අලුත් ඇඳුම් ඇඳගෙන පරණ වන්නම නටමුද?
‘පිටරටින් එන සාල නැවතුණි නම්
අපට කෑම නැත
පිටරටින් එන රෙදි නැවතුණි නම්
අපට විලි වැස්මක් නැත
පිටරටින් එන යාන නැවතුණි නම්
අපට ගමන නැත
කොටින්ම පිටරට පිහිට නැත්නම්
අපට කිසිවක්ම නැත
ඒ නිසා පරණ වූ අලුත් අවුරුද්දකින් අපට කිසිඳු පලක් නැත’
මුනිදාස කුමාරතුංගයන් මෙහෙම කියලා තියෙන්නේ 1941 දී එතුමගේ මූලිකත්වයෙන් පටන්ගත්තු ‘හෙළ ජාතික හවුල’ සංවිධානය සමාරම්භක අවස්ථාවේදී. ඔහු මේ සංවිධානය ආරම්භ කරලා තියෙන්නෙත් ඒ වෙනකොට විශාල තර්ජනයකට ලක්වෙලා තිබුණු සිංහල ජාතියත් සංස්කෘතියත් රැකගැනීම් අරමුණින්ලු.
කුඹුරු ටික අස්වද්දන්නෙ නැතුව සුද්දා හාල් ටික එවනකම් උඩ බලාගෙන ඉන්නකොට, විලි වහගන්නෙත් උන්දැලාගෙ වස්තරෙන්කොට, උජාරුවට යන්නෙ උන්දැලගෙන් ගෙනාපු වාහනවලින්කොට, පරණ අවුරුද්ද ගෙවෙනකොට නාලා, පරණ ඇඳුම විතරක් මාරු කළාට අවුරුද්දක් අලුත් වෙනවද කියලයි මේ අහන්නේ.
‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
හිඟා කෑම බැරිවුණ තැන ලගී ගයා මර ගී
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නොනැගී
මග දද ගණ උපදින කලැ පර දෑ අතගී’
මේකත් එතුමා අතින්ම ලියැවුණු කවියක්. ඒ කාලේ පැරණි උදවිය අලුතෙන් හිතලා තමන්ටම ආවේණික වුණු අලුත් දේවල් හොයාගත්තා. ඒ නිසා එදා ඇත්තන්ගෙන් රටට වගේම ජාතියටත් පලක් තිබුණා. ඒ නිසා රට වගේම මිනිස්සුන්ගේ ජීවිතත් දවසින් දවස ඉස්සරහට ගියා. ඒත් ඉදිරියට බිහිවෙන අලුත් පරම්පරාවේ වැඩි හරියක් දෙනා උත්සාහ කරන්නේ අනුන්ගේ පානින් එළිය දකින්න විතරයි. හැල්මේ දුවන ලෝකයත් එක්ක ඒ ඇත්තන්ට අලුතින් හිතලා අලුතින් දෙයක් කරන්න වෙලාවක් වගේම උවමනාවකුත් නෑ.
ඉතින්, පලකට ඇති වැඩක් නොකොට රට්ටුන්ට පේන්න විතරක් චාරිත්‍ර වාරිත්‍ර කරගෙන කාලා බීලා විතරක් සතුටුවෙන ජාතියකට අවසානේ බඩගින්නේ මැරෙන්න සිද්ධවෙනවා කියලයි මේ කියන්නේ.
ඔය කතා දෙක අහනකොට කෙනෙකුට එකපාරම හිතෙන්න පුළුවන් අපිත් කරන්නේ මේකම නෙවෙයිද කියලා. ගොඩක් උදවිය අලුත් අවුරුද්දට ගෙවල් අලුත් කරන්න පටන්ගන්නේ සති ගාණක ඉඳන්. ඊටපස්සේ අලුත් අවුරුද්ද දවසෙ නැකතට අඳින්නයි, අවුරුද්දෙන් පස්සේ රස්සාවට යන්නයි වෛවාරණ ඇඳුම් පැළඳුම් ටිකකුත් ගන්නවා. එතැනින් නවතින්නේ නෑනේ. නෑදෑ හිත මිත්‍රාදීන්ට දෙන්න තෑගි බෝග පවා අරගන්නවා. ඊටපස්සේ නැකතට කිරි උතුරවලා, කැවුම් කිරිබත් කාලා රතිඤ්ඤා පත්තු කරලා සුබ මොහොතින් අලුත් අවුරුද්දක් පටන්ගන්නවා. මේ කියන්නේ එහෙම කරන එක වැරදියි කියලා නම් නෙවෙයි. හැබැයි එහෙව් උදවියම එදාට පහුවදා ඉඳන් ආපහු වැඩ කරන්නෙ, හිතන්නෙ පතන්නේ අර පරණ පුරුදු විදියටමයි. එහෙම වුණාහම ඒ ජීවිතවල දියුණව සාර්ථකත්වයත් පරණ තැනම නවතිනවා. කොටින්ම කියනවා නම් ගොඩක් උදවිය අවුරුද්දට පස්සෙ ආපහු සැරයක් ගත කරන්නේ අලුත් නොවුණු පරණ අවුරුද්දක්ම තමයි.
එහෙමනම් අපි මේ උදාවුණ අලුත් අවුරුද්ද සැබෑම අලුත් අවුරුද්දක් කරගන්නෙ කොහොමද?
ඒ ගැන මේ කතාබහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා සමඟින්.
මුනිදාස කුමාරතුංග මහත්තයා එදා ඔය කියලා තියෙන කතා ටික අද කාලෙටත් හරියටම ගැලපෙනවා. ඒ විතරක් නෙවෙයි එදා රජගොල්ලොත් ඔය ටික ඔය විදියටම කියලා තියෙනවා.
මොකද අද ගොඩක් උදවිය අවුරුද්දට අලුත් කරන්නේ ගෙදර තීන්ත ටිකයි, දොර ජනෙල්වල තිරරෙදි ටිකයි, අඳින ඇඳුම් ටිකයි විතරයි.
ඊටපස්සේ සමහරු අවුරුද්දෙන් පස්සේ අර තිරරෙදි ටිකත් ගලවලා ආපහු සැරයක් පෙට්ටගමටම දාලා වහනවා. අවුරුදු දාට විරතක් මූනිච්චාවට හිනාවෙලා කතා කරපු මූණු ටික ආපසු සැරයක් පරණ විදියටම ඇකිළෙනවා.
රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා රැකියා කරන උදවිය පුරුදු විදියටම උදේට ගිහින් රෑට ගෙදර එනවා. අලුත් දෙයක් හිතන්න කරන්න ඒ සමහරුන්ට උවමනාවකුත් නෑ. උනන්දුවකුත් නෑ. ඒත් එදා ඇත්තො මහන්සි වුණේ අලුත් අවුරුද්දට අමුඩ ලේන්සුවයි, රෙද්දයි හැට්ටෙයි අලුත් කරගන්න විතරක්ම නෙවෙයි. ඔවුන් ක්‍රියාවෙනුත් අලුත් වෙලා පෙන්නුවා. පරණ අවුරුද්දට වඩා වැඩියෙන් අලුත් අවුරුද්දෙදි හාල් සේරුවක් හරි ගෙට ගන්නයි ඒ උන්දැලා මහන්සි වුණේ. අක්කර ගණන් හේන් ගොවිතැන් කරලා සුද්දටත් කන්න මුහුදෙන් එහාට කෑම ටික යැව්වා. ඒකනෙ අර සිංදුවකුත් තියෙන්නෙ ‘අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ’ කියලා.
ඊළඟට එදා රජදරුවෝ වුණත් තමන්ගේ පාලන කාලය තුළ රටට දෙයක් කරලා තියෙනවා කියන එකට ඉතිහාසයත් සාක්ෂි දරනවා.
උදාහරණයක් විදියට කාශ්‍යප රජ්ජරුවෝ හදපු සීගිරියෙන් අදටත් අපි තවමත් ආදායම් උපයනවා. පරාක්‍රමබාහු රජතුමාගේ පරාක්‍රම සමුද්‍රයෙන් දවසකට කොච්චර අදායමක් ලබනවද? අන්න එහෙමයි එදා උත්තම රජගොල්ලො අවුරුද්දෙන් අවුරුද්දට ක්‍රියාවෙන් අලුත් වුණේ.
ඕකට මම තව උදාහරණයක් කියන්නම්.
මහනුවර පළාතෙ මම හොඳට දන්න ව්‍යාපාරික මහත්තයෙක් ඉන්නවා. උන්දැගේ ව්‍යාපාරය තමයි ප්‍රාදේශීය මට්ටමෙන් පාරවල් හදන්න ආණ්ඩුවේ කොන්ත්‍රාත් ගන්න එක. දවසක්දා මට ඒ උන්දැව මුණගැහුනා ගමේ පිරිත් ගෙදරකදි. ඒ වෙලාවේ මම ඇහුවා “කොහොමද මහත්තයෝ අවුරුදු එහෙම? මොනවද කරන අලුත් වැඩ?” කියලා. ඒ වෙලාවේ ඔහු ගත්කටටම කිව්වේ “මොන අලුත්ද සර්. කලින් ඈයෝ ගල් අල්ලපු පාරක්වත් හොයාගෙන අලුතෙන් ගල් ටිකක් අල්ලගත්තොත් ගොඩ” කියලා.
ඕන් ඔහොමයි අද උදවිය අවුරුදු අලුත් කරගත්තේ.
ඒ නිසා මගේ ආදරණීය දුවලා පුතාලා හැමෝටම මේ කියන්නේ දැන් අවුරුද්ද අපි සමරලා ඉවරයි. ඒ නිසා ඔය අලුත් ඇඳුම් පැළඳුම් ගත්තා වගේම දැන් ටිකක් අලුත් විදියට හිතන්න. අලුත් අවුරුද්දක අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙන්නේ සිතුම් පැතුම් සහ ක්‍රියාවන් අලුත් වුණහම. ඉගෙනගන්න දරුවෙක් නම් ආපස්සට හැරිලා බලන්න පරණ අවුරුද්ද ඉවරවෙනකොට තමන් කොයිතරම් දුරට සාර්ථක වෙලාද කියලා. රැකියාවක් කරන කෙනෙක් නම් වෙලාව කළමනාකරණය කරගෙන තව අමතරව ආදායමකුත් ලබාගන්න කොහොමද කියලා හිතන්න. ඊළඟට කවුරුහරි කෙනෙක් තමන්ගෙම ව්‍යාපාරයක් කරනවානම් පහුගිය අවුරුද්දට වඩා අලුත් අවුරුද්දේ තමන්ගේ ව්‍යාපාරයට අලුත් යමක් එකතු කරගන්න විදියක් ගැන හිතන්න. එහෙම නැතුව නැකතට වැඩ කරලා අවුරුද්ද පුරාම පරණ වන්නම නැටුවට පලක් නැහැ.
අනිත් එක තමයි එදා ඉඳලා අද වෙනකම් ගොඩක් උදවිය අවුරුද්දක් ලබනකොටම කියන්නේ තරහා මරහා අමතක කරගන්න කියන එක විතරයි. කවුරුත් කා ගැනවත් තියෙන තරහක් අමනාපයක් නැති කරගන්න නැකතක් ලබනකන් ඉන්න ඕන නෑ. ඒ ආකල්පය පරණයි කියලයි මට නම් හිතෙන්නේ.
අවසාන වශයෙන් මම කියන්නේ අලුත් විදියට හිතලා වැඩ කරමු. අලුත් පටන්ගැන්මකින් අලුත් සාර්ථකත්වයක් ළඟා කරගමු කියන එක.
ලිහිණි මධුෂිකා