විදෙස් ගත බිරිඳගෙන් සල්ලි ඉල්ලා වයස එකහමාරක් ඇති දැරියට පහරදුන් පියා අත්අඩංගුවට
අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දැරියකට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන සිදුවීමක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬා වැටෙන දැරියව වීඩියෝ කර ඇය වෙත යවන බව වැඩිදුරටත් අනාවරණයවී තිබෙනවා.
කොතරම් හැඬුවත් දරුවාගේ ඇඬිල්ල තඹ දොයිතුවකට මායිම් නොකරන මෙම පියා, මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට ඇයගේ මවට යොමු කරන බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීම දරාගත නොහැකි වීම හේතුවෙන් අදාළ කාන්තාව ඒ පිළිබඳව ඇගේ මවට පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දරුවාගේ මිත්තණිය,
“මේ මාසේ සල්ලි දෙන්න පරක්කු වුණ නිසා තමයි ළමයට ගහලා තියෙන්නේ. ඊයේ හවස තමයි මට වීඩියෝ ටික එවලා තිබ්බේ. දරුවට ගහනකොට මට ලොකු ගින්නක් ඇති වුණා. මට එක පාරටම මතක් වුණේ පොලීසිය. ඉතින් මම පොලීසියට ගියා.”
පහරදීමට අදාළව බකමූණ ප්‍රදේශයේ පදිංචි දරුවාගේ පියාව ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අද (10) හිඟුරක්කොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු මෙම විවාහයට පෙර තවත් විවාහයක් සිදු කරගත් අයෙක් වන අතර ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් වාර්තා වනවා.