විශේෂාංග

ගෝරිල්ලට වෙච්ච වැඩේ ඔබේ දරුවට වෙන්න දෙන්න එපා

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා. අද කෙසෙල් කොළවලින් ලන්ච් ශීට් හදමු.

මේ කතාබහ පරිසරයට සේවයක් කරන ගමන් අතටත් හොඳ ගාණක් ගන්න පුළුවන් ස්වයං රැකියාවක් ගැන. ඒ තමයි කෙසෙල් කොළ ලන්ච් ශීට් නිෂ්පාදනය.

ඔන්න දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කරපු මුල් කාලේ සත්තු බලන්න එන කාගේ කාගෙත් ආදරේ දිනාගත්තු ගොරිල්ලෝ යුවළක් එහෙ හිටියලු. අනේ මේ දෙන්නා බොහොම ආදරෙන්ලු හිටියේ. ඔහොම ටික දවසක් යද්දි මේ ජෝඩුවෙන් එක්කෙනෙක් මැරිලා. මරණෙට හේතුව සත්තුවත්ත බලන්න එන උදවිය විසි කරලා ගියපු කෑම මුල්වල ලන්ච් ශීට් ඇතුළු පොලිතින් ආහාරයට ගත්තු එකය කියලා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙලා. වැඩිහිටි උදවිය නම් මේ කතාව දන්නවත් ඇති. ඇත්තටම ලන්ච් ශීට් පරිසරයට සහ සත්තුන්ට කරන හානිය සුළුපටු නැහැ. දවසකට පරිසරයට මුදාහැරෙන ලන්ච් ශීට් ප්‍රමාණය මිලියන 10කට වැඩි මිසක අඩු නෑ කියනවනේ. මේවගෙන් පොළොවට එකතුවෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අවුරුදු 200කටත් වඩා පසේ රැඳෙන බවත් කියන්න ඕන.

අනික උණු උණුවට දුම් දාන කෑම එකක් මේ පොලිතින් කොළවල එතුවම ශරීරයට අහිතකර දෑ ආහාරවලට එකතු වෙන්නත් ඉඩප්‍රස්ථාව තියෙනවලු. ඒක ශරීර සෞඛ්‍යට හොඳ නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕනේ දෙයක් නෙමේනේ ඉතින්.

ඔය එකී මෙකී හැම ප්‍රශ්නෙටම විසඳුම තමයි කෙසෙල් කොළ ලන්ච් ශීට් එක. අනික ඉතින් කෙසෙල් කොළේ කියන්නේ ලංකාවේ අපිට ආගන්තුක දේකුත් නෙමේනේ. ඉස්සර කාලේ ගැම්යෝ බත් ගෙඩි බඳින්න වැඩි හරියක්ම යොදාගෙන තියෙන්නේ කෙසෙල් කොළ. ගමේ නගරේ කියලා නෑ දැන් වුණත් ගොඩක් ගෙවල්වල අම්මලා කිරිබතක් තවාගන්න, රොටියක් වඩාගන්න නැත්තම් අළුවා කෑල්ලක් කපාගන්න යොදාගන්නේ කෙසෙල් කොළ කෑල්ලක්නේ.

කෙසෙල් කොළේක කෑම බඳින එක පිටිපස්සේ තියෙන තාක්ෂණික කාරණාව ගැන නම් ගොඩක් අය දන්නේ නැහැ. කෙසෙල් කොළවල ඊටම ආවේණික ඉටි විශේෂයක් තියෙනවලු. කෙහෙල් කොළයක් රත් කළාම ඒ උණුසුමින් අර ඉටි සංයෝගය වෙනස් වෙන නිසා රත්කළ කෙසෙල් කොළයක් ඉරෙන්නේ නැතිව අපි කැමති හැඩේකට නවාගන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් පොඩි හැකියාවකුත් තියෙන නිසා කෙසෙල් කොළේ බත වැඩි වෙලාවක් නරක් නොවී තියාගන්නත් පුළුවන්.

ඒ වගේම තමයි ඔය ඉටි වර්ගය නිසා ආහාරවලට ප්‍රණීත රසයක් සහ සියුම් මිහිරි සුවඳක් එක්වෙනවා. ඒ නිසාම කොසෙල් කොළේ ඔතාපු බත් කන්න කවුරුවත් අකමැති නැහැ. ඒකනේ හැම ටවුමකම කෙසෙල් කොළේ ඔතාපු බත් විකුණන්න තියෙන්නේ.

ඉතින් කෙසෙල් කොළවලට හොටෙල් සහ රෙස්ටුරන්ට්වලින් වගේම දරුවන්ට සහ පරිසරයට ආදරේ කරන අම්මලා ඉන්න ගෙවල්වලින් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ස්වයං රැකියාවක් විදිහට පටන්ගත්තොත් මාසිකව හොඳ මුදලක් අතට ගන්න අමාරු නැහැ.

කෙසෙල් ගස් කියන්නේ දුර්ලභ ශාකයක් නෙමේනේ. ඒ නිසා ගමේ ගොඩේ ටිකක් ඇවිදලා බැලුවොත් කෙසෙල් පිති දහයක් විතර හොයාගන්න අමාරු නැහැ. නැත්තම් කෙසෙල් වතු කරන අයගෙන් අපතේ දාන කෙසෙල් පිති ටිකක් ඉල්ල ගන්න. මුලින්ම කොළ දෙකකින් වැඩේ කරලා බලමු. හැබැයි ඉරිලා, පළුදු වෙලා නැති කෙසෙල් කොළ වෙන්නත් ඕනේ.

 

පියවර 1

කෙසෙල් කොළේ පිට පැත්තේ පුංචි කෘමි සත්තු ඉන්නවා නම් එයාලව පරිස්සමට අයින් කරන්න.

 

පියවර 2

කට පළල් ලොකු බඳුනකට වතුර පුරවලා හොඳට උණු කරගන්න. දැන් අර කෙසෙල් කොළය විනාඩි දෙකක් විතර උණුවතුරේ ගිල්වලා තියන්න.

 

පියවර 3

කෙසෙල් කොළවල උඩ සහ යට තෙත රෙදි කඩකින් පිහිදගන්න. ඊටපස්සේ වියළි රෙදි කෑල්ලකින් පිහිදලා සම්පූර්ණයෙන්ම වගේ වතුර ඉවත් කරගෙන, නැවතත් පැය දෙක තුනක් පත්‍ර අව්වේ වේල ගන්න.

 

පියවර 4

කෙසෙල් කොළ කෑම ඔතාගන්න ප්‍රමාණවත් කොටස්වලට වෙන් කරන්න. දැන් එක පැකට් එකකට කෙසෙල් කොළ 5ක් වගේ එන විදිහට ශීට් ටික පැකට් කරගන්න.

 

කොළ පහේ කෙසෙල් ලන්ච් ශීට් පැකට් එකක් රුපියල් 100කට අලෙවි කරන්න පුළුවන්. කෙසෙල් ලන්ච් ශීට් කෙනෙක්ට සෝද සෝදා දවස් හතර පහක් වුණත් භාවිත කරන්න පුළුවන්. මේවා ශීතකරණයේ මාස 5-6ක් තියාගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය උෂ්ණත්වයේ දවස් හතරක් විතර තියාගන්නත් පුළුවන්. ඒ බව අනිවාර්යයෙන්ම ඇසුරුමේ සඳහන් කරන්න. වැඩි විස්තරවලට 0714766819 අංකයට කතා කරන්න.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි