විශේෂාංග

අම්මා අප්පා දික්කසාද වුණාම දරුවොත් දික්කසාද වෙනවද?

ඒ කාලේ රාජ්‍යයක සශ්‍රීකත්වයේ සංකේතය විදියට සැලකුවේ ඒ රාජ්‍යයට ඉඳපු හැලි ඇතා ලු. ඒ කිව්වේ රජ්ජුරුවන්ට හිටපු සුදු හස්ති රාජයා. මේ සුදු හස්ති රාජයාත් හරියට අද කාලේ අපේ දළඳා වහන්සේ වගේලු. ඔන්න ඉතින් වෙස්සන්තර රජතුමා රජ කරපු කාලේ එතුමාගේ රාජ්‍යයට යාබද රාජ්‍යයක් බොහොම අවාසනාවන්ත විදියට බවභෝග අතින් පිරිහෙන්න පටන්ගත්තලු. ඕක දැකලා කණගාටුවට පත්වුණ වෙස්සන්තර රජතුමා ඒ රාජ්‍යය සශ්‍රීක කරන්න හිතාගෙන එතුමාගේ හැලි ඇතාව ඒ යාබද රාජ්‍යයට තෑගි දුන්නලු. හැබැයි රජතුමාගේ මේ වෙස්සන්තර වැඩේට රටේ ජනතාව බොහොම තදින් විරුද්ධ වෙලා තියෙනවා. ඒ විරුද්ධත්වය කොයිතරම්ද කියලා කිව්වොත් රජතුමාව රාජ්‍යයෙන් පලවා හරින්න කියලා මාලිගාව වට කරලා උද්​ඝෝෂණ පවා කරලා තියෙනවා. නිකමට හිතන්නකෝ හිටිහැටියෙම වෙනත් රටකින් ඇවිත් අපේ දළඳා වහන්සේව ඒ රටට වඩම්මවාගෙන ගියොත් කොහොමට හිටීද? අන්න ඒ වගේ තමයි. අන්තිමේදී ජනතාව එයාලගෙ උද්​ඝෝෂණ නතර කරන්නෙ නැතිම තැන රජතුමා තීරණය කළාලු රජකමයි, වස්තුවයි දෙකම ජනතාවටම දීලා මාලිගාවෙන් පිටවෙලා යන්න. එතකොටම මන්ත්‍රී දේවිය දරු දෙන්නත් එක්ක ඇවිත් එතුමාට කියලා තියෙනවා “අනේ ස්වාමීනි යන තැනකට අපි තුන්දෙනාවත් එක්කගෙන යන්න” කියලා. ඉතින් ඊටපස්සේ තුන්දෙනාම මහා විශාල කැලේකට ගියාලු. ගියපු වෙලාවේ ඉඳන් දරු දෙන්නා බඩගින්නෙ අඬනකොට මන්ත්‍රී දේවිය අඹ කඩාගෙන එන්න කියලා කැලේ ඇතුළට ගිහින්. ඔන්න ඔය අතරෙදි තමයි වෙස්සන්තර රජතුමා අර බඩගින්නෙ අඬ අඬා හිටපු දරු දෙන්නවත් පූජක බමුණාට දන්දීලා තියෙන්නේ. හැබැයි වෙස්සන්තර රජතුමා එදා දරුවන්ව දුන්නේ බුදුවීමේ අරමුණට අවශ්‍ය දාන පාරමිතාව පුරන්න කියලයි ජාතක පොතේ සඳහන් වෙන්නේ. එහෙමයි කියලා එදා උදවිය ඒක මුල්කරගෙන ඒ අයගේ දරුවන්ව බමුණන්ට දන් දෙන්න ගියේ නෑ. මොකද වෙස්සන්තර රජතුමා කියන්නේ බෝධිසත්වයන්ගේ එක්තරා ආත්මභවයක් කියලා ඒ ඇත්තෝ තේරුම් අරන් හිටියා.

ඔය අද කාලෙත් කවුරුහරි කෙනෙක් ටිකක් වැඩිපුර දනට පිනට බර වුණාම ඒ කෙනාට කියන්නෙත් වෙස්සන්තර කියලානේ. කොහොම වුණත් කවුරුත් දන්න වෙස්සන්තර ජාතකය ගැන මුලින්ම ටිකක් මතක් කරලා හිටියේ අද අපි කතා කරන්න යන්නෙත් ඊට සමාන කතාවක් නිසා.

එදා වගේම අදටත් මහ උන්දැලාගේ ආරවුල් හින්දා තැලුනේ පුංචි දරු පැටව්නේ. ඔය සමහර දෙමව්පියෝ දික්කසාද වෙද්දී උඹටත් එපා නම් මටත් එපාය කියලා දරුවන්ව එහෙට මෙහෙට විසිකරන අවස්ථා අපි දැකලා අහලා තියෙනවා. තවත් සමහරු ලේසියෙන්ම කරන්නේ දරුවන්ටත් වහ ටිකක් කවලා තමුනුත් වහ කන එක. ඒ අස්සේ දරු පැටවුන්ව අරන් ගිහින් කිසිම හිතක් පපුවක් නැතුව ගඟේ මුහුදේ අතාරින අයත් ඕනතරම්. මේ මෑතකදී අරණායක ප්‍රදේශයේ තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු හයෙයි, නවයෙයි දරු පැටව් දෙන්නව පාළු අම්බලමකට අරන් ගිහින් එල්ලලා මරපු එක මීට ආසන්නතම සිදුවීමක්.

ඇත්තටම දෙමව්පියන්ගේ පවුල් ආරවුල්වලට දරුවන් වන්දි ගෙවන්න ඕනැද? එහෙමත් නැතිනම් දෙමව්පියන් දික්කසාද වුණාට දරුවන් දික්කසාද කළ හැකිද?

ඒ ගැන මේ කතාබහ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා සමඟින්.

මගේ ළමා කාලේ අත්දැකීමක් කියලා අද කතාව පටන්ගන්නම්. දවසක් මම කරපු මුරණ්ඩු වැඩක් නිසා අපේ තාත්තා මට හොඳටම ගැහුවා. මට මතක හැටියට තාත්තා මට ගහපු පළවැනි වතාවයි අන්තිම වතාවයි දෙකම ඒක. ඉතින් ඕකට එදා අම්මයි තාත්තයි දෙන්නත් ගෙදරදි හොඳටෝම රණ්ඩු වුණා. එදා තාත්තා මට කොයිතරම් ගැහුවද කියනවා නම් අපේ අම්මා මාවත් අරගෙන ගෙදරින් යනවා කියලා එළියටත් බැස්සා මට මතකයි. ඔන්න ඉතින් එතකොටම මගේ අනිත් අයියලා මල්ලිලා හයදෙනත් අනේ අම්මේ අපිවත් අරගෙන යන්න කියලා අඬාගෙන ඇවිත් අම්මගෙ රෙද්දෙ එල්ලුණා. හිතේ දුකටයි තරහටයි ගැහුවට මොකෝ අපේ තාත්තට දැන් ඕක බලාගෙන ඉන්න බැරිවුණා. ඔන්න අපි ඔක්කොම ගෙදරින් යනකොට තාත්තා අර සැර ඔක්කොම බාල කරලා දුවගෙන ඇවිත් අම්මට කිව්වා, “මැණිකේ මම ආපහු කවදාවත් ළමයින්ට ගහන්නෙ නෑ, ගෙදරින් යන්න එපා” කියලා. අන්න ඒකයි මම අර මුලින්ම කිව්වේ තාත්තා මට ගහපු පළවැනි වතාවයි අන්තිම වතාවයි දෙකම ඒක කියලා.

දැන් බලන්න එදා අපේ තාත්තටත් තිබුණා අම්මා අපිවත් අරන් යද්දි තොපිට එපා නම් මටත් එපා කියලා අහක බලාගන්න. ඒත් තාත්තා එදා එහෙම යන්න දීලා බලන් හිටියානම් සමහරවිට කාලයක් යද්දි අපේ අම්මයි තාත්තයි සදහටම දෙපැත්තටම වෙන්නත් ඉඩ තිබුණා. එහෙම වුණා නම් අද මම මහාචාර්ය අත්තනායක එම්.හේරත් නොවී වෙන චරිතයක් වෙන්නත් ඉඩ තිබුණා. මගේ අයියලා මල්ලිලාත් මහාචාර්ය ආචාර්යවරු නොවෙන්න ඉඩ තිබුණා. එහෙම නොවුණේ අපේ තාත්තා එදා ඒ දෙන්නගෙ ප්‍රශ්න කතාබහ කරලා බේරුමක් කරගන්න තරම් නිහතමානී වුණ නිසා.

දැන් බලන්න අර පහුගිය දවසක අරණායක පැත්තේ තාත්තා කෙනෙක් තමන්ගේම දරුවෝ දෙන්නව පාළු අම්බලමකට අරන් ගිහිල්ලා එල්ලලා මරලා තිබුණා. ආරංචියේ හැටියට ඔය සිද්ධියට මුල්වෙලා තිබිලා තියෙන්තේ දෙමව්පියන්ගේ පවුල් අරවුලක්ම තමයි. අනික එතැනදි මනුස්සයා එක්ක ගහමරාගෙන ඒ අම්මා ගෙදරින් ගිහින් තියෙන්නේ අර අහිංසක දරු දෙන්නවත් දාලා. ඇයි දෙයියනේ ඒ ගෑනු මනුස්සයට හිතන්න මොළයක් තිබුණේ නැද්ද මේ මිනිහත් එක්ක මහ ගෑනියෙක් වෙච්ච මට ඉන්න බැරිනම් හයහතර නොතේරෙන දරු දෙන්නා ඉන්නෙ කොහොමද කියලා? යන දේවාලෙකට දරු පැටව් දෙන්නවත් අරගෙන යන්න තිබුණෙ නැද්ද? එහෙම නොවෙන්න මූලිකම හේතුව තමයි අද කාලේ ගේ ඇතුළේ ගහ මරාගෙන ගෙදරින් එළියට බහින ඔය ගෑනු මිනිස්සු දෙපාර්ශවයෙන් වැඩිහරියක් එළියට බහින්නේ තව හිරයක් ගන්න බලාගෙන. එතකොට ඒකට දරුවෝ බාධාවක් වෙන නිසායි ගෑනිගෙන් මිනිහටයි, මිනිහාගෙන් ගෑනිටයි දරු පැටවුන්ව බෝල වගේ පාස් කරන්නේ. ඔය අරණායක සිද්ධියේ දරු දෙන්නාගෙන් ගෑනු දරුවා මැරෙන්න කලින් එයාගේ පොතක ලියලා තිබිලා තියෙනවා, අම්මයි තාත්තයි දෙන්නම අපිට හරියට ගහනවා බණිනවා, ආත්තම්මා විතරයි ආදරේ කියලා. ඒකෙන්ම පැහැදිලියි මැරෙන්න කලින් ඉඳලම අර මහ උන්දැලා ඒ අයගේ ප්‍රශ්න සේරම දරුවෝ පිටින් යවලා තියෙනවා කියන එක. ඒ වගේම හොඳටම පැහැදිලියි ඒ ප්‍රශ්න නිසා ඒ අහිංසක දරුවෝ හොඳටම තැලිලා හෙම්බත් වෙලා ඉඳලා තියෙනවා කියන එක.

අහලා තියෙනවද මෙන්න මේ ජන කවිය?

 

මල්ලියි මමයි අකුරට ගොස් එන කලට

බඩගින්නක් ආවයි අපි දෙන්නාට

බඩගිනි වෙලා කොයි අම්මගෙ ගෙට යන්ට

යමන් මලේ අම්මා වැළලූ තැනට

 

මේ ජන කවියෙන් කියැවෙන්නේ දෙමාපිය දූ දරු බැඳීමට ඒ කාලේ උදවියගේ හිත්වල කොයිතරම් ලොකු තැනක් තිබිලා තියෙනවද කියලා. ඔය කියන විදියට ඒ කාලේ දෙමව්පියන්ගේ දරු සෙනෙහස මැරුණත් දරුවොන්ගේ තනි නොතනියට උන් ළඟ රැඳිලා තිබිලා තියෙනවා.

ඒත් අද කාලේ සමහරක් දරුවන්ගේ අවාසනාවටද මන්දා උන්ගේ අම්මා අප්පලා ජීවත්වෙලා හිටියත් මැරිලා වගේ. මොකද සමහරක් මහ උන්දැලා දෙන්නා දෙමහල්ලෝ අතරේ ප්‍රශ්නයක් ඇතිවුණ ගමන් උන්ට ගැළපෙන විදියට ජීවිතේ විඳින්න පුළුවන් තැන් හොයාගෙන යන එක රැල්ලක් කරගෙන. ඕක මව්වරුන්ගේ පාර්ශවයෙනුත් සිද්ධ වුණාට වැඩිහරියක් සිද්ධවෙන්නේ පිය පාර්ශවයෙන්. මතකද අපි කලින් ලිපියකින් කතා කළා දෙන්නට දෙන්නා අතරේ අඹුසැමි සම්බන්ධතා නැති වුණත් දරුවෝ වෙනුවෙන් එකම ගෙදර කාමර දෙකක ජීවත්වෙන උදවියත් ඉන්නවා කියලා. ගෑනුන්ට පිරිමියි, පිරිමින්ට ගෑනුයි මාරු කරන්න පුළුවන් වුණාට දරුවොන්ට අම්මා අප්පව එහෙම ලේසියෙන් මාරු කරන්න බෑ. ආන්න ඒ කතාව මෙතැනදිත් විශේෂයෙන්ම මතක් කරන්න මම කැමතියි.

මතක තියාගන්න ඔය කලින් මතක් කරලා තියෙන වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජ්ජුරුවෝ දරු දෙන්නව දන් දුන්නේ මන්ත්‍රී දේවිය එක්ක ගහමරාගෙනවත්, හොර අඹුවක් හොයාගෙන වෙන දීගෙක යන්න හිතාගෙනවත් නොවෙයි. බෝධිසත්ව ආත්මෙක බුදුබව ප්‍රාර්ථනා කරගෙන. ඒ නිසා මම අද කාලේ ඉන්න දෙමව්පියන්ට කියන්නේ ඔබලාට ඔබලාව එපාවුණ පලියටම, ජීවිතේ විඳින්න අලුත් තැන් ලැබුණ පලියට, නැත්නම් කන්න බොන්න දෙන්න බැරි වුණ පලියට දරුවන්ව ගඟේ මුහුදේ දාන්න, එල්ලලා මරන්න, වහ කවන්න කිසිම අයිතියක් නෑ. කොටින්ම උඹලාට ජීවිතේ එපාවෙලා මැරෙන්න හිතුණත් දරුවොන්වත් මරාගෙන මැරෙන්න අම්මා අප්පා වුණ පලියට අයිතියක් නෑ. හොඳට මතක තියාගන්න දරුවොන්ගේ භාරකාරීත්වය ඒ අයට අවුරුදු දහඅටක් වෙනකන්ම තියෙන්නේ රජයට.

අවසාන වශයෙන් මගේ තර්කය වෙන්නේ ගෑනු මිනිස්සුවයි, මිනිස්සු ගෑනුන්වයි දික්කසාද කර කර ගිනස් වාර්තා තිබ්බට දරුවොන්ට ජීවිත කාලෙටම අම්මා අප්පා කියන උන් දෙන්නා එකයි. ඒ නිසා පවුල කියන එක ඇතුළේ ජීවත්වෙනකොට ප්‍රශ්න එන්නේ නැති කෙනෙක් නෑ. ඒත් ඒ පවුල් ප්‍රශ්නවලට අසරණ දරුවන්ව පලිහක් කරගන්න කිසිම දෙමව්පියෙකුට අයිතියක් නෑ.

ලිහිණි මධුෂිකා