විශේෂාංග

මහ රැජිනගෙ ඔලුවෙත් ඒ කාලෙ උකුණො ලු!

එංගලන්තයේ මහ රැජිනිය, ක්වීන් එලිසබත් අවුරුදු දාහතරෙදි ඒ කියන්නේ කිරුළ දරන්නත් කලින් පිහිනන්න ඉගෙනගත්තලු. එච්චර අඩු වයසෙන් ජීවිතාරක්ෂක කුසලතාවයක් සම්පූර්ණ කළ රජ පවුලේ පළමු පුද්ගලයා විදියටත් ඇය වාර්තාවක් තියලා තියෙනවා. ඒක නෙමෙයි කතාව. එංගලන්තයේ බාත් ක්ලබ් කියන සමාජ ශාලාවේ තියෙන පොදු පිහිනුම් තටාකයකින් තමයි ඇය මේ විදියට පිහිනුම් ඉගෙනගෙන තියෙන්නේ. ඔන්න ඒ කාලේ එලිසබෙත්ට හරි අලකලංචියක් වෙලා තියෙනවා. මොකක්ද දන්නවද? රජ කුමරියගේ පරිවාර සේවිකාවන්ට ඇගේ ඔලුවෙන් උකුණෙක් හම්බවුණාලු.

අපිට වගේ නෙමෙයිනේ රජ වෙන්න ඉන්න කුමරියකගේ ඔලුවෙන් උකුණෙක් හම්බවුණාම. ඉතින් ඇයට පොදු නාන තටාකයක් භාවිතා කරන්න දීපු එක වැරදියි කියලා ගොඩක් අය දොස් පවරලා තියෙනවා.

එංගලන්තේ මහ රැජිනගේ ඔලුවෙත් උකුණෝ හිටියා නම් අපේ ඔලුවේ උකුණෙක් දෙන්නෙක් හිටියම මොකද අනේ! කියලා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔලුවේ උකුණෝ ඉන්න එකේ ලොකුම හානිය වෙන්නේ ඔයාගේ පෞරුෂයට. මොකද දකින කෙනෙක්ට ඒක කොහෙත්ම ප්‍රිය උපදවන දර්ශනයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් ඒක හරියට සත්තු වත්තක් ඔලුවේ තියාගෙන ඇවිදිනවා වගේ වැඩක්. ඉතින් මේ කරදරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා අද ටිකක් කතා කරමු.

උකුණෝ (Lice) කියන්නේ මිනිස් හිසකෙස්, රෝම ආශ්‍රිතව ජීවත්වෙන කුඩා පරපෝෂී ජීවියෙක්. අපේ ඇඟේ තියෙන කේෂ නාළිකාවල රුධිරය උරා බීලා තමයි මේ අය එයාලගේ ආහාර අවශ්‍යතාවය සපුරාගන්නේ. ඔලුවේ ඉන්න උකුණන්ව අපි හඳුන්වන්නේ හිස උකුණෝ කියලා. ඔලුවේ විතරක් නෙමේ සමහරුන්ගේ ඇඟේ එතකොට ලිංගික ප්‍රදේශවල එහෙමත් උකුණෝ ඉන්නවා. ඇඟ උකුණෝ නැත්නම් භග උකුණෝ කියලා තමයි එයාලව හඳුන්වන්නේ. ඒ උකුණු වර්ගය හිස් උකුණන්ට වඩා පෙනුමෙන් වෙනස්. හැබැයි අද අපි කතා කරන්නේ හිස උකුණෝ ගැන.

පුංචිම පුංචි සතෙක් වුණාට මේ උකුණෝ එක්ක මිනිස්සු වෙන අපිට ලොකු බැඳීමක් තියෙනවා. ඒ මෙන්න මෙහෙම. ඔය උකුණෝ ඇතිවෙලා තියෙන්නේ මනුෂ්‍යයා පරිණාමය වෙන්නත් කලින්ලු. ඉස්සරම මේ උකුණා ඉඳලා තියෙන්නේ චිම්පන්සියන්ගේ ඇඟේ. මානව පරිණාමය එක්ක ඇතිවුණු මිනිස්සුන්ව දැක්කම උකුණෝ ටික චිම්පන්සියාව අතඇරලා මිනිස්සු ළඟට ආවලු.

බ්‍රසීලයෙන් හම්බවුණු අවුරුදු 10,000කට වඩා පරණ මමියකින් උකුණෝ විශාල සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන් වෙලා. ඒ විතරක්යෑ, ඊජිප්තුවේ තියෙන මමිවලිනුත් මමිකෘත උකුණෝ 400කට වඩා හොයාගෙන තියෙනවලු.

අලි-මිනිස් ගැටුම ගැන ලොකුවට කතා කරන කවුරුත් උකුණු-මිනිස් ගැටුම ගැන ලොකුවට කතා කරන්නේ නැති වුණාට ඒ කාලේ ඉඳලා හිටපු මිනිස්සු උකුණාගේ වදෙන් බේරෙන්න හරි හරියට යුද්ධ කරලා තියෙනවා.

උකුණු වදෙන් බේරෙන්න ඊජිප්තුවේ පාරාවරුන් හිස් මුඩු කරලා තියෙනවා. රජකම් කළත් ඒ අයත් උකුණන්නට බයෙන් තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි සුප්‍රකට ක්ලියෝපැට්‍රා රැජින පවා සිහින් පනාවලින් උකුණෝ ඉවත් කළ බවට සාක්ෂි තියෙනවලු.

ඊටපස්සේ යුගවල හිටපු සමහර රජවරු බෙල්ල ළඟින් ලොම් සහිත කබායක් පැළඳ ගත්තලු. මේ කබාය දැකලා උකුණෝ ‘ආ මේක තමයි ඔලුව’ කියලා රැවටෙයි කියලා ඔවුන් හිතුවලු. ඒ වි‍ශේෂ ප්‍රයෝගෙට උකුණෝ රැවටුණාද කියලා නම් සඳහනක් නැහැ. හැබැයි ඇරිස්ටෝටල්, ලුවී පාස්චර් වගේ ලෝක ප්‍රකට පුද්ගලයින් පවා හිස උකුණු වදෙන් පීඩා වින්දා කියලා නම් ප්‍රසිද්ධයි.

ඔලුවේ උකුණෝ හිටියා කියලා සෞඛ්‍යයට එහෙම බරපතළ හානියක් වෙන්නේ නැහැ. හැබැයි නිතර ලේ උරාබීම සහ හිසකෙස් අතරේ ඔබ මොබ ඇවිද යාම නිසා හිස නිතර කසන්න ගන්නවා. ඒ වගේම උකුණු කෑම් නිසා සමහරුන්ට උකුණු තුවාල ඇති​ වෙන්නත් ඉඩ තියෙනවා.

උකුණෝ බෝවෙන්න ප්‍රධානම හේතුව අපිරිසිදුකම කියලා තමා ගොඩක් දෙනා හිතන්නේ. හැබැයි ඒක ඇත්තක් නෙමෙයි. කොච්චර පිරිසිදුවට ඉන්න කෙනෙක්ට වුණත් උකුණෝ බෝවෙන්න පුළුවන්. උකුණෝ බෝවෙන්න අපිරිසිදුකම බලපාන්නේ නැති වුණාට උකුණෝ ඉවත් කරලා ඔලු පිරිසිදු කරන්නේ නැත්නම් ඒ ඔලුව උකුණු රජදහනක් වෙන්න වැඩි කාලයක් ගතවෙන්නෙත් නෑ. කෙනෙක්ගේ ඔලුවකින් තව කෙනෙක්ගේ ඔලුවට මාරු වෙන්න උකුණෙක්ට ගතවෙන්නේ තත්පර 30ක් වගේ කජු කිරි වෙලාවක්ලු.

උකුණෙකුගේ ජීවිත කාලය දවස් 40යි. වැඩුණු උකුණු ගැහැනු සත්තු ඔය කාලෙදි බිත්තර 1000කට අධික සංඛ්‍යාවක් දානවලු. ඒ නිසා මෙයාලා බොහොම ඉක්මනින් වර්ධනය වෙනවා. ඔය විදියට දාන බිත්තර අපි හඳුන්වන්නේ ලේඬි කියලා. සමහරුන්ගේ ඔලුවල තරු පොකුරු වගේ ලේඬි ඉන්නවා. බිත්තර පුපුරලා පැටවා එළියට ආවත් ලේඬි සිවිඩ්ඩ ඉබේටම ඉවත් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ කොටස් බොහොම අප්‍රියජනක විදියට ප්‍රදර්ශනය වෙනවා.

කෙනෙක්ට උකුණෝ බෝවෙන්නේ තවත් කෙනෙක්ගෙන් කියලා ඉහතින් කිව්වනේ. ඉතින් අනිත් අයගේ තොප්පි, පනා, තුවා, කොට්ටා, බෙඩ් ෂීට් වගේ පුද්ගලික ආයිතම හුවමාරුවෙන් වැළකෙන එක ඔලුවට ගුණයි. උකුණන්ට පැය ගණනාවක් හිසෙන් පිටතත් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඇඳුම් පැළඳුම්වලිනුත් උකු‍ණා් ​බෝවෙන්න පුළුවන්.

පාසලේදි පුංචි දරුවෝ එකට ගැවසෙනවා වැඩිනේ. ඉතින් මේ අයට ඉක්මනටම උකුණෝ බෝවෙනවා. ගොඩක් වෙලාවට ගෙදරට උකුණෝ අරගෙන එන්නේ පුංචි දරුවෝ. ඒ නිසා දරුවන්ගේ හිස නිතරම පීරලා උකුණන්ගෙන් නිදහස් කරගන්න එක අම්මලාගේ වගකීම. ඉස්සර ඉඳලම අපේ රටේ අම්මලා ඒ වගකීම හරියට ඉෂ්ට කරනවා කියන එකත් කියන්න ඕනේ.

අම්මලා දූවරුන්ගේ හිස පරීක්ෂා කරන දසුන ගමේ ගොඩේ විතරක් නෙමේ නගරයේ පවා හරි ප්‍රසිද්ධ දසුනක්. ‘‘එළිපත්ත උඩ ඉඳගෙන උකුණෝ හූරන එක ගෙදරට මූසලයි!’’ කියලත් සමහරු කියනවා. ඒවගේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ. හැබැයි දරුවන්ගේ ඔලුවල උකුණෝ ඉන්නවද කියලා සතියකට වතාවක්වත් බලන්නම ඕනේ.

ඒ වගේම ඇඳ ඇතිරිලි, ඇඳුම්, කොට්ටා, මෙට්ට වගේ දේවල් නිතරම පිරිසිදුව තියාගන්න එක වැදගත්.

පවුලේ සාමාජිකයන්ට තනි තනි වශයෙන් භාවිතා කරන්න පනා වෙන් කරන්න. සතියකට වතාවක්වත් ඒවා විනාකිරි මිශ්‍ර උණුසුම් ජලයේ දාලා හොඳින් පිරිසිදු කරන්න.

ඒ වගේම දරුවන්ගේ ඔලුවේ ඉන්න උකුණෝ ඉවත් කරන්න හිතාගෙන ඕන එකයි එපා එකයි හැම එකම එයාලගේ ඔලුවට දාලා නැති ලෙඩ ඔලුවේ දාගන්නත් එපා. වෙළඳපොළෙන් උකුණෝ නාශකයක් ගන්න හිතනවා නම් වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් මිලදී ගන්න එක තමා හොඳ.

ඈත අතීතයේ චීනයේ හිටපු උදවියත් උකුණු වදෙන් බේරෙන්න හිතාගෙන ඔලුවලට රසදිය, ආසනික් වගේ අහිතකර රසායනික සංයෝග පවා ඔලුවට දාලා තියෙනවලු. උකුණෝ කෙසේ වෙතත් ඒකෙන් ඒ අයගේ හිසකෙස් ටික නම් ගැලවිලා ගියාලු.

කොණ්ඩෙත් තියාගෙනම උකුණන්ගෙන් ඔලුව බේරගන්න පුළුවන් විදියේ ස්වභාවික ක්‍රම ටිකක් අපි දැන් බලමු.

පුළුවන් නම් මාසෙකට වතාවක්වත් ඔලුවට අසමෝදගම් තෙල් ආලේප කරන්න. ඒකේ තියෙන විශේෂ සුවඳ උකුණන්ට දිරවන්නේ නැහැලු.

ඒ වගේම නිතරම ඔලුවට කොහොඹ තෙල්, කුරුඳු තෙල් වගේ දේවල් යොදනවා නම් වෙනස් තැන්වල ඉන්න උකුණෝ ඔයාගේ ඔලුවේ නවාතැන් ගන්න එන එකක් නැහැ.

පේර කොළ තම්බලා ඒ වතුරින් හිස සෝදන්න. ගොඩපර ගෙඩි දෙකක් තලලා ඒකට ඉරමුසු ටිකකුත් මිශ්‍ර කරලා ඔලුවේ ගාලා විනාඩි 30ක් විතර තියලා හිස සෝදන්න. මේ ප්‍රතිඵල ගන්න නම් ඉතින් මේ සත්කාර සතියකට වතාවක්වත් කරන්න වෙනවා.

තෙල් ටිකක් නැත්නම් කන්ඩිෂනර් ටිකක් ගාලා සිහින් පනාවකින් ඔලුව පීරන්න.

ඔය විදියට ඉවත් කළාම ආයෙ ආයෙත් ඔලුවට උකුණෝ එන්න පුළුවන්. ඉතින් තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම ගැන වගේම ගෙදර අනිත් අයගෙත් පිරිසිදුකම ගැන හිතනවා නම් උකුණු වදෙන් සදහටම මිදෙන්නත් අමාරු නෑ.

ගොඩක් යුරෝපීය රටවල අය නම් දැන් මේ උකුණු වදෙන් මිදිලා ඉවරලු. එංගලන්තය, ඇමරිකාව වගේ රටවල උකුණෝ සළකන්නේ සෞඛ්‍යයට තර්ජනය කරන වසංගතයක් විදියටලු. ඉතින් උකුණෝ ඉන්න පුද්ගලයෝ හඳුනගත්තු ගමන් සෞඛ්‍ය අංශවලට දැනුම් දෙනවලු. ඒ අය වහාම ඇවිල්ලා ඒ පුද්ගලයාට උකුණු නාශක සත්කාර කරනවලු. ඒ නිසා ඒ රටවල අයට කැමැත්තෙන්වත් උකුණෝ හදන්න බැහැ.

ඒ කොයික වෙතත් උකුණෝ මරලා නිකන් පවු පුරෝගන්නේ නැතිව නිතරම උකුණෝ ඇතිවෙන එක වළක්වගන්න කියලා තමයි අවසානෙදි කියන්න තියෙන්නේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි