විශේෂාංග

කොල්ලන්ට වහකදුරු වෙන කෙල්ලන්ගේ මූණෙ සිදුරු…

දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලා හැම කාන්තාවක්ම ප්‍රාර්ථනා කරන්නේ සඳක් වගේ මුහුණක්. නැත්තම් මලක් වගේ මුහුණක්. හැබැයි ඇහැට පේන්නම තියෙන පුංචි පුංචි සිදුරු (Open Pores) නිසා සමහර අයගේ සම දොඩම් ලෙල්ලක් වගේ වෙනවා. ඉතින් එහෙම වෙලාවට කවුරුහරි ‘‘හානේ ඔයාගේ මූණ දොඩම් ලෙල්ලක් වගේ’’ කියලා කිව්වොත්? සමහරවිට ලැජ්ජ හිතෙයි නැත්තම් තරහා යයි. පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියනවා වගේ පුංචි වුණත් මේ සිදුරුවලට පුළුවන් අපේ සමේ සිනිඳු බව නැති කරලා සම රළු කරන්න. මේවයින් අපේ සුන්දරත්වයට වෙන හානිය සුළුපටු නැති නිසා අද ලිපියෙන් ඒ ගැන කතා කරමු.

ඕපන් පෝර්ස් ගැන කතා කරද්දි නොකියම බැරි කතාවක් තියෙනවා. ඔන්න ඒ කාලේ ස්වීඩනයේ හිටියලු මාරියා කියලා රැජිණක් (1567-1618). ඇය ඉතාම රුදුරු කාන්තාවක්. පොත්පත්වල කියැවෙන විදිහට නම් ඇයට තිබුණෙත් දොඩම් ලෙල්ලකට සමාන සමක්ලු. මේක දරාගන්න බැරිව ඇය කළේ තමන්ට වඩා සුන්දර පැහැපත් සමක් තියෙන කාන්තාවන්ව හොයලා මරා දාපු එකලු. වෙනකක් තියා ඇය ඒ විදිහට තමන්ගෙම දියණියව පවා මරා දාන්න උත්සාහ කළා කියලා තමයි කියන්නේ. කාවවත් නොමරා ඕපන් පෝර්ස් හොඳ කරගන්න ඕනතරම් රූපලාවණ්‍ය සත්කාර තියෙන බව සමහරවිට මාරියා රැජිණ නොදැන ඉන්න ඇති නේද?

ගොඩක් වෙලාවට මේ පෝර්ස් ඇති වෙන්නේ නහයේ. නැත්තම් නහයටත් කම්මුලටත් ඇස්වලටත් මැදිව පිහිටලා තියෙන ප්‍රදේශයේ. සත්කාර කළ පමණින් රැයින් දෙකෙන් මේ ඕපන් පෝර්ස් වැහෙන්නේ නැහැ. ඒකට කාලයක් ගත වෙනවා. ඒ නිසා මේවා ඇතිවෙන එක වළක්වගන්න එක තමයි හොඳම වැඩේ. ඇත්තටම කොහොමද මේ ඕපන් පෝර්ස් හැදෙන්නේ? ඒ මෙහෙමයි. අපේ සම පුරාම ඇහැට නොපෙනෙන කුඩා සිදුරු තියෙනවා. සමේ නිපදවෙන ස්වාභාවික තෙල් සහ විෂ අපද්‍රව්‍ය ආදිය සම මතුපිටට එන්නේ ඔය සිදුරු හරහා. ඒ නිසා ඉතින් මේ සිදුරු අපිට බොහොම වැදගත්.

හැබැයි හිතන්නකෝ අධික තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ගේ මේ සිදුරු නිතර නිතර විවෘත වෙනවනේ. එතකොට කාලයක් යද්දි ඒ සිදුරු නොවැසීම පවතින්න පුළුවන්. ඒ වගේම කුරුලෑ ඇති වුණාමත් සමේ සිදුරු ඕනවට වඩා ඇදෙනවා. එතකොට අර ඇහැට නොපෙනුණු සිදුරු විශාල වෙලා ලොකුවට කැතට පේන්න ගන්නවා.

අනික වයස්ගතවීම එක්ක අපේ සමේ කොලැජන් අඩුවෙනකොට ඉබේටම වගේ අපේ සමේ ඇදෙන ස්වභාවයත් අවම වෙනවා. එතකොට ඔය සිදුරු නිසියාකාරව නොවැසී තියෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.

ඉතින් සම සිදුරු කරගන්න අකමැති නම් කරන්න ඕනේ පළවෙනිම දේ තමයි සමේ තෙල් සහිත ස්වභාවය පාලනය කරගන්න එක. ඒ ගැන නම් අපි මීට කලින් ලිපියකින් කතා කළා. ඒ ඇරුණම ඕපන් පෝර්ස් අවම කරගන්න ඕනේ නම් පිළිපදින්න ඕනේ විශේෂ උපදෙස් කිහිපයක්ම තියෙනවා.

පළවෙනිම දේ හිරුඑළියට නිරාවරණය වෙනවා නම් හිරු ආවරණ ආලේපනයක් භාවිත කරන්න. මොකද හිරුඑළියට නිරාවරණය වීම සමේ තෙල් ස්වභාවය වැඩි වෙන්න විතරක් නෙමේ ඕපන් පෝර්ස් විශාල වෙන්නත් හේතුවක්. ඊළගට වැදගත්ම කාරණාව හරි විදිහට මේකප් ඉවත් කරන එක. මූණේ ලස්සනට වත්සුණු තවරන්න උනන්දු වුණත් ඒවා හරි විදිහට ඉවත් කරන්න ගොඩක් නෝනලා උනන්දු වෙන්නේ නෑ. වැඩි කාලයක් සමේ මේකප් රැදිලා තියෙනකොට තෙල් අපද්‍රව්‍ය සමෙන් එළියට පිට කරන්න සිදුරුවලින් දැඩි පීඩනයක් යෙදෙනවා. එතකොට ඉතින් නිකන්ම වගේ සම ඇදිලා ඕපන් පෝර්ස් ඇතිවෙන එක ගැන අහන්නත් දෙයක්ද? නිතරම මේකප් දාන අයගේ මූණුවල ඉක්මනටම සිදුරු ඇති වෙන්නේ ඒකයි.

ඒ වගේම නිතර නිතර උණුසුම් ජලයෙන් මූණ සෝදනකොටත් සමේ තියෙන සිදුරු විවර වෙනවා. සමේ කොලැජන් අඩු කෙනෙක් නිතරම ඔය වැඩේ කරනකොට විවෘත වෙන සිදුරු නොවැසීම යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා නිතරම සාමාන්‍ය ජලයෙන් මුහුණ සෝදන්න බලන්න. විශේෂයෙන් අවුරුදු 25 පැනපු උදවිය.

මූණ ස්ක්‍රබ් කළාට පස්සේ මුණට ටෝනර් එකක් ආලේප කරන්නම ඕනේ කියන කතාව අහලා තියෙනවා නේද? අන්න එහෙම කියන්නෙත් මේ ඕපන් පෝර්ස් නිසා තමයි. මොකද මූණ ස්ක්‍රබ් කරද්දිත් අපේ මුහුණේ ආවෘත සිදුරු විවෘත වෙනවා. හැබැයි ටෝනර් එකකින් ඒ සිදුරු වසාගන්න අපිට පුළුවන්. අයිස් වතුර නැත්තම් පිපිඤ්ඤා යුෂ වගේ ශීත ගුණ තියෙන ඕනම දෙයක් අපිට ටෝනර් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒවගේ තියෙන සීතල ස්වභාවය නිසා සමේ සිදුරු හැකිළෙනවා.

සම ඕනවට වඩා වියළි නම් ඒ වියළිබව නැති කරන්න සම ස්වාභාවිකව වැඩිපුර තෙල් නිෂ්පාදනය කරන්න හදනවා. ඒ නිසා වියළි සමක් තියෙන කෙනෙක්ටත් මේ විවෘත සිදුරු ඇති වෙන්න පුළුවන්.

ඉතින් වියළි සමක් තියෙන කෙනෙක් වුණත් තෙල් සහිත සමක් තියෙන කෙනෙක් වුණත් සමට ගැළපෙන හොඳ මෝයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිත කරන්නම ඕනේ. ඒකෙන් ස්වාභාවිකව තෙල් වැඩිවෙන එක පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු තිහ පැන්න හැටියේ කොලැජන් අඩංගු ප්‍රමිතිගත anti-agin ආලේපනයක් භාවිත කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම සතියට සැරයක් ඇල්ෆා හයිඩ්‍රොක්සි අමිල (AHA) හෝ බීටා හයිඩ්‍රොක්සි අම්ල (BHA) අඩංගු ස්ක්‍රබ් එකකින් මුහුණ ස්ක්‍රබ් කරලා සම ටෝනර් කරන්න. ඇපල් විනාකිරි මේස හැඳි දෙකකට ජලය මේස හැඳි දෙකක් මිශ්‍ර කරලා ටෝනර් එකක් හදාගන්නත් පුළුවන්.

ඒ වගේම දැනටමත් විශාල වශයෙන් ඕපන් පෝර්ස් තියෙන කෙනෙක් නම් නිතරම ජෙල් වර්ගවලින් හැදූ (gel -based) රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගන්න. ඊට අමතරව මේ කියන සත්කාර ටිකත් ගෙදර කරලා බලන්න.

ලෙමන් යුෂවලට රෝස වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා මිනිත්තු දහයක් විතර තියලා සෝදන්න. අයිස් කැට ටිකක් අරගෙන පිරිසුදු රෙදි කඩක ඔතලා විවෘත සිදුරු මත තියන්න. මේ සත්කාරය සතියකට දවස් දෙකක්වත් කරන්න පුළුවන් නම් හොදයි.

සිදුරු මත බිත්තර සුදු මදය ආලේප කරන්න. ප්‍රමිතියෙන් ඉහළ මුල්තානි මිට්ටිවලට රෝස වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා සමේ ආලේප කරන්නත් පුළුවන්.

ඕට්ස් කුඩු ටිකකට බිත්තර සුදු මදය මිශ්‍ර කරලා ආලේප කරන එකත් ඕපන් පෝර්ස්වලට හොඳ සත්කාරයක්. රස නොයෙදූ යෝගට්වලට ආමන්ඩ් කුඩු ටිකක් හරි කඩල පිටි ටිකක් හරි මිශ්‍ර කරලා ආලේප කරන්න.

සමේ තෙල් වැඩි කරන කෘතිම තෙල් අධික ආහාර අඩු කරන එකත් මුණට හොදයි. සම සිසිල් කරන පිපිඤ්ඤා, කැකිරි, කොමඩු වගේ ආහාර ගන්නවට අමතරව දවසට වතුර ලීටර දෙකක්වත් බොන්න.

මේ උපදෙස් ටික හරියට පිළිපැද්දොත් මූණ දොඩම් ලෙල්ලක් වගේ කියලා හිත හිතා කට දෙහි ලෙල්ලක් කරගෙන ඉන්න ඕනේ නෑ ඔන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි