අපි සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ ඊට වඩා සංස්කෘතික වටිනාකමක් තියෙන විදියට. අන්න ඒ නිසා මම කියන්නේ මේක අපිට කොහෙන් කොහොම ලැබුණත් ඒකෙන් අපිට ගන්න තියෙන හරය ඇරෙන්න ආගිය තැන් හොය හොය ඉන්න අවශ්‍ය නෑ. මොකද අවුරුද්දට ගෙයක් පිරිසිදු කරනවානම්, නැකතට පන්සලකට ගිහිල්ලා වැඳලා ආශිර්වාද ගන්නවානම්, අවුරුද්දට එක දවසක් හරි ගම්තුලාවට ගිහිල්ලා තමන්ගේ නෑ සනුහරේ බලලා එන්න පුළුවන්නම් ඒකේ හොඳක් මිසක් නරකක් නෑ. ඇත්තම කිව්වොත් බක්මහ කියන්නේ අපේ උදවියගේ අතුපැලේ ඉඳලා මහමන්දිරේ වෙනකල්ම හිතවත්කම් නෑදෑකම් අලුත්වෙන කාලයක්. ඒක නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙදා පාර සිංහල හින්දු අලුත් අවුරුද්ද ජාති ආගම් කුල භේද පැත්තකට දාලා සතුටින් සාමදානයෙන් සමරන්න අපි කටයුතු කරමු කියලා.

එහෙනම් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!

 

ලිහිණි මධුෂිකා