Latest News

කැලෑ ප්‍රදේශයක දමා ගිය බිළිඳා භාර ගන්න විශාල පිරිසක් වාරියපොල අධිකරණයට

පසුගියදා වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ කැලෑ රොදක දමා ගොස් සිටිය දී හමුවූ බිළිඳා පරිවාස භාරයට පත්කරන ලෙස වාරියපොල මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළා.

බිළිඳා සොයාගත් දිනයේ සිට අද දිනය දක්වා නිකවැරටිය මූලික රෝහලේ රඳවා සිටියා.

පරිවාස නිලධාරීවරයා සඳහන් කලේ, මුල සිටම දරුවා නිරෝගී තත්ත්වයේ පසුවුවත් පොහොර උරයක දමා තිබූ නිසාවෙන් යම් විෂබීජ ශරීර ගතවී ඇත්දැයි පරීක්ෂණ කිරීම සදහා දරුවා එතෙක් කල් රෝහලේ රඳවා තැබූ බවයි.

වාරියපොල පොලිසියේ නිලධාරිනියන් දෙදෙනකු විසින් දරුවා අධිකරණය වෙත රැගෙන ආ අතර මීගලෑව “අමිල සෙවන” ළමා නිවාසයේ නිවාස මාතාවන් දෙදෙනකු දරුවාගේ කටයුතු වෙනුවෙන් පැමිණ තිබුණා.

දරුවා ලබාගෙන රැකබලා ගැනීම සඳහා අදත් කිහිප දෙනෙකුම වාරියපොල අධිකරණය වෙත පැමිණ තිබෙනවා.