බෙහෙත් බීලා මහත් වෙන අයත් හරියට බ්‍රොයිලර් කුකුල්ලු වගේ
රාචෙල් ෆරෝක් ඇමරිකානු නිළියක්. හරි හැඩ සිරුරක් තිබුණු ලස්සන යුවතියක්. කාලයක් යනකොට තමන්ගේ සිරුර බොහොම මහතයි කියලා රාචෙල්ට හිතෙන්න ගත්තා. ඉතින් ඇය පුළුවන් තරම් කෑම කන එක අඩු කළා. ඒ කරලත් හිතට හරි නෑ. ඒ නිසා සතියට දවස් දෙකක් විතරක් කෑම කන්න රාචෙල් තීරණය කළා.
ඔහොම මාසයක් දෙයක් යද්දි රාචෙල් ඉඳිකටුවක් ගාණට කෙට්ටු වුණා. ඇඟේ කටු ටික මස්වලින් වැහුණු මළගිය ප්‍රාණියෙක් ගාණටම කෘශ වුණා. රාචෙල්ට හැදිලා තිබුණේ ඇනරෙක්සියා (Anorexia Nervosa) කියලා මානසික ලෙඩක්.
බුලිමීයා (Bulimia Nervosa) කියලා තව මනෝ ලෙඩක් තියෙනවා. ඔය ලෙඩේ හැදිච්ච අයත් මහත් වෙයි කියලා නිතරම ඉන්නේ බයෙන්. කෑම කාපු හැටියේ උගුරට ඇඟිල්ල ගහලා වමනේ කරන එක තමයි මේ අයගේ වැඩේ. එංගලන්තේ ඩයනා කුමරියටත් ඔය කියන ලෙඩේ තිබුණලු.
කොච්චර ලස්සන හැඩ ඇඟක් තිබ්බත් මහත වැඩියි කියලා කෙට්ටු වෙන්න දඟලන යුවතියෝ මෙහෙත් ඉන්නවා.
“මොකද අනේ ඔය ඇඟේ හැටි? කන්න නැද්ද නැත්තම් පවුල් ප්‍රශ්නද?”
“ඇයි ඔයා ඇදිලා ගිහිල්ලා කුඩු ගහනවද?”
අනුන් ගැන හොයනවා ඇරෙන්න වෙන වැඩ නැති උදවිය ටිකක් කෙට්ටු කෙනෙක් දැක්ක හැටියේ අහන ප්‍රශ්න ටික. මහත අයට ‘බතලයා, අලියා, තඩියා’ කියනවා වගේ ටිකක් කෙට්ටු අයටත් ‘කටුස්සි, ඇටකෝට්ටා, ඇටකිච්චා, පරඬැලා, කැහුට්ටා’ වගේ දිග නම් සෙට් එකක්ම සමාජ සම්මත කරලා තියෙනවා.
ඔය වගේ නමක් පට බැඳුණාට පස්සේ හිත් රිද්දගන්න අය ඊටපස්සේ ඉතින් කරන්නේ කොහේ හරි ඉන්න ගොඩ වෙදමහත්තෑන් කෙනෙක්ගෙන් මහත් වෙන්න බෙහෙත් ගන්න එක. පස්සේ බ්‍රොයිලර් කුකුල්ලු වගේ දවසට දෙකට ඉදිමිලා පස්සට නැති ලෙඩ හදාගන්නවා.
බෙහෙත් බීලා ඉක්මනින් මහත්වෙන එක නීරෝගී මහතක් නෙමෙයි. ඒ නිසා නීරෝගීකම රැකගෙන ශරීරයේ බර වැඩි කරගන්නේ නැත්තම් මහත් වෙන්නේ කොහොමද කියන එකයි අද ලිපියෙන් වැඩිපුර කතා කරන්නේ.
ඇඟේ ටිකක් වැඩිපුර මාංශ කල්‍යාණය තිබුණු පලියට නැත්තම් කෙට්ටුවුණු පලියට ශරීරයේ බර අඩුද වැඩිද කියලා කෙනෙක්ට තීරණය කරන්න බැහැ.
ටිකක් කෙට්ටු කෙනෙක් ගැන හිතන්නකෝ. ශරීරය කෘශ වුණත් උසට සරිලන බරක් තියෙනවා නම් එයාට ආයෙත් බර ගැන වද වෙන්න දෙයක් නැහැ. අනිත් පැත්තත් එහෙමයි. ටිකක් මහත වුණාට උසට බරක් තියෙනවා නම් එච්චරයි. මහත වුණත් කෙට්ටු වුණත් උසට සරිලන බරක් තියෙනවා නම් අනිත් ඈයෝ කියන ඒවා අහලා බර වෙනස් කරගන්න යන්න එපා.
උසට හරියට බරක් තියෙනවාද කියලා හොයාගන්නේ කොහොමද?
ශරීරයේ බර උසට සාපේක්ෂව සෞඛ්‍ය සම්පන්නද කියලා දැනගන්න ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index) කියලා මිනුම් සූත්‍රයක් තියෙනවා. ඔය සූත්‍රයෙන් ඒක ලේසියෙන්ම දැනගන්න පුළුවන්. මේකට මුලින්ම උස මීටරවලින් මැනගන්න ඕනේ. එතකොට බර කිලෝග්‍රෑම්වලින්.
ඊටපස්සේ මැනගත්තු මිනුම් ඔය සූත්‍රයට ආදේශ කරන්න. උදාහරණයක් විදියට කෙනෙක්ගේ උස 1.75mයි, බර 75kg නම් උත්තරේ එන්න ඕනේ 24.5යි. උසයි බරයි දුන්නහම BMI එක ගණනය කරලා දෙන වෙබ්සයිට් ඕනතරම් දැන් අන්තර්ජාලයෙත් තියෙනවා.
BMI එක 18.5- 22 අතරේ තියෙනවා නම් එයා උසට සරිලන බරක් තියෙන කෙනෙක්. ඉතින් ඉස්සරහටත් ඒ ගාණ පවත්වගන්නයි බලන්න ඕනේ. අගය 23-24.9 අතර කෙනෙක්ගෙත් අගය සාමාන්‍යයි. හැබැයි මේ අගය වැඩිවෙන්න අවදානමක් තියෙන නිසා මේ කාණ්ඩයේ ඉන්න අයටත් බර අඩු කරගන්න වෙනවා. එතකොට BMI අගය 25ට වැඩි නම් ඒකේ අදහස උසට වඩා බර වැඩියි කියන එකයි. ඔන්න එතකොට නම් බර අඩුකරගන්නම වෙනවා රජෝ!
18.5ට වඩා අගය අඩු නම් ඒ කෙනාගේ උසට හරියන බරක් නැහැ. එහෙම කෙනෙක් නම් බර ටිකක් වැඩි කරගන්න වෙනවා. මොකද උසට හරියන බරක් නැත්තම් ඒ කියන්නේ ඕනවට වඩා කෙට්ටු නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න පුළුවන්.
ඒ වගේම එදිනෙදා වැඩ කරගන්න අවශ්‍ය ශක්තිය මදි වෙන්න, නිතරම තෙහෙට්ටු වෙන්න එහෙමත් ඉඩ තියෙනවා. අනික ඕනාවට වඩා කෘශ වීම අස්ථි දුර්වල වෙන්නත්, මතක ශක්තිය දුර්වල වෙන්නත් බලපානවා.
කෙනෙක් ඕනවට වඩා කෙට්ටු වෙන්න බලපාන හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි ශරීරයේ තියෙන ලෙඩ. තයිරොක්සීන් හෝර්මෝනය වැඩිවීම, දියවැඩියාව, දීර්ඝකාලයක් සුව නොවෙන ආසාදන නිසා වගේම සමහර පිළිකාවල මූලික ලක්ෂණයක් විදියටත් කෙනෙක් අනවශ්‍ය විදියට කෙට්ටු වෙන්න පුළුවන්. ඉතින් හිටිහැටියේ එකපාර කෙට්ටු වෙනවා නම් නිසි පෝෂණය ගනිද්දිත් කේට්ටු වෙනවා නම් හොඳම දේ වෛද්‍යවරයෙක් මුණගැහෙන එක.
ඊළඟ කාරණාව තමයි පෝෂණය මදකම. “කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ” කියලා සමහරු කියනවනේ. කොච්චර කෑවා කිව්වත් මේ උදවිය කැලරි, ප්‍රෝටීන වැඩි ආහාර අරගෙන නැති එකයි මහත් නොවෙන්න හේතුව.
සාමාන්‍ය නීරෝගී පිරිමියෙක්ට දවසකට කැලරි 2000-2500ක් ඕනේ. ගෑනු කෙනක්ට 1500-2000ත් අතර. මේ කාරණාව ගැන දැනුවත් නැති නිසා ගොඩක් අය මේ ප්‍රමාණවලින් කැලරි ලබාගන්නේ නැහැ. ඒ වගේම අඩු කැලරි ප්‍රමාණයක් අරගෙන නොසෑහෙන මහන්සි වෙලා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. කොහොමත් මහත් වෙන්නේ නැහැ.
බර වැඩි කරගන්න ඇතැම්මු කිඹුලා මැටි ගිලිනවා වගේ ගැඹුරු තෙලේ බැදපු කෑම, බනිස්, පිටි, පැණි කෑම ගිලිනවා. ඇත්ත, එතකොට ලේසියෙන්ම මහත් වෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් පස්සේ කාලෙක දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ වගේ රෝග අවධානමක් ගන්න බලාගෙනම මහත් වෙන්න ඕනේ. ශක්තිය වගේම පෝෂණයත් වැඩි කෑම බීම ගන්නවා නම් හිතේ කහටක් බයක් තියාගන්නේ නැතිව ලේසියෙන් මහත් වෙන්න පුළුවන්. ඒකට හොඳම කෑම බීම ගැන දැන් බලමු.
චීස්, යෝගට්, සම්පූර්ණ යොදය සහිත කිරි ඇතුළු කිරි ආහාර ඉක්මනින් මහත් වෙන්න උදව් කරනවා. කොස්, දෙල්, වට්ටක්කා වගේ පිෂ්ඨය වැඩි දේ, රටඉඳි, මුද්දරප්පලම් ඇතුළු වියළි පලතුරු වර්ග, ඉන්නල, අර්තාපල්, බතල, රටකජු, කජු, ආනමාළු, කෝලිකුට්ටු කෙසෙල්, අලිගැටපේර, පොල්කිරි, ගිතෙල් මේ ආහාර නිතරම කෑමට ගන්න.
ඉක්මනින්ම මහත් වෙන්න ඕන කෙනෙක් නම් අලිගැටපේර ගෙඩි බාගයකට, ආනමාළු කෙසෙල් ගෙඩියක්, රටඉඳි, කජු, මී පැණි සහ නැවුම් කිරි එකතු කරලා බ්ලෙන්ඩ් කරලා හැමදාම උදේට බොන්න. නැවුම් කිරිවලට බාර්ලි හරි ඕට්ස් හරි එකතු කරලා බොන්න. සැලඩ් වර්ග හදද්දි විපින් ක්‍රීම් ටිකක් එකතු කරන්න.
අනිවාර්යයෙන්ම දවසට වේල් තුනක් කන්න. කෑම කන්න කලින්වත් කෑම කන ගමන්වත් වතුර බොන්න එපා. එතකොට කන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. මහත් වෙන්න ආස වුණත් කෙට්ටු අය ටිකක් කන්න හොරයි කියනවනේ. එහෙම කෙනෙක් නම් කෑම ටික ටික වේල් කීපයක්ම ගන්න.
බර වැඩි කරගන්න හදන කෙනෙක් ව්‍යායාම කරන්න ඕනේ නැද්ද? ඔන්න ඊගාව ප්‍රශ්නේ. අපිට ව්‍යායාම අවශ්‍ය වෙන්නේ බර වැඩි කරගන්න නැත්තම් අඩු කරගන්න විතරක්ම නෙමෙයි. නීරෝගීකම රැකගන්න නම් ඕනම කෙනෙක්ට ව්‍යායාම අත්‍යවශ්‍යයි. කෙට්ටු කෙනෙක්ගේ අස්ථි ශක්තිමත් කරගන්න නම් ව්‍යායාම කරන්නම ඕනේ. ඒ නිසා හොඳට කන බොන ගමන් ඒ ගැනත් හිතන්න.
“ඇඟ මහත් වෙන්න මොටද බෙහෙත් බොන්නේ… හිනාවෙන්න හිනාවෙන්න එතකොට තරවෙන්නේ…” මිල්ටන් පෙරේරා මහත්තයගේ සිංදුවක් මතක් වුණා. ඇත්ත. හිතේ සතුටක් නැත්තම් මානසික ආතතිය වැඩි නම් ඔය මොනවා කළත් මහත් වෙන්නේ නෑ. ඒ නිසා නිතරම සතුටින් ඉන්න බලන්න. එතකොට මහත් වෙන්න ලේසියි.
සෙව්වන්දි හෙට්ටිආරච්චි