පැනලා යයි කියන බයට ඒ මනුස්සයා මේ කෙල්ලට ඇඳුමක්වත් අඳින්න දීලා තිබුණේ නෑ
අද මගේ දූලාට මං ඉදිරිපත් කරන කතාව දුවේ, මාව ඉතාම සංවේගයට පත්කරපු වගේම අවසානයේ ඉතාම ප්‍රීතියට පත්කළ කතා පුවතක්. මේ සිද්ධිය වුණේ පේරාදෙණිය පොල්ගහමුල අධ්‍යාපන ආයතනයේ බාහිර උපාධි පන්තිවලට උගන්වමින් ඉන්න කාලයේදියි. උපාධි පංතියට නිර්දේශිත පොත් අතර තිබුණා ‘ගුස්ටාව් ප්ලෝබෙයා’ ලියූ ‘එමා බෝවාරි’ නවකතාව. ඒකේ හිටියා ‘එමා’ කියලා දුවෙක්. අම්මා හදිසියේ මියගියාම තාත්තා ඇයව පල්ලියේ කන්‍යාරාමයකට ඇතුළු කරා. ඇගේ ළමා කාලය පල්ලියේ කන්‍යාවන්ගේ සුදු රෙදිකඩින් වැහිලා ගියා. ඇයට සැබෑ ලෝකය නැතිවුණා. පල්ලියේ දැඩි නීතිරීති මැද ඇගේ නවයොවුන් ජීවිතය ගෙවුණා. ඇය විනෝදෙට කළේ බයිබලයේ කවරය තුළම තුට්ටු දෙකේ සුරංගනා ප්‍රේම කතා හංගාගෙන කියැවීමයි. ඇගේ මනසේ ඒවායේ දර්ශන ස්ථිර වුණා මට එහෙම ජීවිතයක් ඇත්නම් කියලා. ඉතින් මේ පුංචි දුවගේ නවකතා කියවීම පූජකවරියන්ට අහුවෙලා ඇයව යළිත් බෝවාරි මහතාට භාරදුන්නා. එතැන් පටන් ඇගේ ජීවිතය රුවල් නැති නෞකාවක් බවට පත්වෙලා ජීවිතය ඉබාගාතේ ගෙවිලා දරුණු වේදනාත්මක සිදුවීම්වලින් හෙම්බත් වෙලා ජීවිතය නසාගත්තා. ඇය පිරිමින්ගේ අතින් අතට මාරුවුණා. හැමෝටම ඇය දාහය නිවාගන්න ජල ධාරාවක් වුණා. ඉතින් දුවේ මං ඔය කතාව කියද්දී මුළු පංතියම නිහඬව අසාගෙන හිටියා. ටික දවසකට පස්සේ මගේ විශ්වවිද්‍යාලයේ ලිපිනයට එක්තරා දුවෙක් ලිපියක් එවලා තිබුණා.
“සර් ඒ එමා බෝවාරි තරම් දරුණු ඉරණමකට මං තාම මුහුණ දීලා නැහැ. ඒත් කතාව අහලා මට බය හිතුණා. කවදාහරි දවසක මං සර්ව හම්බවෙලා මට දැනට වෙච්ච දේ කියන්නම්. අනේ සර් මට උදව් කරන්න.” අද මෙන් ජංගම දුරකතන නොතිබූ සමයක් ඒක. ඇගෙන් මට යළිත් ලිපියක් ආවෙත් නැහැ. කාලය ඔහොම ගෙවිලා යද්දී දවසක් අම්මෙකුයි තාත්තෙකුයි මාව හොයාගෙන පංතියට ආවා. “සර්, අපිට සර් එක්ක කතා කරන්න ඕන. අපිට ඉන්නෙ එකම දුවයි. පුත්තු දෙන්නයි. ඔය දුව සර්ගේ පංතියට එනවා උපාධි විභාගය ලියන්න. එයා හරිම මුරණ්ඩුයි. දඩබ්බරයි. අකීකරුයි. අපිට පේන විදියට සර් මෙයා කසාද බැන්ද මිනිහෙක්ව ආශ්‍රය කරනවා. මොකද සර් මේකට කරන්නේ?”
“අම්මේ, තාත්තේ ඔය දෙන්නට බැරිද දුවත් එක්ක මාව හම්බවෙන්න?” දෙන්නා එකඟ වෙලා ගියා.
එක දිනයක මේ තුන්දෙනා අපේ ගෙදර හොයාගෙන ආවා. එතකොට මම හිටියේ කුලී ගෙදරක. ඒ දුව මගේ පංතියේ හිටියට මං එයාව දැක්කේ එදා. ඒත් අර අම්මයි තාත්තයි කිව්ව අකීකරු පෙනුමක් මං ඇගෙන් දැක්කෙ නැහැ. ඇගේ අම්මයි තාත්තයි එක්ක මං කතා කරනකොට මේ ළමයා අපේ ගෙදර අයත් එක්ක ගේ ඇතුළට වෙලා කතා වෙනවා, මගේ දුවව එයා වඩාගෙන. පස්සේ ඒ ගොල්ලෝ ගියා. මගේ ගෙදර තිබුණේ පංතිය ළඟමයි. එදා ඉඳලා මේ දැරිය අපේ ගෙදරට යන දියණියක වුණා. පංතියේ අය තේ බොන වෙලාවට මේ දරුවා අපේ ගෙදරට ගිහින් ගෙදර අයගේ නෑයෙක් වෙලා. මං අම්මා තාත්තා කිව්ව කිසිදෙයක් ඒ දුවගෙන් ඇහුවෙ නැහැ. දුවගෙ අම්මයි තාත්තයි නිතර අප බලන්නට ආවා. ඒ අය ආයෙත් දුව ගැන පැමිණිල්ලක් කළෙත් නැහැ. කාලය මෙහෙම ගෙවිලා යන අතරේ එක දවසක් අපේ පංතිය ඉස්සරහ මැදිවියේ පිරිමි කෙනෙක් මං එනකල් බලන් හිටියා. එයා මට කතා කරා. “සර්, මං සර්ගේ පංතියේ කාන්තිත් එක්ක යාළුයි. අපි අද පැනලා යනවා. කියලා යන්න ආවේ.” මං ඇහුවා “කියලා යන්න ඕන මේ දරුවගෙ අම්මලට නේද? මට කියලා වැඩක් නැහැ.” එතකොටම කාන්ති පංතියේ ඉඳලා දුවගෙන ඇවිත් මෝටර් සයිකලයට නැගලා ගියා. ඊට පහුවෙනිදා අර අම්මයි තාත්තයි අඬාගෙන ආවා. “අනේ සර් ඒකි පැනලා ගිහින්.” මං කිව්වා “මට කියලා ගියේ. අම්මලා කෑගල්ල පොලිසියේ පැමිණිල්ලක් දාන්න. ඒ ආවේ අම්මලා කියපු මනුස්සයද?” “ඔව් සර්. ඒ මනුස්සයා තමයි.”
දැන් කාන්ති පන්ති එන්නෙ නැහැ. අම්මලා තාත්තලගෙන් සද්දයකුත් නැහැ. අවුරුද්දක් විතර ගෙවිලා ගියා. අපි කාටත් කාන්ති අමතක වුණා. එක දවසක් රාත්‍රී 1.00ට පමණ අපේ දුරකතනය නාද වුණා. ගෘහස්ත දුරකතනයට මේ වෙලාවට කවුරුවත් කතා කරන්නෙ නැහැ. මං ගිහින් කතා කරනකොට ඒ කතා කළේ කාන්ති. ඇගේ කටහඬ අඳුනාගත් මම දුරකතනය විසන්ධි කළා. හැබැයි කාන්ති ඉකි ගහහ අඬ අඬා කතා කළේ. ඊට පසුදාත් දුරකතනය නාද වුණා. මම ගත්තෙ නැහැ. එකදිගට සතියක් ගනිද්දි එක දවසක් මං කතා කරා. “අනේ සර් මේ මිනිහා මාව හිර කරගෙන දැන් අවුරුද්දක්. අනේ සර් මේ දුරකතන අංකය කෑගල්ල පොලිසියට දීලා මාව මෙතැනින් ගලවගන්න.” මම අංකය ලියාගත්තට මට මේ ළමයා විශ්වාස නැහැ. මොකද එයා අප ඉදිරියේ හිටියෙත් සියල්ල වහගෙන. මං හිතුවේ මේකත් එයාගේ බොරුවක් කියලයි. ඒත් මං ඒ අංකය කාන්තිගේ තාත්තා අතට පත්කරා. කෑගල්ල පොලිසිය ඒ දුරකතන අංකය ඔස්සේ ගිහින් ඇයව සඟවාගෙන හිටිය තැනින් මුදාගත්තා. ඒ මොහොත වනවිට ඇය ළඟ ඇඳුමක්වත් තිබිලා නැහැ. ඇය පැනලා යයි කියන බයට. ඇඳ රෙද්දකින් ඔතලා ඇයව පොලිසියට ගෙනැවිත් තිබුණා. ඊටපස්සේ කෑගල්ල රෝහලට ඇතුළත් කරා. අර පුද්ගලයාව අල්ලගත්තා. කන්න විතරක් දීලා ඇයව සිරකරගෙන සිටියත් ඔහු ඇයට කිසිඳු ලිංගික හිරිහැරයක් කරලා තිබුණේ නැහැ. මේ සිද්ධිය සිදුවෙලා වසර පහළොවක් විතර ඇති. ඇයට වෙච්ච දේ අද වෙනතෙක් ඇය කාටවත් කියලා නැහැ. ඔහු ඇයව ගෙන ගියේ ඇයි? ඇය එය කිසිදාක හෙළිකළේ නැහැ.
ඇයට උපාධිය අහිමි වුණා. ඇයව විවාහ කරදීමට අම්මා තාත්තා තැත් කළත් ඒ දෙදෙනා ගැන ඇයට විශ්වාසයක් තිබුණේ නැහැ. ඇයට මනමාලයෙක් සෙවීමට මමත් මගේ බිරිඳත් දරුවනුත් මනමාල ගමන් ගියා. එය අපේ දරුවන්ට විනෝදජනක ඇත්දැකීමක් වුණා. අවසානයේ අපි එකතු වී කොළඹ කෙනෙකුට ඇයව විවාහ කර දුන්නා. විවාහයවත් දෙමව්පියන්ගේ නිවසේ ගැනීමට කාන්ති අකමැති වුණා. එය සිදුකළේද අපේ නිවසේයි. අද එක දියණියකගේ මවක් වන කාන්ති ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගෙවනවා. ඇයට ලැබුණේ ලෝකයකින්වත් හොයාගත නොහැකි වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක්. එමා බෝවර් ඉගැන්වූ පසු මට ලිපියක් ලියා තිබුණේ ඇය බව මා දැනගත්තේ ඊට බොහෝ කලකට පසුයි. සංවේගයටත් ප්‍රීතියටත් පත්වූ කතාවක් යැයි මා කී දේ මගේ දූලාට පැහැදිලි වෙතැයි හිතෙනවා. ඇයගේ ජීවිතයට සිදුවූ වරද ලෙස මා දකින්නේ දෙමාපියන්ගේ දරදඬු ස්වභාවයයි. මම ඇගේ පියා නොවෙයි. ලේ ඥාතියෙකුත් නොවෙයි. මගේ පමණක් නොව මගේ බිරිඳගේ, දරුවන්ගේ රැකවරණය ඇයව ජීවත් කළා. දැන් ඇගේ දෙමාපියෝ මියගිහින්. ගුරුවරයෙකුට සිය දියණියකට මේ සා විශාල යුතුකමක් ඉටු කිරීමට ලැබීම මට ජීවිතයේ සැඳෑ සමය තුළ ලද මිහිරි මතකාවලියක්. එක්කෝ ඇය මගේත් බිරිඳගේත් ගිය ආත්මයේ දියණියක්ද වූවා විය යුතුයි. ඇත්තටම එසේ විය හැකියි.
කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ දුවට මෙහෙම වුණේ කියලා. එයාගෙ පවුලේ තවත් සහෝදරයින් දෙදෙනෙකු හිටියා. ඉතින් ඇගේ අම්මයි තාත්තයි කොල්ලො දෙන්නා රත්තරන් කියලා හිතාගෙන උන් දෙන්නට සැලකුවට මේ දුවව නොසලකා හැරලා තිබුණා. ඒ නොසලකාහැරීම තමයි ඇයව ඒ තැනට තල්ලු කරලා තිබුණේ. ඒ නිසා මේ ලිපිය බලන අම්මලාට මම මතක් කරන්න කැමතියි, මුලදී නොසලකා හැරලා පස්සේ දුවලා හිතුවක්කාර වුණා කියලා චෝදනා කරලා වැඩක් නෑ. එතකොට නොවිය යුතු ගොඩක් දේ සිද්ධ වෙලා තියෙන්න පුළුවන්.
අත්තනායක එම්. හේරත්