බීබීසීයෙත් පුවත් මවන ජාත්‍යන්තරය ජයගත් යොහානි
“මැණිකේ මගේ හිතේ” ප්රතිනිර්මාණ ගීතයෙන් ලොව වසඟකර ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ ද පළ ව තිබෙනවා.
එම සම්මුඛ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ දර්ශන බීබීසී පුවත් වෙබ් අඩවියේ දක්නට ලැබෙන අතර, එය ‘හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව’ යන සිරස්තලය යටතේ පළ කර ඇත.
අන්තර්ජාලය හරහා ඉන්දියානුවන් වසඟ කළ ඇගේ ගායනයට බොලිවුඩ් සුපිරි තරු නර්තනයේ යෙදෙන බවත් එහි සඳහන් වෙයි.
මෙහිදී යොහානි විසින් පවසා ඇත්තේ ප්‍රතිනිර්මාණය කර ගැයුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙතරම් පෙරළියක් කරනු ඇතැයි තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවයි.
මේ අතර යොහානි ද සිල්වාගේ පළමු ගීත ඇල්බමයේ ගීතයක් මෙම මස 9 වැනිදා අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතයි.
ඇයගේ පළමු ගීත ඇල්බමය ‘කෙල්ල’ නමින් ලබන වසරේ මැයි මාසයේ දී එළිදැක්වීමට නියමිත අතර එහි ඇතුළත් ‘ඉතින් ආදරේ පතාලා තැවුණේ – ඔබේ නමින් සිතින් වේදනා රිදී මියැදුණේ’ ගීතය අන්තර්ජාලයට මෙලෙස එක් කිරීමට නියමිතව තිබෙනවා.
යොහානිගේම අපූරු තනුවකට නිර්මාණය වී ඇති මෙහි සංගීතය ‘වයනක’ සපයා ඇති අතර සංගීත සංයෝජනය ළහිරු පෙරේරා විසින් සිදුකර ඇත.
එළි දැක්වීමට නියමිත ‘කෙල්ල’ ගීත ඇල්බමයේ ගීත ශ්‍රී ලාංකීය ස්ත්‍රීයකගේ ජීවිතය, ජීවන අරගලය, දුක, සතුට, ආදරය සහ විරහව පිළිබඳව වන නවමු අත්දැකීම් සමුදායක් මුසු වූ අපූරු නිර්මාණයක් වන අතර ගීත දොළහක් මෙහි ඇතුළත් වෙයි.
‘Pettah Effect සමග සුසංයෝගයක් වන මෙම ගීත එකතුවේ සිංහල ගීත පමණක් අන්තර්ගත වීම විශේෂත්වයක්.
දිලංජන සෙනෙවිරත්න සහ ආසිරි පෙරේරාගේ පද රචනාවන්ගෙන් නිර්මිත මෙම ‘කෙල්ල’ ගීත එකතුවෙහි සියලුම ගීතවල තනු නිර්මාණය යොහානි විසින් සිදුකර ඇත.
සුන්දර විචිත්‍රවත් රූප රචනාවන්ගෙන් සමන්විත මෙම ගීත සමාජයේ නිරන්තරයෙන් ඇසෙන දකින සත්‍ය සිදුවිම් අලළා නිර්මාණය වී තිබෙනවා.
මෙරට කාන්තාවන් වෙනුවෙන්ම මෙවැනි ගීත එකතුවකින් සමන්විත ගීත ඇල්බමයක් නිර්මාණය වන ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.