කොණ්ඩෙ යනවනම් මෙන්න විසඳුම
‘‘සාමාන්‍යයෙන් අවුරුදු 30 පහුවුණාට පස්සේ අපේ හිස මත සමේ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙන්න පටන්ගන්නවා. ඒ නිසා තමයි 30 පහුවුණ හැටියේ ගොඩක් අයගේ හිසකෙස් හැලෙන්න පටන්ගන්නේ.’’
වයස්ගත වීමත් සමඟ හිසකෙස් හැලීයාමට ප්‍රධානතම හේතුව පිළිබඳව ඇමරිකාවේ සුප්‍රකට චර්මරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන Dr.Joshua Zeichner වරක් මාධ්‍යයට පවසා තිබුණේ එවැන්නකි.
මේ පිළිබඳව නොදැනුවත් බොහෝදෙනා හිසකෙස් හැලීයාම අවම කරගැනීම උදෙසා හිසකෙස්වලට විවිධ විදිහේ වාණිජ නිෂ්පාදන ආලේප කරනා බවත්, එවැනි නිෂ්පාදනවලින් කොලජන් උත්තේජනය කිරීමට උත්සාහ කිරීම ගඟට ඉනි කැපීමක් බවත් ඔහු එහිදී තවදුරටත් පවසා තිබුණේය.
ප්‍රතිඵල විරහිත එවැනි නිෂ්පාදන වෙනුවට හිසකෙස් ගැලවී යාමේ ගැටළූවට සැබෑ ලෙසම ප්‍රතිකාර කළ හැකි විධිමත් ක්‍රම රැසක් පවතින බවත්, අද අපගේ මාතෘකාව වන ‘Microneedling’ ඒ අතරින් සුවිශේෂීම සත්කාරයක් බවත් වෛද්‍යවරයා එහිදී හෙළි කර තිබුණි.
සමෙහි කොලජන් උත්තේජනය කරන ‘Microneedling’ සත්කාරය බටහිර රටවල පවා ඉතා ජනප්‍රිය සත්කාරයක් බව මීට පෙර ලිපියකින් අප ඔබට පැවසුවෙමු. මේ ක්රමවේදයම හිස මත සමෙහි කොලජන් උත්තේජනයට යොදාගත හැකිද යන්න මුලින්ම සොයාබැලුවේ ඇමරිකානු ජාතික චර්මරෝග වෛද්‍ය කණ්ඩායමක් විසිනි.
එම වෛද්‍ය කණ්ඩායම කොලජන් අවම වීම නිසා කෙස් හැලී යන කාන්තාවන් පිරිසක් සහභාගී කරවාගෙන ‘Microneedling’ සත්කාරය සිදුකළ අතර ඉන් ඔවුන් ලැබූ ප්‍රතිඵලය පිළිබඳව ඒ පිරිසෙන් 90%ක්ම ඉමහත් සතුටට පත්විය. අතුරුආබාධ කිසිවකුත් මතු නොවුණු නිසා 1990 වසරේ සිට බොහේ යුරෝපීය කාන්තාවන් හිස මත සමෙහි කොලජන් උත්තේජනය කිරීම සඳහාද මෙම ක්‍රමවේදය භාවිතා කරති.
‘‘තිහ පැන්න හැටියේ මගේ හිසකෙස් අහුරු පිටින් ගැලවෙන්න පටන්ගත්තා. ඒ නිසාම කාලයක් මම මානසිකවත් විඳෙව්වා. ඒ දවස්වල කොණ්ඩෙ යන එක නවත්තන්න මම නොකළ දෙයක් නැති තරම්. කාලෙකට පස්සේ තමයි මට ‘Microneedling’ ගැන අහන්න ලැබුණේ. සත්කාරයෙන් පස්සේ ඇත්තටම මගේ කොණ්ඩේ යන එක ගොඩක් අඩුවුණා.’’
‘Huda Beauty’ නම් ලෝක ප්‍රකට රූපලාවන්‍ය සන්නාමයේ හිමිකාරිය වන ‘Huda Kattan’ මේ සත්කාරය ගැන ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන්කොට තිබුණේ එසේය.
සත්කාරයේදී ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඉතා සියුම් ඉඳිකටු සහිත උපකරණයකින් හිසේ සම මත ක්ෂුද්‍ර තුවාල ඇතිකර කොලජන් උත්තේජනය කිරීමයි.
සම තුවාල කිරීමක් පිළිබඳව ඇසූ පමණින් සත්කාරයට යොමුවීමට ඔබ තුළ බියක් ඇතිවනු ඇත. එහෙත් සත්කාරයට පෙර සම හිරිවැටීම උදෙසා නිර්වින්දන ආලේපන භාවිත කරනු ලබන නිසා සත්කාරයේදී කිසිඳු වේදනාවක් ඇති නොවේ.
සත්කාරයේ මූලික අරමුණ හිසකෙස් හැලීයාම පාලනය කිරීම වුවත් හිසකෙස් වර්ධනයට සහ හිසේ සම නිරෝගී කිරීම උදෙසාත් මේ සත්කාරය සිදුකළ හැකිය.
‘‘කෙස් හැලීම අවම කරගන්න කැමති බොහෝදෙනා දැන් මේ සත්කාරයට යොමු වෙනවා. හැබැයි දියවැඩියාව එහෙමත් නැතිනම් රුධිරය ආශ්රිත සෞඛ්‍ය ගැටළු තියෙන අයට නම් මේ සත්කාරය අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ගර්භනී මව්වරුන්ටත් මේක සුදුසු නැහැ. මේ කාණ්ඩවලට අයත් නැති අවුරුදු 30ට වැඩි ඕනම කෙනෙක්ට මේ සත්කාරයට යොමු වෙන්න පුළුවන්. සත්කාර වාර 12කදී ඇදහිය නොහැකි ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් කියන එකත් මතක් කරනවා.’’
ක්රමානුකූල සහ විෂබීජහරණය කරන ලද තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ මෙම උපකරණය භාවිත කළ යුතුයි. එම නිසා ‘Microneedling’ සත්කාරය සඳහා ඔබ තෝරාගන්නා රූපලාවන්‍ය ශිල්පියා සතුව මේ පිළිබඳව නිවැරදි දැනුමක් තිබිය යුතු බව අවසාන වශයෙන් සටහන් කළ යුතුයි.
නදීශා නිර්මාණි