විශේෂාංග

හුන්නස්ගිරි දෙවඟන වගේ ඒ දුව ආපහු නොඑන්නම ගියා

සුගත් සහ රූපා කියන්නේ සෑහෙන කාලයක් පෙමින් බැඳී හිටිය දෙන්නෙක්. මේ දෙන්නා නිතර නිතර මුණගැහුනේ මහියංගණ මහා විහාර භූමියේදී. සුගත්ට ස්ථිර රස්සාවක් තිබුණේ නෑ. රූපත් රැකියාවක් කළේ  නෑ. හැබැයි ඒ දෙන්නා දෙන්නට හරි ආදරෙයි. එයාට මෙයා නැතුවත් බෑ. මෙයාට එයා නැතුවත් බෑ. ඔහොම ඉන්නකොට මේ ගෑනු ළමයට ගෙදරින් විවාහ යෝජනා ගේන්න පටන්ගත්තා.

ඒත් ඇයට තමන්ගෙ පෙම්වතා දාලා යන්න හිත හදාගන්න බෑ. ඉතින් මේ දෙන්නා මේ ප්‍රශ්නය ගැන දිගින් දිගටම කතා කළා. කිසිම විසඳුමක් නැති වෙද්දීත් ඇගේ යටි සිත කිව්වා පෙම්වතා මොකක්හරි විදියක් හදාගෙන තමන්ව කොහේහරි එක්කරගෙන යයි කියලා. ඒත් දුව දන්නවද? සුගත්ට එහෙම උවමනාවක් තිබුණේ නෑ. මහියංගණ විහාර භූමියේදි මුණගැහිලා කතාකරන හැම දවසකම ඇය ඇහුවේ සුගත් අපි මොකද කරන්නෙ කියලා. ඒ හැම වෙලාවකම බලාගත්ත අතේ බලාගෙන හිටියා මිසක් සුගත් වචනයක්වත් කිව්වෙ නෑ. එහෙම වෙලාවට මේ දුව කියනවා සුගත් ඔයා දන්නවනෙ මට තව කෙනෙක් එක්ක යන්න බැහැ දැන්. ඒ මිනිහා මඟුල් දා රාත්තිරියෙම මාව එළවයි. අනෙක අපි දෙන්නා යාළුයි කියලා මේ පළාතෙ ඔක්කොම දන්නවා. ඒ කේලම් ටිකත් පස්සෙ කනට යයි. ඒ හින්දා මොනවහරි කරන්න ඔය විදියට කතාවෙලා ඇස්වල කඳුළු පුරෝගෙන වෙන්වෙනවා ඇරෙන්න විසඳුමක් තිබු‍ණේ නෑ. දවසක් මහියංගණේ මහ සමන් දේවාලයට ගිහිල්ලා දෙන්නම භාරයකුත් වුණා.

තව දවසක් රූපා කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා රාජාංගණේ. එයා කිව්වා අපි දෙන්නට ඒ පැත්තට එන්න කියලා. ඉන්න තැනකුයි කරන්න වැඩකුයි එයා හොයලා දෙන්නම් කිව්වා. ඉතින් අපි යමුද සුගත්?”

අපෝ රූපා අපේ අම්මටයි තාත්තටයි ඉන්නෙ මං විතරයි. මට ඒ දෙන්නා දාලා මහියංගණෙනේ ඈතට යන්න බැහැ. අපි කොහොමහරි මෙහෙන් රස්සාවක් හොයාගමු.” ඒත් දුවේ සුගත්ට ඒ හැටි අධ්‍යාපනයක් තිබුණේ නෑ. රිය පදවන්න බලපත්‍රයක්වත් නැහැ. ඉතින් කුලී වැඩක් කරනවා හැරෙන්න රස්සාවකුත් නැහැ. අතපය හොල්ලලා වැඩක් කරන්නත් බැහැ. ඒ දුව දවසක් එයාගේ පෙම්වතාට අපූරු කතාවක් කියලා දුන්නා. “මහියංගණයට උඩින් 18 වංගුව මුල හරියේ තියෙනවා හුන්නස්ගිරිය කියලා ගමක්. ඔය ගමේ ඉඳලා තියෙන්නේ මහ අලස මිනිස්සු ජාතියක්. හුන්නස්ගිරිය කියන්නේ ලංකාව් තියෙන ලස්සනම පැත්තක් වුණාට පළාතම පාළුවෙලා මිනිස්සුන්ට කන්න බොන්නත් නැතුවයි හිටියෙ.” සුගත් හැඟීමකින් තොරව මේ කතාව අහගෙන හිටියා. සුගත්ට වැටහුණේ නෑ රූපා මේ මොනවද කියන්නෙ කියලා. මේ කතාව අස්සේ ආදරණීය ඇණුම්පදයක් තිබුණා. ඒත් ඒක වටහාගන්න සුගත්ට හැකියාවක් තිබුණේ නැහැ.

ඉතින් ඔහොම ඉන්න අතරේ ඔය ගමේ හිටිය එක මනුස්සයෙක් දවසක් හවස ගම ඇතුළෙ ඇවිදිනකොට දැක්කා අහසින් ලස්සන දෙවඟනක් බිමට පාත්වෙනවා. මේ මනුස්සයත් ටිකක් අලසයෙක්. අර දෙවඟන මේ මනුස්සයා ළඟට ඇවිල්ලා කිව්වාලු මං ඔයාගේ බිරිඳ වෙන්නම් හැබැයි මම අහසෙන් ආවා කියලා කාටහරි කිව්වොත් මං ආයේ නොඑන්නම යනවා කියලා. ඒකට අර මනුස්සයා කැමති වෙනවා. එදා ඉඳලා මේ හුන්නස්ගිරි දෙවඟන අර කම්මැලි මිනිහට බිරිඳ වෙනවා. ඔහු නිසා ඇයට දරුවන් 12ක් හැදෙනවා. හරිම ශක්තිමත් බලවත් පිරිමි. කිසිම අලසකමක් නැති ඒ දොළොස්දෙනා දුප්පත් හුන්නස්ගිරිය පොහොසත් කරනවා. ඒ අය දිහා බලලා අනෙක් අයත් අලසකම අතෑරලා වැඩ කරනවා. මුළු පළාතම අර මිනිහට පින් දෙනවා. ඒක අදහගන්න බැරිව ඔහුගේ කටෙන් කියැවෙනවා මගේ බිරිඳ දෙවඟනක්, එයා තමයි හුන්නස්ගිරි දෙවඟන කියලා. මිනිහා අවුරුදු විසිපහක් රැකි රහස එළිකළා. ඔහු බොහොම සතුටින් ගෙදර ගියා. එයා එදා එනකොට ඇඳගෙන හිටි සුදු රෙදිකඩ විතරක් දොර පාමුල තියලා ඒ දෙවඟන ගියා ගියාමයි ආයේ කවදාවත් මහපොළොවට ආවේ නැහැ. මේ දුක ඉවසගන්න බැරුව ඒ මිනිහත් මැරිලා ගියා.” රූපා මේ කතාව කියද්දී සුගත් ඈ දිහා බලාගෙනම කතාව අහගෙන හිටියා. ඇගේ හිසට ඉහළින් හුන්නස්ගිරි කඳු මුදුනේ සුදු වළාකුලු විතරක් කොල්ලට පෙනුණා. රූපා හිතුවේ මේ කතාව අහලා සුගත් තමන් එක්ක ඒවි කියලා. ඒත් එහෙම වුණේ නෑ.

සුගත් දිහා බලාන හිටිය රූපා මහ භයානක තීරණයක් ගත්තා. සුගත් මට ඔයා නැතුව ඉන්න බැහැ. අපි මහවැලි ගඟට පැනලා මැරෙමු.” සුගත් ගත්කටටම හා කිව්වා. දෙන්නා ලිපි දෙකක් ලිව්වා. ලියලා මහවැලි ගඟට ඉහළින් ගලක් උඩ තියලා දෙන්නම මහවැලි ගඟට පැන්නා. රූපා දන්නෙ නැහැ සුගත්ට පීනන්න පුළුවන් කියලා. රූපා ගඟේ පහලට ගහගෙන ගියා. ඇයට යන්න හැරලා සුගත් ඉක්මනට ගොඩට පීනලා අර ලියුම් දෙකෙන් තමන්ගේ ලියුම අරගෙන ගෙදර ගිහිල්ලා නිදාගත්තා.

ඇගේ සිරුර හම්බ වෙනකොට ඒක දෙගුණයක් ඉදිමිලා තිබුණා. පොලිසිය සුගත්ව අල්ලගත්තා. ඒත් ඔහුට විරුද්ධව නඩුවක් දාන්න නීතියක් නැහැ. ඒ පින්වන්ත දියණිය හුන්නස්ගිරි දෙවඟන වගේම නොපෙනී ගියා. තමන් සුගත්ට රැවටුණු බව ඒ දුව තාම දන්නේ නැහැ. මේ කතාව ඇත්තටම සිද්ධවෙච්ච දෙයක්. දුවලට මතක ඇති මේ සිද්ධිය ඒ කාලේ මාධ්‍ය මඟින් දිගින් දිගටම වාර්ථා කළා. ඉතින් මේ සිද්ධිය ඇසුරෙන් මට දුවලට දෙන්න තියෙන්නේ එක උපදේශයයි. ඒ තමයි, පණ දෙන්නම් කියලා කියන පිරිමි වෙනුවෙන් ඔයාගේ ජීවිතේ උගහට තියන්න කලින් එක පාරක් දෙකක් නෙවෙයි සිය වතාවක් හරි හිතන්න.

 

අත්තනායක එම්.හේරත්