අත කැඩුණට පස්සෙ ලොකු පලතුරු කූඩයක් අරගෙන ප්‍රේමදාස ආර්යාව මාව බලන්න ආවා
ඒ 1991 පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනය නිමිත්තෙන් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති සංදර්ශනයයි. තරඟ සංදර්ශන කිහිපයකට පසු ඊළඟට පැවැත්වීමට නියමිතව තිබුණේ නරඹන්නන් කවුරුත් දැඩි ආසාවෙන් බලාහුන් ගිනි පැනීමේ අංගයයි. අඩි හතරක් උස බාධක අට්ටාලයත්, එයිට එහායින් වූ ගිනි වළල්ලත්, එයින් පනින්නට සූදානම් වූ යතුරුපැදිකරු දෙසත් රැස්ව සිටි මහා ජනකාය බලාසිටියේ කුතුහලයෙන් පුපුරුගසනා දෑස්වලිනි.
ඔල්වරසන් මැද විස්මයජනක දෑස්වලින් මේ දෙස බලා සිටිනා තවත් විශේෂ අමුත්තන් දෙදෙනෙකු විය. ඒ එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන සහ අගමැති රණසිංහ ප්‍රේමදාසයි.
ඊළඟට ප්‍රදේශයේම ඔල්වරසන් හඬ මැද යතුරුපැදිකරු පැදිය පණ ගැන්වීය. පැයට කිලෝමීටර 60ක වේගයෙන් පැමිණි යතුරුපැදිය මුලින්ම අඩි හතරේ අට්ටාලයට උඩින් පැන පසුව ඊට එහායින් වූ ගිනි වළල්ලෙන්ද පැන්නේය. පැදිය නවතාලූ යතුරුපැදිකරු ඊළඟ මොහොතේදී එතෙක් වෙලා හිස පැළඳ සිටි හෙල්මටය ගලවා දැමීය.
පුදුමයකි…
ගිනි වළල්ලෙන් පනිනවා දුටුවාටත් වඩා රැස්ව සිටි පිරිස පුදුම වූයේ ගිනි වළල්ල තරණය කළේ පිරිමියෙක් නොව කොණ්ඩ කරල් දෙකක් ගෙතූ පුංචි කෙල්ලක බව දුටුවාට පසුවය. දර්ශනයෙන් ඉමහත් ප්රමෝදයට පත් වූ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ඒ දක්ෂ තරුණියව ඉක්මනින්ම තමා සිටිනා ප්‍රේක්ෂකාගාරයට කැඳවූවාය.
“එතකොට මට 23යි. තරුණ ගෑනු ළමයෙක් මේ වගේ වැඩක් කරයි කියලා විශ්වාස කරන්නත් බැහැයි කියලා ජනාධිපතිතුමා කිව්වා. ජනාධිපති වගේම අගමැතිතුමත් ඉස්සරහටම යන්න කියලා ඒ වෙලාවේ මට සුබ පැතුවා.”
ඒ හඬ එදා කොණ්ඩ දෙකක් බැඳ ගිනි වළල්ල තරණය කළ කෙල්ලගේය. නමින් බන්දුමතී විජේවර්ධන වූවත් කවුරුත් ඇයව හඳුන්න්නේ බන්දු විජේවර්ධන කියාය. යුද හමුදා පොලිසියේ රයිඩර් කණ්ඩායමේ එකම කාන්තා සාමාජිකාව මෙන්ම ගිනි වළලුවලින් පැන වාර්තා තැබූ ලොව පළමු කාන්තා සෙබළියද ඇයයි. මේ ගතින් වියපත් වූවත් අදටත් සිතින් තරුණ ඇය සමඟ අපි කළ කතාබහක සටහනය.
“මම පුංචි කාලේ ඉඳලම ක්‍රීඩාවට දක්ෂයි. ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. 1979 දී ලංකාවේ පළවැනි යුද හමුදා කාන්තා බළකායට සෙබළියන් බඳවා ගන්නවා කියලා අයැදුම්පත් කැඳෙව්වා. ක්‍රීඩාවලටත් දක්ෂ නිසා ඉතින් මටත් කාන්තා බළකායට බැඳෙන්න ආස හිතුණා.”
1980 වසරේ ලංකාවේ පළමු යුද හමුදා කාන්තා බලකායට බැඳෙන ඇය මුල්ම යතුරුපැදි කරණම් සියැසින් දකින්නේ 1982 දී සරවණමුත්තු ක්‍රීඩාංගණයේ පැවති යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයේදීය.
“එතැනදී යුද හමුදා පොලිසියේ රයිඩර් ටීම් එක යතුරුපැදි කරණම්, ගිනි වළලු පැනීම් වගේ විශේෂාංග රැසක් ඉදිරිපත් කරනවා මම දැක්කා. එව්වා දැක්කහම අනේ මටත් ඒ වගේ දේවල් කරන්න ඇත්නම් කියලා මට හිතුණා.”
පසුව බන්දුගේ ඉල්ලීමද සලකා බැලූ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ කර්නල් කේ.ඒ.කුලරත්න, ලුතිතන් කර්නල් එස්.අයි.දහනායක, කපිතාන් හිලරි වීරසිංහ සහ සැරයන් සුනිල් ජයවික්‍රම වැනි අය යුද හමුදා පොලිසියේ කාන්තා රයිඩර් කණ්ඩාමක් පිහිටුවීමට යුහුසුළු විය.
“පස්සේ මම යුද හමුදා කාන්තා බළකායෙන් යුද හමුදා පොලිසියට මාරු වුණා. මාත් එක්ක තව නිලධාරිනියෝ හතරදෙනෙක් යතුරුපැදි පුහුණුවට ගියා. හැබැයි පුහුණුව ඉවර වෙන්නත් කලින් ඒ අය ටීම් එකෙන් අයින් වුණා. ඉතින් කණ්ඩායමේ ඉතුරු වුණේ මම විතරයි. විශ්වාස කරයිද දන්නේ නෑ ඒ වෙනකොට මම මෝටර් සයිකලේක පිටිපස්සෙවත් ඉඳගෙන ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් මුලින්ම අපිට දුන්නේ බයිසිකලේ තල්ලු කරන්න, හරවන්න, නවන්න. පස්සේ කොහොමහරි ටිකෙන් ටික වැඩේ පුරුදු වුණා.”
1984 ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා සමාජය මඟින් පනාගොඩ පැවැත්වූ කාන්තා විවෘත බාධක ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගැනීම යතුරුපැදි අංගයකින් ඇය ලබාගත් පළමු ජයග්‍රහණයයි. කඳු හෙල්, මඩවගුරු ආදී බාධක මැඩගෙන යතුරුපැදිය පැදීම එම තරඟයේ ස්වභාවයයි.
අපේ කතානායිකාව බන්දු ජයවර්ධන පළමුවරට ගිනි වළල්ලකින් පනින්නේ 1984 ඇල්පිටිය මහපොළ සංදර්ශනයේදීය. බ්‍රිතාන්‍ය හමුදාවේ කාන්තා රයිඩර් කණ්ඩායමක් තිබුණද ඔවුන් කරණම් ගැසීම, ගිනි වළලු පැනීම වැනි අංගවලට සහභාගී වී නොමැති නිසා යතුරුපැදියකින් ගිනි වළල්ලක් තරණය කළ ලොව පළමු සෙබළිය වන්නේ ඇයයි. ඉදින් එයින් පසු ඇය මහපොළ, ගම් උදාව මෙන්ම නිදහස් උත්සවවලට නැතිවම බැරි චරිතයක් වූවාය.
“ඒ කාලේ මම පැද්දේ ‘DT 175’ වර්ගයේ බයිසිකලයක්. බයිසිකලෙන් ගිනි වළල්ල ගාවට ළංවෙනකොට මගේ හිතට අමුතුම ශක්තියක් එනවා. ඒ නිසා මගේ හිතට කවදාවත් බයක් දැනිලා නැහැ. හැබැයි 1992 කාන්තා දිනේට පැවැත්වුණු සංදර්ශනයේදි මට අනතුරක් වුණා. එදා මම ජීප් එකක් උඩින් පැනලා ඊගාවට ගිනි වළල්ලෙන් පනිනකොට මගේ බයික් එක ගිනි වළල්ලේ හිරවුණා. ඒ පාර මාව විසිවෙලා ගිහින් මගේ දකුණු අත කැඩුණා. ඔය උත්සවය බලන්න එදා ප්‍රේමදාස මැඩමුත් ඇවිල්ලා හිටියා. මාව වැටුණු එකට එතුමියට හරි දුකයි. පහුවදාම එතුමිය ලොකු පලතුරු මල්ලකුත් අරන් මාව බලන්න ඉස්පිරිතාලෙට ආවා. මාස කිහිපයක් නිහඬව ඉඳලා අත සුවවෙච්චි ගමන් ආයේ බයික් පදින්න පටන්ගත්තා.”
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සුරදූතියෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ රෝසි සේනානායක වෙනුවෙන් ත්‍රාසජනක රංගනයට දායක වී ඇත්තේද ඇයයි. එසේම ඇය සිය පහළොස් වසරක ලද සේවා කාලයේදි කළ සේවය වෙනුවෙන් සන්නද්ධ සේවා සහ දිරිය සේවා පදක්කම්වලින්ද පිදුම් ලබා ඇත.
“යතුරුපැදි පදිනවට අමතරව යාපනේ, කල්ලඩි, කන්කසන්තුරේ, බූස්ස වගේ ප්‍රදේශවල පොලිස් රාජකාරී කරලා තියෙනවා. එකපාරක් මම යාපනය කොටි කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රාජකාරි කළා. එතැන හිටපු දමිළ කාන්තාවෝ හැමෝම වගේ මාත් එක්ක හිතවත් වුණා. දවසක් දෙකක් යද්දි මට දෙමළ පුළුවන් වුණා. එයාලට සිංහල පුළුවන් වුණා. කොටින්ම කිව්වොත් අන්තිමට ඒ අයගේ රණ්ඩු සරුවල් පවා බේරුවේ මමයි.”
ඇය කීවේ සිනහ නගමින්ය. යුද හමුදා ගැමුණු බළකායේ කෝප්රල් පීරිස් (පසුව මේජර්) සමඟ විවාහ වී සිටින ඇය දයාබර පුතුන් දෙදෙනෙකුගේ මවකි. 1980 ගණන්වල යතුරුපැදියෙන් රට හෙල්ලූ ඇගෙන් සමුදීමට පෙර තවත් එක් ප්‍රශ්නයක් ඇසිය යුතුය.
“තවමත් බයිසිකල් පදින්න පුළුවන්ද?”
“අපොයි ඔව් මොකද බැරි… මට දැන් හැටපහයි. ඒත් අදටත් මම පුතාලා දෙන්නගේ බයිසිකල් පදිනවා.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි