තාත්තා බිඳලා දාපු හීනෙ දකින්න අපි ඒ දුවට පාර හදලා දුන්නා
එදා උසස් පෙළ දරුවන් වෙනුවෙන් සංවිධානය කරපු සමාරම්භක උත්සවයක් තිබුණා. ඒ උත්සවයට පැමිණි දරු දැරියන් අමතා දේශනයක් කිරීමට මට ආරාධනයක් ලැබුණා. උත්සවය තිබුණේ මහනුවර අවන්හල් පරිශ්‍රයේ ඇති දේශනශාලාවෙයි. කාන්තා පිරිමි පාසල් සියල්ලටම මේ උත්සවයට ආරාධනා ලැබී තිබුණා. ඒ හින්දා ශාලාව පිරෙන්නම දරුවන් රැස්වෙලා හිටියා. ඒ වගේම මේ උත්සවයට විද්‍යා, වාණිජ, කලා යන තුන් අංශයේම දරුවන් සහභාගී වෙලා හිටියා. ඒ හින්දා මට දේශනය කරන්න වුණේ ඒ සියල්ලන්ටම ගැලපෙන්නයි.
දරුවන් එක්ක ඒ ඒ පාසල්වලින් ගුරු මව් පියවරුනුත් ඇවිල්ලා හිටියා. මේ අය ඒ ඒ විෂය ධාරාව තෝරාගෙන ඉන්නේ තමන්ගේම කැමැත්තටද එහෙම නැත්නම් අම්මලා තාත්තලාගේ කැමැත්තටද කියලා මං ඇහුවම ඔක්කොම කීවේ එය තමන්ගේ කැමැත්ත බවයි. මං දේශනය ආරම්භ කළේ මුනිදාස කුමාරතුංග මහතාව උදාහරණයට අරගෙන. එතුමාගේ තාත්තා වෛද්‍යවරයෙක්. ඒ වුණාට ඒ තාත්තා පුතාව වෛද්‍යවරයෙකු කරන්න වෑයම් කළේ නැහැ. එතුමා තම පුතාගේ දක්ෂතා දැනගෙන පුතාව යොමුකරා පරිසරයට, භාෂාවට ආදරය කරන කෙනෙක් කරන්න. කුමාරතුංග මහත්තයා පුතේ පස්සේ දවසක ‘පියසමර’ කියලා තාත්තා ගැන පොතක් ලිව්වා. ඒ පොතේ මෙන්න මෙහෙම කවියක් තිබුණා.
‘සිත නිදහස කරන හොඳම
ගුරුකම කව් මඟට වැටුම
එහෙයි නැතොත් සිය දෑ පෙම
ළ දෙන්න කව් ලොවට පුදුම’
(පියසමර)
කුමාරතුංග මහත්තයාගේ දොස්තර තාත්තා පුතාව යොමු කළේ කවි හදන්න. ඒ තාත්තා දැනගෙන හිටියා පුතාගේ බෙල්ලට දොස්තර නලාව හරි යන්නෙ නැහැ එයාට හරියන්නෙ හදවතේ කවිය කියලා. ඉතින් තාත්තා ගැන එතුමා ලිව්ව තව කවියකුත් මම කියවැව්වා.
‘පොළොව ආස වලා සඳ තාරකා
හෙවණ ගස් ලිය ආදිය දක්වමින්
නුවණ දෙන්නට කී එ කතා සෙමෙන්
හැඩ ගැසීය මගේ දිවි මේ ලෙසින්’
ඉතින් කුමාරතුංග මහත්තයගෙ තාත්තාගේ ආදර්ශය හිතට අරගෙන තමන්ගෙ ආශාව තියෙන මාර්ගයකට වැටෙන්න කියලා මං ඒ දරුවන්ගෙනුත් ඉල්ලීමක් කළා. එහෙම කරලා මං කිව්වා “මේ දරුවො විභාගවලට ලියලා අසමත් වුණොත් ආයෙත් ඒ ගැනම හිතන්න. සමහරවිට ඒකෙ වරද ඔයා තෝරාගත් විෂය ධාරාවේ වෙන්න පුළුවන්. අසමත් වෙන අයටත් එක්කයි මං මේ ආරම්භක දවසෙම කතා කරන්නෙ. මං ශිෂ්‍යත්ව විභාගයට ලිව්වේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. මම අතිවිශිෂ්ට විදියට ශිෂ්‍යත්ව විභාගය ෆේල් වුණා. හැබැයි ෆේල් වෙච්ච මම මගේ පාර හොයාගෙන ගියා. මට වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය විද්‍යා දැනුමක් තිබුණේ නැහැ. ඉංජිනේරුවෙක් වෙන්න හිතුවෙ නැහැ මොකද මට ගණන් බැරි නිසා. ඇත්තටම කිව්වොත් මමත් ගියේ කුමාරතුංග මහත්තයගෙ පාරෙ. ඒ නිසා දුවලා පුතාලා ෆේල් වුණත් සටන අතහරින්න එපා.” ඔහොම කියලා මම මගේ දේශනය නැවැත්තුවා. ඒක සිද්ධවෙලා කාලයක් ගතවුණා.
ඊට අවුරුදු තුනකට විතර පස්සෙ දවසක මට ඒ සිදුවීම මතක්වෙන එක දෙයක් වුණා. එදා මාව හම්බවෙන්න ගම්පල පැත්තේ ඉඳන් තාත්තා කෙනෙකුයි දුවෙකුයි කැම්පස් එකට ආවා. ඒ දුව මං අර වසර තුන හතරකට පෙර දේශනය පැවත්වූ ගොඩේ හිටපු දුවෙක්. “සර්ට මතකද දැනට වසර තුන හතරකට එපිට අවහන්හලේ තියපු දේශනය? මං ඒ දේශනයේ හිටියා. මං A9ක් එක්ක O/L පාස් වුණා. අපේ අප්පච්චිට ඕන වුණේ මාව වෛද්‍යවරියක් කරන්න. ඒත් සර් මට විද්‍යාව, ගණිතය පේන්න බැහැ. මං බැහැ කිව්වම අප්පච්චි ඒක ගණන් ගත්තෙ නැහැ සර්. මං උසස්පෙළ දෙපාරක් කරා . දෙවරම මම අසමත්. තව මට එක වාරයයි විභාගය ලියන්න පුළුවන්. ඉතින් මං ආවේ මට කලා උපාධියක් කරන්න ඕනි. ඒත් විභාගයට තව මාස තුනයි. අප්පච්චි කියනවා මට බැරිවෙයි කියලා විභාගෙට සූදානම් වෙන්න. මං අප්පච්චිත් එක්ක ආවේ මේ මාස තුනට මට A/L විෂයන් කරලා පාස්වෙන්න පුළුවන්ද කියලා සර්ගෙන් අහන්න.” “අප්පච්චි කියන එක ඇත්ත පුතා. අවුරුදු දෙකක විෂය නිර්දේශයක් මාස තුනකින් කරන්න බෑ තමයි.” ඊටපස්සේ මම සිංහල විෂය ගැන දුව එක්ක කතා කරා. විද්‍යාව ගැන කියනකොට තිබ්බ අපහසුව මට පෙනුණා ඒ දුවගෙන් අඩුවෙලා යනවා. පැයකට පස්සේ මම කිවවා මේ දුවට ලොජික් කරන්න දර්ශන අංශයේ ආචාර්ය ඇල්පිටියේ ඥානිස්සර හාමුදුරුවන්ට භාර දෙන්නම්, දේශපාලන විද්‍යාව විල්බට් අමරසිංහ මහතාට පවරන්නම්. සිංහල මං උගන්වන්නම්. ඒත් අප්පච්චිගේ මූණෙ තිබුණෙ අසතුටක්. “සර්ට සහතික වෙන්න පුළුවන්ද?” “ඔව් අපේ වැඩේ අපි කරන්නම්. ඉතිරි වැඩ දුව තනියම කරගන්න ඕනෙ. මං ඔය කිව්ව ගුරුවරු දුවට නොමිලයේ උගන්වයි.” ඒත් තාත්තා ගියේ සෑහෙන අමනාපයකින්. මං දුවට කිව්ව විදියට වැඩේ කරගෙන ගියා. අපි එකතුවෙලා දුවගේ විෂය නිර්දේශය සම්පූර්ණ කරා. දුව විභාගයට ලිව්වා. විෂයයන් සියල්ටම A සාමාර්ථ ලබාගත් දුව පේරාදෙණිය සරසවියටම තේරුණා. අපි තුන්දෙනාට කියාගන්න බැරි සතුටක් ඇතිවුණේ. ඊටපස්සේ ඒ දුව සරසවි අධ්‍යාපනය අවසන් කරා. ඊටපස්සේ රාජ්‍ය පරිපාලන විභාගය සමත්වෙච්ච දුව මහනුවර සහකාර ඉඩම් කොමසාරිස් විදියට පත්වුණා. මේ ජයග්‍රහණය සමරන්න ඉතුරු වුණේ මං විතරයි. අපේ හාමුදුරුවෝ පිළිකාවකින් අපවත් වුණා. විල්බට් අමරසිංහ මහතාත් වකුගඩු රෝගයකින් මියගියා. ඒ නිසා දුවේ අනුන්ගේ විෂය නිර්දේශ ඔබේ විෂය නිර්දේශ කරගන්න එපා. යම් විදියකින් එදා අර දුවව මං ප්‍රතික්ෂේප කරා නම් ඒ දුව අද එතැන නැහැ. මට පැයක කතාවකින් තේරුණා ඒ දුව අම්මලා තාත්තලා කියන දේ අහලා වැරදි පාරක ගියා කියලා. දුවේ අද එදාටත් වඩා තත්ත්වය කණගාටුදායකයි. අයිස් පෙති රට පුරා දුවලගෙත් පුතාලගෙත් ජීවිත බිලිගන්නවා. මේ වගේ බලාපොරොත්තු කඩවෙන දරුවො පිළිගන්න, එයාලගෙ දුක අහන්න මත්රකුසා එළියේ ඉඳන් බලාගෙන ඉන්නවා. ඒ නිසා මේක කියවන දුවලා මතක තියාගන්න. පාර අවදානම්. වංගු සහිතයි. පරිස්සමින් තමයි යන්න ඕන.
අත්තනායක එම්.හේරත්