නවතම ප්‍රවෘත්ති

ඒ දරුවො අල, කොළ තම්බගෙන කාලා ජීවත්වෙන හැටි දැක්කම අපිට මොන ප්‍රශ්නද කියලා හිතුණා

‘‘මාව ලැබෙන්න රෝහල්ගත කරපු වෙලාවේ වාට්ටුවේ හිටපු තරුණ වෛද්‍යවරියන් දැක්කම ‘අනේ මගේ දුවත් කවදහරි වෛද්‍යවරියක් වෙනවා නම්’ කියලා අම්මට හිතුණලු. එදා දැනිච්ච ඒ සිතුවිල්ල පුංචි කාලේ ඉඳලම ඇය වරින් වර මට කිව්වා. ඉතින් එහෙම බැලුවම වෛද්‍යවරියක් වෙන්න ඕනෙ කියන හීනය මගේ හිතේ පැළ කළේ මගේ අම්මා. හැබැයි ඇත්තම කිව්වොත් මුලින්ම මටත් ඕන වුණේ බටහිර වෛද්‍යවරියක් වෙන්න.’’

*ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් වුණේ​ වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණ නිසාද?

‘‘මෙඩිකල් යන්න මට ලකුණු ටිකක් මදි වුණා. ඒකත් එක්ක මම පුදුම විදියට මනසින් කඩාගෙන වැටුණා. ඒ කළකිරීම එක්ක ලංකාවේ හැමදේම දාලා රට යන්න පවා මම තීරණය කළා. ඔය අතරෙදි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වටිනාකම ගැන මට පැහැදිලි කළේ මගේ මාමා. ඔහු කිව්ව දේවල් එක්ක ආයුර්වේදය හදාරන්න මටත් ලොකු කැමැත්තක්, ආශාවක් ඇතිවුණා. ආයුර්වේදය කියන්නේ පුදුම දෙයක්. කොටින්ම කිව්වොත් ඒක ආයුෂ වැඩි කරන විද්‍යාවක්. මට එදා අර වගේ පසුතැවීමක් ඇති වුණේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන තිබුණු වැරදි මතය නිසයි. හැබැයි අද​ වෙනකොට ගොඩක් දෙනා මේකේ වටිනාකම හඳුනගෙන තියෙනවා. ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද කියලා ගොඩක් දරුවො මගෙන්ම අහනවා. ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්.

බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කොච්චර අලුත් දේවල් හොයාගෙන තියෙනවද? ඔවුන්ගේ සැත්කම් පවා විශ්මිතයි. හැබැයි නිදන්ගත රෝග, මඳසරුභාවය වගේ තත්ත්වවලට වඩා පලදායක වෙන්නෙ ආයුර්වේද ප්‍රතිකර්ම. ඒ නිසා බටහිර, ආයුර්වේද කියලා බෙදීමක් නැතිව ඒ දේවල් තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ.’’

ඇය මේ වනවිට රජයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය අංශයේ ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නීය.

‘‘මඳසරුභාවය, චර්ම රෝග, ආතරයිටීස්, අංශභංගය ඇතුළු රෝග තත්ත්ව කිහිපයකටම මම ප්‍රතිකාර කරනවා. මඳසරුභාවය නිසා පීඩා විඳින අම්මලාව නිතරම වගේ මට මුණගැහෙනවා. කාන්තාවකට දරුවෙක් නැති එක ඇයට වඩා මේ සමාජයට ලොකු ගැටලුවක් වෙලා. ඒ අම්මලා අඬ අඬා කියන කතා ඇහුවම අපේ ඇස්වලටත් කඳුළු එනවා. ඉතින් ඒවගේ ප්‍රතිකර්මයක් සාර්ථක වුණාම හිතට දැනෙන සතුට වචනවලට පෙරලන්න බැහැ.’’

*චර්ම රෝගවලටත් ප්‍රතිකර්ම කරනවා කිව්වනේ. දැන් කාන්තාවෝ ඉස්සරට වඩා රූපය ගැන හිතන ප්‍රවණතාවක් තියෙනවා නේද?

‘‘ඔව් ලොකු ප්‍රවණතාවක් තියෙනවා. දැන් ගොඩක් කාන්තාවන් ආයුර්වේද රූපලාවන්‍ය සත්කාරවලටත් යොමු වෙනවා. දැන් හිතන්නකෝ ඉස්සර දරුවෝ ඉන්න අම්මලා දැක්ක ගමන් දරුවෝ ඉන්නවා කියලා කියන්න පුළුවන්නේ. හැබැයි දැන් එහෙම නැහැ. සමහරු ඉන්නවා දරුවෝ ඉන්නවා කියලා කියන්නම බැහැ. දරුවෝ ඉන්න අම්මලා ලස්සනට ඇඳලා කරලා ඉන්න එකටත් සමහරු අකමැතියි. ඒත් නිතරම පිරිසිදුව, ප්‍රියමනාපව ලස්සනට ඉන්න එවැනි කාන්තාවන් ගන්නා උත්සාහය ගැන අපි සතුටු වෙන්න ඕනේ.’’

හදවතේ කැඩපත මුහුණ බව අප අසා ඇත. ඈ කියන්නේද ඇතුළාන්තයෙන්ම පිරිසිදු ගුණවත් හිත් ඇත්නම් යමෙකුගේ සුන්දරත්වය දිනෙන් දින වැඩිවන බවය.

‘‘ප්‍රතිකාරවලට දුෂ්කර පළාත්වලට ගියාම ඒ පළාත්වලදී මට හමුවෙන අයට මම මනෝ උපදේශනය ලබාදෙනවා. මම ඒක කරන්නේ මගේ හිතේ සතුටට. ගොඩක් දුෂ්කර පළාතකට ගිය එහෙම වෙලාවක මට ගොඩක් පුංචි දරුවෝ තුන්දෙනෙක් මුණගැහුනා. එකම පවුලේ අය. වැඩිමල්ම කෙනාගේ වයස අවුරුදු අටයි. එයාලගේ තාත්තා එයාලව දාලා ගිහිල්ලාලු. අම්මත් එයාලව බලන්නේ නැහැලු. ඉතින් මේ තුන්දෙනා එහෙන් මෙහෙන් හම්බෙන අල, කොළ තම්බන් කාලා ජීවත් වෙනවලු. ඒ වගේ දේවල් දැක්කම අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා. දුෂ්කර ගම්වල මේ වගේ දුක් විඳින දරු පැටව් ඕනතරම් ඉන්නවා. ආදරෙන් පැරදිලා නැත්නම් ෆෝන් එක ගෙදරින් ගත්තු නිසා බෙල්ලේ වැල දාගන්න හිතෙනවා නම් ඒ වගේ දේවල් දිහා ටිකක් ඇස් ඇරලා බලන්න.’’

ඈ කීවේ හැඟුම්බර සංවේදී හඬකින්ය. වෛද්‍යවරියක ලෙස අයෝමිව හඳුනාගැනීමට පෙරාතුව අප ඈව දන්නේ ටෙලිනාට්‍ය නිළියක ලෙසය. ඒ නිසා ඇගේ කලා දිවිය ගැන ඇගෙන් නොවිමසීම මේ ලිපියට අඩුවක් විය හැකිය.

‘‘මම මහවිශාල ටෙලිනාට්‍ය ප්‍රමාණයක රඟපෑව නිළියක් නෙමෙයි. හැබැයි මම රඟපෑව ‘සුදු නංගි’ කියන චරිතය හැමෝටම මතක හිටියා. ගොඩක්දෙනා තාම මාව දන්නේ ඒ නමින්. කාලයක් මම රඟපෑමෙන් ඉවත් වෙලත් හිටියා. හැබැයි මේ දවස්වලත් මම රඟපාන ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා.

මම ආයුර්වේද ඉගෙනගන්න ගත්තු මුල් කාලේ ඉගෙනගන්න එක අතහැරලා රඟපාන්න කියලා සමහරු මට කිව්වා. දරුවන්ට වැඩි වෙලාවක් දෙන්නේ නැතිව රඟපාලා නමක් හදාගන්න කියලා දැන් වුණත් සමහරු කියනවා. මට එහෙම ලොකු ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ. මම රඟපාන්නේ ආත්මතෘප්තිය වෙනුවෙන්. හැබැයි මගේ දරුවෝ මගේ ඇඟේ දැවටෙද්දී ඊටත් වඩා ලොකු ආත්මතෘප්තියක් මට ලැබෙනවා. ඒ සතුට ප්‍රසිද්ධියෙන්වත් සල්ලිවලින්වත් ගන්න බැහැ.’’

කුඩා දියණියකගේ සහ පුතුණුවකුගේ මවක ලෙස ඈ වෘත්තීය ජීවිතය සහ රංගන කටයුතු කළමනාකරණය කරගන්නා හැටි ගැන ඈ අපිට කීවේ මෙවන් කතාවක්ය.

‘‘මගේ පුතාට අවුරුදු 7යි. දුවට 4 1/2යි. එයාලගේ වැඩ සේරම මම තමයි කරන්නේ. කොයිතරම් කාර්යබහුල මවක් වුණත් දරුවන්ව අධීක්ෂණයෙන් තොර කරන්න හොඳ නැහැ. වගේම මොන දේ තිබුණත් අම්මගේ අංක එක දරුවෝ බව නිතරම දරුවන්ට දැනෙන අරින්න ඕනේ. එතකොට දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම ශක්තිමත් කරගන්න ලේසියි.

හැබැයි තව දෙයක් කියන්න ඕනේ. විවාහවෙලා දරුවෝ ලැබුණයි කියලා වෘත්තීය ජීවිතය අතඅරින්නත් එපා. ඒ දෙකම සමබර කරගන්න කාන්තාවක් දක්ෂ වෙන්න ඕනේ.’’

තවත් හෝරා කිහිපයක් වුව ඈ සමඟ කතා කිරීම වටින්නේ වුණත් ලිපියේ අවසානය සනිටුහන් කළ යුතු නිසා වෛද්‍යවරියක ලෙස ඇයට සමාජයට දීමට ඇති උවදෙස කුමක්දැයි අවසාන වශයෙන් විමසීමි.

‘‘අතීතය එක්ක සලකලා බලනකොට අද මිනිසුන්ගේ ආහාරපාන, ඇවතුම් පැවතුම් සෑහෙන වෙනස්. ඒ නිසාම ගොඩක් දෙනා වයසට කලින් ලෙඩ්ඩු වෙනවා. නිරෝගිමත් මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ නම් නිතරම ඇඟට හිතකර ආහාර විතරක් ගන්න. ඇඟ මහන්සි වෙන වැඩ කරලා නිතරම ක්‍රියාශීලීව ඉන්න. ඇඟ විතරක් නෙමේ නිතරම මනසත් සැහැල්ලුවෙන් තියාගන්න බලන්න. ඊයේ වෙච්ච දේ ගැන හිත හිත අද දුක්වෙන්න එපා. අපි මහා කාලයක් ජීවත්වෙන්නේ නැහැනේ. ඉතින් ඒ ටික කාලේ කාටත් කරදරයක් නොවී හැමෝටම උදව්වක් පදව්වක් කරන් ජීවත් වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.’’

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප මධුසංක සිරිවර්ධන