බලා ඉන්නේ යන්නකෝ ඉන්නෝ…
“ඉන්න ඉන්න කියන්න එපා ළමයෝ යන්න යන්න කියන්න.”
පුංචි කාලේ අතේ ආපු ඉන්නෙක්ට “ඉන්න” කියලා දවස් කීපයක්ම අත්තම්මාගෙන් බැණුම් අහගත්තු හැටි තාම මතකයි. ඉන්න කිව්වහම ඉන්නෝ ඉන්නවලු. යන්න කිව්වහම යන්න යනවලු. අත්තම්මා කිව්වේ එහෙමයි. මගේ ඒ ඉන්නට එයා නොකළ දෙයක් නැහැ. කන හුණු ගැට ගැහැව්වා, දවස් ගාණක් නූල්වලින් බැඳලා තිව්වා. ඔය මොනා කළත් ඉන්නා නෙමේ අඩියක් හෙල්ලුනේ. ඒත් පස්සෙ කාලෙකදි ඉබේටම වගේ ඒක වැටිලා ගියා.
හැබැයි හැම ඉන්නෙක්ම ඔහොම ඉබේටම වැටිලා යන්නේ නෑ. විශේෂයෙන් මූණේ ඉන්නෝ. සම අවලස්සන කරන නිසා ඉන්නෝ එක්ක බවලතුන් නයි වෛරයි. අනික ඉන්නෝ නිසා කෙනෙක්ට අපි ගැන ජුගුප්සාජනක හැඟීමක් ඇතිවෙන්නත් පුළුවන්නේ. සමහරු මේ නිසා මානසික පීඩනයටත් ලක්වෙනවා. ඉන්නවට අපි අකැමැති වුණාට බලෙන් ඉන්න ඉන්නෝ ගැන කතා කරන්න හිතුවේ ඒකයි.
ක්‍රි.පූ. 460 විසුව හිපොක්‍රටීස් කියන ග්‍රීක වෛද්‍යවරයා තමයි මුලින්ම ඉන්නෝ ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ. ඒ කාලේ උදවියට ඉන්නෝ හැදෙන්නේ කොහොමද කියන එක සෑහෙන ප්‍රශ්නයක් වුණාලු. ගෑනුන්ගේ මූණේ ඉන්නෝ එන්නේ ඒ අය බහු ලිංගික සේවනයේ යෙදෙන නිසා කියලලු විශ්වාස කළේ. දෙවියන්ට විරුද්ධව කට වරද්ද ගන්න අයටත් ඉන්නෝ හැදෙනවා කියලා කසුකුසුවක් තිබිලා. ඒ නිසා ඉන්නෝ උන්න පිරිමි උදවියවත් සමාජ අපවාදයට ලක්වුණාලු.
ඉන්නෝ හැදෙන්නේ කොහොමද කියලා නොදන්න අය එදා විතරක් නෙමේ අදත් ඉන්නවා. අපේ රටේ සමීක්ෂණ කණ්ඩායමක් මේ මෑතකදි ඉන්නෝ ගැන සමීක්ෂණයක් කරලා’
“ඉන්නෝ ඇතිවෙන්නේ කොහොමද?”
“විටමින් මදිවෙලා, ඇඟ උෂ්ණ නිසා, බෝවෙන ලෙඩක්” වගේ උත්තර මිසක හරි උත්තරයක් ලැබිලා නැහැ.
යම්කිසි ලෙඩක්, ආසාදනයක්, රූපලාවණ්‍ය ගැටලුවක් වුණත් ඇතිවෙන හැටි දන්නවා නම් වළක්වගන්න පහසුයි.
ඉන්නා කියන්නේ මානව පැපිලෝමා (Human Papilloma Virus) කියන වෛරසය මඟින් බෝවෙන ආසාදනයකට. ඔය වෛරස පවුලේ විවිධ ප්‍රභේද හැටක් විතර ඉන්නවා. එයාලා තමයි අපිට විවිධාකාරේ ඉන්නෝ ඇති කරන්නේ. මේක කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝ වෙනවා.
වෙනත් කෙනෙක්ගෙන් නැත්තම් පරිසරෙන් වෛරසය අපේ ඇඟේ තැවරෙනවා කියලා හිතන්න. ඔන්න ඒ පාර ඒක සමේ උඩම තට්ටුවේ තැම්පත් වෙනවා. ඊටපස්සේ සෛල ඇතුළට රිංගලා සෛල ඝනකම් කරනවා. පුංචි ගැට නැත්තම් ඉන්නෝ වගේ අපිට පේන්නේ ආන්න ඒ සෛල පොකුරු. වෛරසය ශරීරගත වෙලා සතියෙන්, මාසෙන් අවුරුදු ගාණකින් වුණත් ඉන්නෝ පිට දාන්න පුළුවන්. හැබැයි වෛරසය තැවරුණු පළියට හැම කෙනාටම ඉන්නෝ එන්නෙත් නෑ. මොකද ප්‍රතිශක්තිය හොඳ කෙනෙක් නම් ඔය කොයි වෛරසේටවත් රඟන්න ලැබෙන්නේ නෑ.
හැබැයි ප්‍රතිශක්තිය අඩු අයට, එතකොට පිළිකා, HIV වගේ ප්‍රතිශක්තිය අඩු කරන ලෙඩ තියෙන අයටත් ඉක්මනින් ඉන්නෝ බෝ වෙන්න පුළුවන්.
අපිට සුලබවම දකින්න පුළුවන් ඉන්නන් වර්ග තුනක් ඉන්නවා. එකක් තමා ප්ලාන්ටර් ඉන්නෝ. මෙව්වා කළුයි නැත්තම් ළා දුඹුරු පාටයි. අත් කකුල්වල, පතුල් සහ අත්ලේ තමයි ගොඩක් වෙලාවට හැදෙන්නේ.
පැතලි ඉන්නෝ කියලත් ජාතියක් තියෙනවා. මූණේ එන්නේ මේ වර්ගය. ඒ වගේම බෙල්ලේ, දණහිස්, වැලමිටි, පිට වගේ ප්‍රදේශවලත් මේ ජාතිය ඇතිවෙන්න වැඩි ඉඩක් තියෙනවා. මේක ටිකක් පැතලියි, සිනිඳුයි. කළු නැත්තම් ළා පාටක් ගන්න පුළුවන්.
සමේ ලස්සනට බාධාවක් වෙනවා මිසක මේ වර්ග දෙකෙන් අපේ සෞඛ්‍ය ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. මූණේ අත පයේ තියෙන ඉන්නෝ නිසා පිළිකා ඇති වෙනවා කියලා සමහරු කියනවා. හැබැයි එහෙම අවධානමක් නැහැයි කියලයි වෛද්‍යවරු කියන්නේ.
තව ඉන්නෝ වර්ගයක් ඉන්නවා. ලිංගික ඉන්නෝ. ලිංගික අවයවවලයි, ගුදය අවටයි තමයි ඇතිවෙන්නේ. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා ලිංගික ඉන්නෝ බෝ වෙන්න පුළුවන්. රෝස, රතු නැත්තම් කළු පාට පොකුරු වශයෙන් ඇතිවෙන්න පුළුවන්. අල්ලනකොට ලේ එන්නත් ඉඩතියෙනවා. ලිංගික ඉන්නන් තියෙන කෙනෙක්ට පිළිකා අවදානමක් තියෙනවා. ඒ නිසා ලිංගික පැතිවල ඉන්නෝ ඉන්නවා ලිපිය කියවන එක පැත්තකින් තියලා මේ දැන්ම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යන්න.
මොකද මේ කතා ටික කියන්නේ සාමාන්‍ය ඉන්නෝ ඉන්න අයට. සමේ ඉන්නෙක් ඉන්නව නම් ඒක කඩලා, ඒ ලේ කාසියක ගාලා කාසිය විසි කළාම ඇහිදින කෙනාට ඉන්නා ගිහින්, කාසිය විසි කරාපු කෙනාට හොඳ වෙනවය කියලා මතයක් තියෙනවා. කාසිය ඇහිඳින කෙනාට ලෙඩේ බෝ වෙන්න පුළුවන්. හැබැයි විසි කරන කෙනාගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ආත්මාර්ථකාමී දේවල් කරන එක කැතයි. තව සමහරු බ්ලේඩ්, මොට්ටා පිහිවලින් ඉන්නෝ කපනවා. නැති ලෙඩත් හැදෙන එකයි ඉතින් ඒකෙන් වෙන්නේ. කපුටෝ නාපු වතුර ගාපුවහමත් ඉන්නෝ යනවලු. ඔය කතාවල ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. හැබැයි ඔච්චර මහන්සි නොවී නිට්ටාවටම ඉන්නෝ හොඳ කරන්න දැන් ඕනතරම් ක්‍රම තියෙනවා.
ගොඩක් වෙලාවට ඉන්නෝ ඉබේටම සුවවෙලා යනවා කියල කිව්වනේ. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් පටන් අරන් ඉන්නෝ සිය ගාණක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉන්නෙක් ආපු හැටියේ ඒකට ප්‍රතිකාර කරන එක නුවනට හුරුයි.
රජයේ සමේ රෝග සායනයට ගිහින් ඉන්නෝ පහසුවෙන්ව ඉවත් කරගන්න පුළුවන්. ද්‍රව නයිට්‍රජන්වලින් නැත්තම් විද්‍යුත් තාපයෙන් ඉන්නන් පිළිස්සීම, ලේසර් සත්කාර වගේ ක්‍රම තමා රෝහල් සායනවලදි වැඩිපුර භාවිත කරන්නේ. සැලිසිලික් ඇසිඩ්වලින් නිෂ්පාදනය කරපු ඉන්නෝ ඉවත් කිරිමේ ආලේපන සහ ප්ලාස්ටර් එහෙමත් දැන් වෙළඳපොළේ තියෙනවා වෛද්‍ය උපදෙස් මත මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඉන්නන්ට ගෙදරදි කරන්න පුළුවන් පුංචි දේවල් ටිකකුත් කියන්නම්.
සුදුලූනු බිකක් තලලා ඉන්නා මත ආලේප කරන්න. සුදුලූනුවල ප්‍රතිවෛරස් (Antivirals) ගුණයක් තියෙනවා. ඒකෙන් වෛරසය අඩපණ කරන්න පුළුවන්. සතියට දවස් තුනක්වත් මේ වැඩේ කරන්න. සතියට දවස් තුන හතරක් ඇපල් සයිඩර් විනාකිරි ගාන්න. ඒ වගේ තියෙන ලැක්ටික් අම්ලයත් වෛරසය අඩපණ කරනවා. කැකුළු හාල් මිටකට විනාකිරි ටිකක් දාලා ඉන්නා මත ආලේප කරන්න. මේවගෙන් දවසෙන් දෙකෙන් ඉන්නෝ යන්නේ නෑ. ඒකට කාලයක් ගතවෙන බවත් කියන්න ඕනේ.
ඒ වගේම නිතරම ඉන්නන්ව අතපගාන්න, නියපොතු ගහන්න යන්න එපා. එතකොට වෛරසය පැතිරිලා තවත් ඉන්නෝ එනවා.
නිතරම ශාරීරික පිරිසුදුකම ගැන හිතන්න. බස් එකක කෝච්චියක වගේ පොදු ප්‍රවාහනයක ගියපු හැටියේ අතපය සෝදන්න, ඇඟ පිරිසුදු කරන්න. පොදු වැසිකිළි භාවිත කළාට පස්සේ හොඳට අත් හෝදන්න.
පෞද්ගලික තුවා, පනා, කොට්ටා උර, ඇඳුම් වෙනත් අය එක්ක හුවමාරු කරගන්න එපා. සති දෙකකට වතාවක්වත් ඒ දේවල් හොඳින් සෝදලා තද අව්වේ වේලන්න.
වැදගත්ම දේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තියාගන්න එක. ඒකට කෘත්‍රිම හෝ කඩචෝරු කෑම නැතිව සමබල පෝෂණීය ආහාර ගන්න, හරියට වතුර ටික බොන්න. එතකොට “ඉන්නෝ යන්නෝ” ගගා මන්තර මතුර මතුරා ඉන්නෝ එළවන්න ඕන වෙන්නේ නෑ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි