Latest News

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු අසුනකට පළමු වරට ලාංකික කාන්තාවක් තේරී පත්වෙයි

ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු  වන ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව වනවා.

ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු 11 දී සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කැසෙන්ඩ්‍රා එහිදී උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.

හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුනු කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කලේ, ලිබරල් සන්ධානය නියෝජනය කළ රාන්ජ් පෙරේරා පරාජයට පත් කරමින්.

එහිදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඡන්ද 39,185ක් එනම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 57.09% ලබා ගත් අතර රාන්ජ් පෙරේරාට ඡන්ද 28,777ක් එනම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 42.91%ක් හිමිව තිබුණා.

මෙවර එම මැතිවරණයට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තරග වැදුණු අතර ඔවුන් තිදෙනාම ශ්‍රි ලාංකිකයින් බහුතරයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් තරඟ වැදීම ද විශේෂත්වයක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්කෝලින් අසුනට ලිබරල් සන්ධානයෙන් තරග වැදුණු ශ්‍රී ලාංකික විරෝෂ් පෙරේරා ඡන්ද 12,543ක් එනම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 34.86%ක් ලබා ගනිද්දී  කම්කරු පක්ෂයේ ප්‍රතිවාදියා වූ ඇන්ඩෘෘ ජයිල්ස් ඡන්ද 26,252ක් එනම් 65.14%ක් ලබමින් එම අසුන ජයග්‍රහණය කර තිබෙනවා.