ලප වැඩි වුණොත් මූණේ ඇපත් නෑ නෝනේ
අතීත කැළැල් අනාගතයට අරන් යන්න එපා කියලා කතාවක් තියෙනවනේ. හිත්වල ඇතිවෙච්චි කැළැල් විතරක් නෙමෙයි මූණේ ඇතිවෙච්චි කැළැලුත් ඉස්සරහට ගෙනියන්න එපා කියලා තමයි අද කියන්න හදන්නේ.
ගොඩක් අයගේ මූණේ ලප ඇතිවෙන්නේ කුරුලෑ නිසා. ඊට අමතරව ආසාත්මිකතා, කැපුම්, සීරීම් නිසාත් ලප කැළැල් ඇතිවෙනවා. දහසය වැනි ශතවර්ෂයේ ජීවත් වෙච්චි මිනිස්සුන්ට නම් වසූරිය ඇතුළු විවිධ වසංගත රෝග නිසාත් ලප කැළැල් ඇති වුණාලු. මේ රෝග නිසා ඒ කාලේ බොහෝදෙනෙක් මියගිහිල්ලත් තියෙනවානේ. ලෙඩවලින් නොමැරී බේරුණු උදවියගේ මුළු සිරුර පුරාම ලප කැළැල් ඉතිරි වෙලා. වසංගත බෝවෙන්නේ අපිරිසිදු ලේ තියෙන උදවියටයි කියලා ඒ කාලේ කසුකුසුවක් තිබුණලු. ඉතින් ඉතිරි වෙච්චි ලප දැක්ක හැටියේ වසූරිය හැදුනු කෙනෙක්ය කියලා තේරෙන නිසා ලප තියෙන අයව සමාජයෙන් කොන් වෙලා. ලප තියෙන කාන්තාවන් දිහා පිරිමියෙක් ඇහැක් ඇරලා බැලුවෙත් නැතිලු.
ඉතින් ඔය පුරස්නෙන් බේරෙන්න ඒ බවලත් උදවිය ගමනක් බිමනක් යනකොට ඇඟ පුරාවම මේකප් තට්ටුවක් ආලේප කරලා. ඉතින් ඒකෙන් ප්‍රශ්නේ විසඳුනා කියලද හිතන්නේ? නැහැ… ඔය කාලේ මේකප්වල ඊයම් වගේම රසදියත් අඩංගුයිලු. ඉතින් කාලයත් එක්ක මේ කාන්තාවන්ට දරුණු රෝග ඇතිවෙලා ඒ ඇතැම් කාන්තාවන් මියගිහිල්ලත් තියෙනවා. ඒ අය විතරක් නෙමේ දැන් ඉන්න අයත් ලපයක් දෙකක් ආව හැටියේ කරන්නේ මේකප් තට්ටුකින් එතැනට තාවකාලික පැලැස්තර අලවන එක. හැබැයි ප්‍රමිතියෙන් බාල මේකප් නිතර නිතර ආලේප කරන එකෙන් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි කියලා මතක තියාගන්න.
චර්ම සෛල තුළ සීබම් කියන ස්වභාවික තෙල් වර්ගය සහ මැරුණු චර්ම කොටස් එක්කාසු වුණාම තමයි කුරුලෑ ඇතිවෙන්නේ. දවස් කිහිපයකින් කුරුලෑව ඇතුළේ තියෙන ඔය දේවල් සමෙන් එළියට එනවනේ. අන්න එතකොට චර්ම සෛල බිත්තියට සහ ඒ අවට කොලැජන් තන්තුවලට හානිවෙනවා. කුරුලෑවක් ගැඹුරින් සහ වට ප්‍රමාණයෙන් විශාල වෙන්න වෙන්න ලප කැළැලක් ඇතිවෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා. පස්සේ අලුත් චර්ම සෛල සහ කොලැජන් තන්තු නිර්මාණය වෙලා ඔය ලප කැළැල් මැකිලා යනවා. ඒත් ඉතින් ඒකට සෑහෙන කාලයක් ගතවෙනවා. හැබැයි අපේ නරක රූපලාවණ්‍ය පුරුදු නිසා ඒ කාලය තවත් වැඩි වෙන්න වගේම කැළැල් නොමැකීම යන්නත් පුළුවන්.
කුරුලෑවලට අමතරව මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න භාවිත කරන රේසර්, ත්‍රෙඩින් වගේ දේවල් නිසාත් මුහුණේ තුවාල ඇතිවෙලා ලප හිටින්න ඉඩ තියෙනවා. හැබැයි ගැඹුරු තුවාල ඇති නොවන නිසා ඒ වගේ කැළැල් නම් බොහොම ඉක්මනින් මැකිලා යනවා.
ලප කැළැල් පහසුවෙන්ම ඉවත් කරගන්න ගෙදරදිම කරගන්න පුළුවන් පිළිවෙත් සහ සත්කාර කිහිපයක් ගැනත් බලමු.
පළවෙනි දේ කුරුලෑවක් ආවම ඒක අල්ලන්න යන්න එපා. අත පය නිකන් තියාන ඉන්න බැරුවට සමහරු කුරුලෑ අතපත ගාලා කඩලා දාන්න හදනවනේ. ඒ වැඩවලින් දෑත් මත තියෙන විසබීජ මගින් කුරුලෑව ආසාදන වෙලා එහි ගැඹුර වැඩි වෙන්න පුළුවන්. එතකොට ඉතින් කොටියෙක්ගේ වගේ මුණ පුරා පුල්ලි ඇතිවෙන එක නවත්තන්න බැහැ. ඊළඟ දේ කුරුලෑවක් ආවහම ලොකු කාලයක් ගන්නේ නැතුව ඒකට ප්‍රතිකාර කරන්න. ඒකෙන් ලප හිටින එක අවම කරගන්න පුළුවන්.
මුහුණේ දැනටමත් ලප කැළැල් තියෙන කෙනෙක් නම් මුහුණ නිතරම පිරිසුදුව තියාගන්න. මද උණුසුම් ජලයෙන් මුණ සෝදන්න. ඒ වගේම සතියකට වතාවක්වත් මූණ සම්බාහනය කරන්න. එවැනි දෙයින් පහසුවෙන්ම කොලැජන් උත්තේජනය කරගන්න පුළුවන්.
හිරුඑළියට නිරාවරණය වෙනවා නම් හිරු ආවරණ ක්‍රීම් එකක් ආලේප කරන්න අමතක කරන්නම එපා. මොකද වැඩිපුර හිරුඑළියට නිරාවරණය වෙනවා නම් ලප කැළැල් තව තවත් අඳුරු වෙනවා. අනික සමේ වර්ණය අඳුරු වෙන තරමටත් මේවා වඩාත් පැහැදිලිව පේන්න පටන් ගන්නවලු. ඒ නිසා අව්ව එක්ක සෙල්ලම් පරිස්සමින්.
ලප කැළැල් මකන්න හිතාගෙන බ්ලීච්න් ක්‍රීම් නැත්තම් ස්ටෙරොයිඩ් ක්‍රීම් ආලේප කරන එකත් නරක පුරුද්දක්. ලප මකන්න ඔවැනි දේවල් ආලේප කරන එකෙන් තාවකාලික ලප මැකෙනවා තමයි. හැබැයි ඒවගෙන් සමට වෙන හානිය නිසා නැවත හැදෙන ලප මකන්න නම් බොහොම අමාරුයි පුතේ. ඒ නිසා ලප මකන්න හිතාගෙන එක එක වස වර්ග මූණේ ගාන්න එපා. ඒ වෙනුවට ඇල්ෆා හය්රිඩ්රොක්සි ඇසිඩ් (AHA), ලැක්ටික් ඇසිඩ්, රෙටිනෝල්, සැලිසිලික් ඇසිඩ් වගේ සංඝටක අඩංගූ දේ භාවිතා කරන්න. ඒවා කැළැල් ඉවත් කරන්න උදව් වෙනවා.
ඒ වගේම මයික්රෝඩර්මාබ්රේෂන්, කෙමිකල් පීලින්ග්, ස්කින් නීඩ්ලින්ග් සහ ලේසර් සත්කාර මගිනුත් ඉක්මනින්ම ලප කැළැල් ඉවත් කරගන්න පුළුවන්.
ගෙදරදිම කරගන්න සත්කාර විදිහට අර්තාපල් යුෂ, අමුකහ සහ කඩල පිටි මිශ්‍ර කරලා ආලේප කරන්න. ආමන්ඩ් පිටිවලට බිත්තර කහමද ස්වල්පයක් මිශ්‍ර කරලා මුණේ ආලේප කරන්න. විනාඩි විස්සක් විතර ගියාට පස්සේ සෝදන්න.
ඉදුණු බෙලි ගෙඩියක් පොඩි කරලා ඒකට මුංඇට කුඩු, සුදුහඳුන් සහ මීකිරි මිශ්‍ර කරලා ලප කැළැල්වලට ආලේප කරන්න.
ඒ වගේම තැම්බූ අර්තාපල් අලයකට මී පැණි, කඩල පිටි මිශ්‍ර කරලා ආලේප කරන එකත් ලපවලට හොඳ සත්කාරයක්. සතියකට දෙවරක්වත් මේ සත්කාර ටික කරගන්න පුළුවන් නම් ලප නැති සොමි සඳවන් මුහුණක් ලබාගන්න එක හීනයක් වෙන එකක් නැහැ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි