ටයි කෝට් ඇඳපු කොළඹ හතේ මහත්වරුන් සරමට බැස්සූ සුදුනෝනා
‘‘බාබරා, අපේ ළමයි හැමදාම රෙදි වියනවා. ඒත් ඒ වියන රෙදිවල කිසිම කලඑළියක් නෑ. මේකට මොනවා හරි කරන්න පුළුවන්ද?’’
1958 වසරේ දවසක ‘ගුඩ් ෂෙපඩ්’ කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා මව්තුමිය කළ ඒ ඉල්ලීමෙන් පසු බාබරාට හරි අපූරු අදහසක් පහළ විය. ඒ කන්‍යාරාමයේ දැරියන් වියන රෙදි වර්ණ ගැන්වීමටයි. චිත්‍ර කලාවට උපන් හපන්කම් තිබුණු ඇයට එය කිසිසේත්ම අමාරු කාරියක් වුණේ නැත. අපේ දේශීය රෙදි විවීමේ කලාවට සුදු නෝනා කෙනෙකු අතින් බැබළෙන වර්ණ එකතු වෙන්නට පටන්ගත්තේ එහෙමය.
‘‘අතින් වියන රෙදි ඕන දෙයක් අපිට පුළුවන් මේ විදියට දීප්තිමත් වර්ණවලින් නිර්මාණය කරන්න. හැමවිටම අලුත් දෙයක් හිතන එකයි වැදගත්. ඒකෙන් අපේ මොළය වර්ධනය වෙනවා.’’
බාබරා රෙදි වියන තරුණියන් දිරිමත් කරන්නට නිතර නිතර කී කතාවකි ඒ. ඒ අතර ඇය සොබාදහමේ අපූර්ව දර්ශනද රෙදි විවීමේ කලාවට එකතු කළාය. එතෙක් රෙදිපිළි කලාවේ නොදුටු අංගයක් වූ ඊට ඉහළ ආකර්ෂණයක් මෙන්ම හොඳ ඉල්ලුමක්ද නිර්මාණය විය.
මේ අතරතුර බාබරා සුදු නෝනා තවත් අලුත් වැඩක් ගැනද සිතුවාය. ඒ තමා දන්නා දේ ගමේ ගොඩේ උන් දුප්පත් ගැහැනුන්ට කියාදී ඔවුන්ගේ අතටත් කීයක් හෝ ලැබෙන කුඩා ආදායම් මාර්ගයක් තනාදීමටයි.
ඇය ‘බෙයාර්ෆුට්’ (Barefoot) ව්‍යාපාරය ආරම්භ කළේ ඒ අදහසත් ඇතිවය. ඒ හරහා ඇයට අවශ්‍ය වූයේ ග්‍රාමීය ආර්ථිකය සහ ගෘහාශ්‍රිත කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් රෙදිපිළි කර්මාන්තය තුළ දැවැන්ත පෙරළියක් කිරීමටය. එහෙත් කිසිදා කොතැනක හෝ ව්‍යාපාරිකාවක් ලෙසින් තමන්ව හඳුන්වා ගන්නට ඇය අකමැති වූවාය.
බෙයාර්ෆුට් වහල යට විකිණුනේ ඈත ගම්දනව්වල දිවි ගෙවූ අඩු ආදායම්ලාභී කාන්තාවන් අතින් වියෙන ගෙතෙන මැහෙන නිර්මාණයන්ය. එවන් ඇඳ ඇතිරිලි, තිරරෙදි ආදිය බොහෝවිට ගිහින් නතරවුණේ ඒ ගැමි ගැහැනුන්ට යන්නට බැරි මෙරට තරු පන්තියේ හෝටල්වලය.
මේ අතරතුර වරක් දැවැන්ත නූල් හිඟයක් රටේ ඇතිවිය. ඒ වනවිටත් සංචාරක හෝටල්වලට තම රෙදිපිලි ලබාදෙමින් සිටි නිසා බාබරාට එය විශාල ගැටලුවක් විය. නූල් හිඟ වුණා කියා වැඩ නවත්තන්නට බැරිය. ඒ නිසා ඇය තනිවම මෝටර් රථය පදවාගෙන පිටකොටුවට ගියාය. එහි ගොස් බොම්බයි ලූනු බහාලන ගෝනි මිලට ගෙන එම ගෝනි ලිහා ඒවායෙන් මෝස්තර විව්වාය.
රෙදි විවීම ගැන එකල සමාජයේ එතරම් ඉහළ පිළිගැනීමක් නම් නොවේ තිබුණේ. එය පහත් වෘත්තියක් බවයි බොහෝදෙනාගේ මතය වුණේ. නමුත් බාබරා සුදු නෝනා නම් ඒ ගැන කවදත් කතා කළේ මහ ඉහළිනි.
‘‘රෙදි විවීම සරල නෑ. ඒක ඉස්තරම් කර්මාන්තයක්. මොළය වර්ධනය වන රැකියාවක්. නූලෙන් නූලට අදින එකේ පටන් එක බීම් එකකට ගේන එක, අතරමඟදි නූල් කැඩුනොත් පැටලුනොත් ආපසු එය යථා තත්ත්වයට පත්කරගන්න එක වගේ රෙදි විවීම කියන්නේ සංකීර්ණ දෙයක්. ඒ වගේම හොඳ ඉවසීමක් හොඳ නුවණක් තියෙන්න ඕන, ප්‍රශ්න විසඳගෙන නූල් ගොඩකින් කරන මේ විස්කම කරන්න.’’
ඒ යුගය මෙරට කාන්තාවන් අතිබහුතරයක් මැදපෙරදිග රැකියාවලට යන්නට පටන්ගත් කාලයයි. වැලිකතරේ අනේක දුක් විඳින්නට යන ඒ අහිසංක ගැහැනු ගැන බාබරාගේ හිතේ තිබුණේ අප්‍රමාණ අනුකම්පාවකි. ඒ නිසා ඇය බෙයාර්ෆුට් ආයතනයේ ඔවුන්ට රැකියා අවස්ථා ඇති කළාය. ඒ එහි රෙදි වියන, ඩයි කරන, මහන ගොතන වැඩ හැමදේම මැෂින්වලින් වෙනුවට අතින් කිරීමට යෝජනා කරමිනි. පිටරට නොගොස් මෙරටදීම යම් ආදායමක් උපයාගන්නට අඩුආදායම්ලාභී කාන්තාවන්ට තම ආයතනය හරහා අවස්ථාවක් සලසාදීම ඇගේ එකම අරමුණ විය.
‘‘ඒ දේවල් අතින් කරන තරමට රස්සා වැඩි වුණා. අදටත් අපේ බෙයාර්ෆුට් ඇඳුම් සහ නිර්මාණ 80%ක්ම නිමවෙන්නේ අතින්.’’
බාබරා සුදුනෝනා ඇරඹූ රෙදිපිලි කලාව අද ජාත්‍යන්තරයට ගිය ව්‍යාපාරයකි. නමුත් හැටේ දශකයේ ඇරඹූ එම ව්‍යාපාරය ඇය පවත්වාගෙන ගියේ මහා පරිමාණ ව්‍යාපාරයන් ලෙසින් නම් නොවේ.
‘‘කුඩාවට තියෙන තරමට වටිනාකම වැඩියි. මේක කලාවත් එක්ක යන දෙයක්. අපි මෝස්තර නිර්මාණ කරන්නේ අපේ නියමිත වෙලාව අරන්.’’
එසේම ඇය හුදෙක් ලාභය ගැන සිතා කටයුතු කළ චරිතයක්ද නොවේ. ඇයට කවදත් අවශ්‍ය වූයේ ගුණාත්මක අතින් ඉහළ නිමැයුමකි.
‘‘අපි පාරිභෝගිකයා නොගැළපෙන වර්ණ යොදන්න කියන කිසිවක් බාරගන්නේ නෑ. එකම මෝස්තරය එකම වර්ණය දිගින් දිගටම වියන්න ගන්නෙත් නෑ.’’
එසේම එදා කොළඹ නෝනා මහත්වරුන් ඇන්දේ පැළැන්දේ ඉංග්‍රීසි පන්නයේ ඇඳුම් පැළඳුම්ය. සරම, කමිසය, ලුංගිය, කුර්තාව ඔවුන්ට ඒ හැටි හිතට ඇල්ලුවේ නැත. එවැනි පසුබිමක කොලඹ තරු පහේ හෝටල්වල පැවති ප්‍රියසාද, මඟුල්තුලා ආදියට ඇඳගෙන යා හැකි ආකාරයට සරම්, ලුංගි ආදිය නවීකරණය කර අලුත් ආරෙකට හඳුන්වා දුන්නේ බාබරාය. ඇය කොළඹ අහස යට හැදූ ඒ රැල්ල අදටත් වලංගුය.
සෞන්දර්යාත්මක ජීවන චාරිකාවක නියැලුණු බාබරා සන්සෝනි 1928 අප්‍රේල් 22දා ඉපදුණේ මහනුවරය. සුදු ජාතික යුවළකට දාව ඉපදුණු බාබරා තුරන්ව ගිය වටිනා කියන කර්මාන්තයක් වර්ණවලින් ගොඩගත් ගැහැනියකි. තම ජීවිතයෙන් වැඩිකලක් වර්ණ සහ රෙදිපිළි කලාව සමඟ ජීවත්වුණු ඈ පසුගියදා ඒ ජීවන චාරිකාව නිමකළේ අනූදෙවෙනි වියේදීය.
ඇය නොසිටින්නට රෙදි විවීමේ අපේ ඉපැරණි දේශීය කර්මාන්තයක් වළපල්ලට ගොස් මේ වනවිටත් බොහෝ කල්ය. ඉතින් අපේ දේ රැකගනිමින් දේශීයත්වය වර්ණගැන්වූ ඇයට සුව නින්දක් වේවායි අපි ද ප්‍රාර්ථනා කරමු.
රුවන් එස්.සෙනවිරත්න