Latest News

දින හතේ බිළිඳා රුපියල් 50,000ට විකුණු පියා

දින 7ක් වයසැති බිළිඳකු සිය පියා විසින් රුපියල් 50,000ට විකුණා ඇති අතර බිළිඳාව මිලට ගත් කාන්තාව සහ අතරමැදියෙකු ලෙස කටයුතු කළ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර මල්වතු ඔය ආසන්නයේ පදිංචි 21 හැවිරිදි මවක සහ කැබිතිගොල්ලැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

දරුවාගේ මව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී එම බිළිඳා සමග සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

තම බිළිඳා රුපියල් 50,000ක මුදලකට විකුණූ පියා එම ගණුදෙනුවෙන් පසු ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බවත් ගනුදෙනුව සිදුකර දරුවා සහ මුදල් දෙපාර්ශ්වයට ලබා දී ඇත්තේ අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා බවත් හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසනවා.

නීත්‍යානුකූලව විවාහ නොවී අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල අඹු සැමියන් ලෙස නවාතැන් ගෙන සිටින මෙම යුවළේ පිරිමි පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, කාන්තාව කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (26) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.