“අම්මා බලෙන් මාව සුද්දෙකුට බන්දන්න හදපු නිසා මම ගෙදරින් ආවා” දුව විකිණූ බඩල්ගම අම්මාගේ කතාව…
“මගේ ලොකු දුවට අවුරුදු පහයි. දැන් ටික දවසකට උඩදි දුව ලොකු මුදලකට විකුණුවා. ඒ මුදල්වලින් තමයි මේ ටිකේ අපි කාලා බීලා ඉන්නේ. එහෙම කරපු එකෙන් දුවගේ ජීවිතේ අනතුරේ වැටෙනවා කියල දැනගෙන හිටියා. එහෙමයි කියලා ඉතින් මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.”
වාසනාවකට මෙන් මේ කතාව ඇසෙන්නේ අපේ රටෙන් නොවේ. නමුත් දීපය වෙනස් වුණු පමණින් අම්මෙක් තම ලෙයින් උපන් දියණියව පිරිමියෙකුට විකිණීම කිසිකලෙකත් සමාවක් දියහැකි අන්දමේ වරදක් නොවේ. ඉහතින් කී දියණිය විකුණූ අම්මා හිටියේ ඇෆ්ගනිස්තානයේය. තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය ඔවුන් යටතට ගැනීම නිසා මේ දක්වා කාලයක් එරටට ලැබුණු විදේශ අරමුදල් දැන් නැවතී ගොස් තිබේ. ඒ නිසා එරටේ මිලියන ගණනක මිනිසුන් අද සිටින්නේ සාගතයකය. එහි ගොදුරු බවට පත්ව ඇති මිනිසුන් දැන් තම බඩවියත රැකගැනීමට නොකරන දෙයක් නැත. මේ අම්මාද ඇගේ ලෙයින් උපන් දියණිය පිරිමියකුට විකුණා දමන්නේ ඒ ලැබෙන මුදලින් දින කීපයකට හෝ බඩගින්දර නිවාගැනීමේ අදහසිනි.
“ලංකාවේ නම් ඔහොම අම්මලා නෑ.”
ඒ ඇෆ්ගනිස්තානයේ කතාව දන්නා උදවිය අපේ රටේ අම්මලා ගැන සිතූ හැටිය. එහෙත් ඒ හිතූ හැටි වැරදිය. පසුගිය දිනෙක ඇෆ්ගනිස්තානයේ අම්මා කළ දේට වඩා නොහොබිනා වැඩක් කළ අම්මා කෙනෙකු පිළිබඳව අපේ රටින් තොරතුරු වාර්තා විය. ඒ බඩල්ගම පොලිස් වසමෙනි. පොලිස් විමර්ශන ඇසුරෙන් ඒ කතාව මෙසේය.
————————
පහුගිය ටික දොහේ දොඹෙන් යන්නට වැහැපු වැස්සට පාඩමක් උගන්වන්නට මෙන් දැන් කොයි කොයි පැතිවලටත් හොඳටෝම පෑවිල්ලය. මිනිසුන්ට පමණක් නොව මේ පෑවිල්ල ගහටකොළට සතාසීපාවාට පවා තදින්ම දැනී ඇත. එහෙව් දහවලේ බඩල්ගම පොලිස් ස්ථානය වෙත පසුගියදා වයස අවුරුදු 40ක පමණ පෙනුමැති කාන්තාවක් පැමිණ තිබුණේ පැමිණිල්ලක් ලියන්නටය.
“පැමිණිල්ලක් දාන්න වෙන්න ඇති නේද?”
පැමිණිලි බාරගන්නට සිටි පොලිස් නිලධාරියා එසේ අසද්දී ඇය හිස සැලුවා පමණි. අනතුරුව ක්ෂණියකින් මුහුණේ ඉරියව් වෙනස් කරගත් කාන්තාව ඉතා බයාදු මුහුණක් පෙන්වමින් නිලධාරියාට මෙසේ පැවසුවාය.
“සර්, මගේ දුව දැන් මාස තුනක ඉඳලා අතුරුදන්. එයාට තාම අවුරුදු 16යි. අනේ මට මගේ දුවව කොහොම හරි හොයලා දෙන්න.”
පැමිණිලිකාරියගේ පැමිණිල්ලට බඩල්ගම පොලිසියේ නිලධාරියා පුදුම වූයේ නැත. මන්ද ඒ ජාතියේ පැමිණිලි බඩල්ගම පොලිසියේ පැමිණිලි පොතට අලුත් නොවන බැවිනි. එහෙත් ඔවුන්ට විශාල සැකයක් පැමිණියේ මාස තුනක් යනතෙක්ම එම කාන්තාව සිය දියණිය අතුරුදන්වීම ගැන පොලිසියට පැමිණිලි නොකළ එකටය.
“තමුන් හිතන්නේ දුවට මොකක් වෙන්න ඇති කියලද?”
පැමිණිල්ල ලියන අතරවාරයේ පොලිස් නිලධාරියා එසේ අසද්දී ගත්කටටම ඇය පැවසුවේ මෙරටට පැමිණ සිටි ඉතාලි ජාතිකයෙකුගේ අනුදැනුම මත දියණිය පැහැරගෙන ඇති කතාවකි. ඒ කතාවෙන් පසු පොලිසියේ සැකය දෙගුණ වී ගියේ එවන් සැකසංකා තිබියදී ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් නොකර සිටීම හේතුවෙනි.
“හරි අපි දුව ගැන හොයලා බලමුකෝ.”
ඇතිවූ සැකය අංශු මාත්‍රයක්වත් පැමිණිලිකාරියට නොපෙන්වූ පොලිසිය එතැන් සිට විමර්ශන කටයුතු ආරම්භ කෙරුවද කිසිඳු අන්දමේ හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය. අනතුරුව මීගමුව පොලිසියේ විමර්ශන අංශයද ඒ විමර්ශන කටයුතු සඳහා එක්විය.
“ඔය කියන විදිහේ ගෑනු ළමයෙක් කටුනායක පැත්තේ ඉන්නවලු. ඒත් ඔය කියන ළමයමද කියලා නම් දන්නේ නෑ.”
ඒ පසුගිය 04 වැනිදා විමර්ශන අංශයට ආ ආරංචියකි. වහා ක්‍රියාත්මක වූ ඔවුන් ඒ මොහොතේම කටුනායක, අමන්දොළුව නම් ප්‍රදේශයට ගිය අතර ආරංචිය නිවැරදි එකක් බව තහවුරු වුණේ අතුරුදන් බවට පැවසූ තරුණිය ඒ ප්‍රදේශයේ කුලී නිවසක නතර වී සිටි බැවිනි. පසුව ඇය පොලිස් බාරයට ගත් අතර එතැන් සිට පොලිස් විමර්ශන ආරම්භ විය. ඒ සිද්ධියේ මුල මැද අග තනිකරම ප්‍රහේලිකාවක්ව තිබූ හෙයිනි.
“මාව බලෙන් කවුරුත් මෙහෙට අරන් ආවේ නෑ. මමම තමයි කැමැත්තෙන්ම මෙහෙට ආවේ. ඔය අම්මා කියන කතා පට්ටපල් බොරු.”
තරුණිය එසේ කියද්දී සිදුවූ දෙය ඇයට මුල සිට කියන මෙන් පොලිසිය පැවසුවේ ඈ පැවසූ කතාවේ සැඟවුණු පැත්තක් ඇති බවට පොලිසියට ඉවෙන් මෙන් දැනුණු නිසාය.
“මං ගෙදරින් ආවේ දෙසැම්බර්වල. ඒ ඇවිත් මුලින්ම හිටියේ මිනුවන්ගොඩ රබර්කැලේ පැත්තේ බෝඩිමක. එහේ ඉන්නකොට මට ආරංචියක් ආවා අපේ අම්මා මාව හොයන්න එනවා කියලා. ඒ ආරංචිය ආපු ගමන් මං එතැනින් අයින් වෙලා කටුනායක අමන්දොළුවට ආවා.”
පොලිසිය ඊළඟට ඇයගෙන් ප්‍රශ්න කළේ මවටත් හොරා තරුණිය ගෙදරින් පැනගිය හේතුවයි.
“අම්මා මට ඉන්න දෙන්නේ නෑ. එයා මාව පිටරට සුද්දෙකුට කසාද බන්ඳලා දෙන්න හදනවා. මං බඳින්න බෑ කියද්දි එයා මට හිරිහැර කරනවා. ඒවා දරාගන්න බැරිම තැනයි අම්මට හොරෙන් ගෙදරින් එන්න තීරණය කළේ.”
එපමණක් නොව දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවුණේ එම කාන්තාව තම දියණිය යම් යම් අවස්ථාවලදී පිරිමින්ට විකුණා මුදල් සොයා ඇති බවයි. තරුණිය ඇයටත් හොරා නිවසෙන් පිටවී යන්නට ලොකුම හේතුව වී තිබුණේද එයයි.
“ඔය ගෑනු කෙනාගේ චරිතේ එච්චර හොඳ එකක් නෙවෙයි.”
ඒ බඩල්ගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අපත් සමඟ කී කතාවයි. ඔහු පැවසුවේ තවත් පොලිසි කිහිපයකම පොලිස් පොත්වල ඇයගේ හපන්කම් ලියැවී ඇති බවයි. දැනගන්නට ලැබුණු තොරතුරු අනුව මෙම කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචිකාරියකි. වසර කීපයක් විදෙස්ගත වී සිටි ඇය පසුව යළිත් මෙරටට පැමිණ බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලයෙක් සමඟ ජීවත්ව ඇතැයි පැවසෙයි. ඇයට විදෙස් භාෂා කීපයක්ද චතුර ලෙස කතාකිරීමේ හැකියාව ඇති අතර ඒ හරහා මෙරටට පැමිණෙන විදේශිකයින් ඇසුරු කිරීමටද පෙළඹී සිට තිබේ. ඇය දියණියව විවිධ පුද්ගලයින්ට විකුණා තිබෙන්නේ එවැනි පසුබිමක් තුළ සිටිමිනි.
“ඔයා අම්මා එක්ක ආයෙත් ගෙදර යන්න කැමති නැද්ද?”
පොලිසිය එසේ අසද්දී 16 හැවිරිදි තරුණිය පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වී ඇත්තේ යළිත් ඇයව මවට බාරනොදෙන ලෙසයි. මවත් සමඟ යාමට අකමැත්ත පළකිරීම නිසා අධිකරණය හරහා ඇය සුදුසු භාරකරුවෙක් යටතට පත්කිරීමට කටයුතු කරනා බවයි පොලිසිය ‘ධරණී’ට පැවසුවේ. එසේම පොලිස් විමර්ශන සිදුකර අවසන් වූ වහාම අදාළ කාන්තාවගේ ඉරණමද නීතිය හරහා විසඳෙනු ඇත.
“අනේ දෙයියනේ මෙහෙමත් අම්මලා…”
මෙය කියවූ කාට කාටත් එහෙම නොසිතුණොත් පුදුමය. මන්ද අප දන්නා පරිදි දරුවෙකුට වැඩිපුරම ආරක්ෂාව ඇත්තේ අම්මෙකුගේ ළඟය. දරුවන් තුළද ඒ විශ්වාසය හුන්නස්ගිර සේ උසට තිබේ. ඒ නමුත් ඒ අම්මාම තම ලෙයින් බිහිකළ එකම දියණිය මුදලට ගිජුවී පිරිමින්ගේ මනදොළ පිනවීමට අතින් අත යවන්නේ නම් කටක් ඇර ඇයට ‘අම්මා’ යැයි කිව හැකිද? සමාජය පිළිගත යුතු ඇත්ත නම් දරුවෙක් කුසින් වැදූ පමණින්ම කිසිඳු ගැහැනියක් අම්මෙක් වන්නේ නැත. ඇය අම්මෙක් වන්නේ ‘අම්මා’ යන වචනයට ඉටුකරන සාධරණය උඩය. ඉහතින් කී අම්මාද ඇතුළුව ඒ සාධාරණය අකුරට ඉටුනොකරන අම්මලා අපේ භාෂාවෙන්ම කිව්වොත් බොල් අම්මලාය. ඒ අම්මලාට ආත්ම ගණනක් පෙරුම් පිරුවත් බුදුන්ට දෙවැනිව දෙවැනි බුදුන් වෙන්නට නම් කොහෙත්ම බැරිය.
රුවන් එස්.සෙනවිරත්න